දැන් ඔය කසාද බඳින වයස කියලා එකක් රටේ ලෝකෙ මිනිස්සුන්ගේ ඔළු වල තියෙනවනේ. ඒක ඉතින් එක එක මනුස්සයා එක එක විදියට තමයි හිතාගන්නේ. සමහරු කෙල්ලෙක්ට විස්ස පිරෙද්දි බඳින්න ඕන කියලා හිතනවා. තවත් සමහරු කොල්ලෙක්ට විසි හතර විසි පහ වෙනකොට බඳින වයස ඇවිල්ලා කියලා හිතාගන්නවා. දැන් ඉතින් මිනිස්සු ඔහොම හිතාගෙන පාඩුවේ ඉන්නව නං තව කමක් නෑ. දෙයියනේ කියලා අපිටත් වද දෙනවා. “දැන් නං ඉතින් බඳින වයස හරි නේද? ඔහොම බෑ, ඔව්වා නිසි කලට කෙරෙන්න ඕන, අන්තිමට ඔහොම ඉඳලා වයසට ගියහම බඳින්න කෙනෙකුත් නෑ, අන්තිමට නහින දෙහින කාලෙට වතුර උගුරක් වත් දෙන්න දරුවෙක් මල්ලෙක්වත් ඇත්තෙත් නෑ”! ඕන්න ඔහොම ආයෙ පුදුම වදයක් දෙන්නේ. ඒ විතරක්ද, ගෙවල් වල මිනිස්සුන්වත් අවුස්සනවා.
ඇත්තටම ඔය වගේ අනික් මිනිස්සුන්ව කසාද බන්දන්න පුදුමාකාර බඩේ අමාරුවක් තියෙන්නේ නෑදෑයන්ට, හිතවතුන්ට විතරක් නෙවෙයි. සමහර වෙලාවට අහල පහල ගෙවල් වල මිනිස්සු, අම්මගේ යාළුවෝ එහෙම ඉඳන් ජීවිතේට දැකලා නැති එවුන්ටත් ඔය කසාද බන්දන අමාරුව හැදෙනවා. ආන්න එහෙම අවස්ථාවකදී කොහොමද ඒ පීඩනය එක්ක කටයුතු කරන්නේ? ආන්න ඒක තමයි මේ කියන්න යන්නේ.
1. තමන්ගේ ජීවිතේ ගැන අදහසක් තියාගන්න
ගොඩක් මිනිස්සුන්ට වෙන නරකම දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අනුන්ට ඕන විදියට තමන්ට ජීවත් වෙන්න සිද්ධ වෙන එක. එතකොට අනුන් කියන්නේ අම්මා තාත්තා, නෑදෑයෝ, යාළුමිත්‍රයෝ විතරක් නෙවෙයි, සමස්ත සමාජයම වෙන්නත් පුළුවන්. එතකොට වෙන්න පුළුවන් දෙවෙනි නරක තමයි තමන්ගේ ජීවිතේ ගැන තමන්ට හරි අදහසක් නැති වීම. එන එන විදියට බැට් කරනවා. ඔරුව යන පැත්තට තමනුත් හැරෙනවා. ඇත්තටම ඔය නරක දෙක එකකට එකක් සම්බන්ධයි. ආන්න ඒ නිසා තමයි, විස්ස පැන්න ගමන් වගේ තමන්ගේ ජීවිතේ තමන්ට ඕන මොකද්ද කියලා හොයාගන්න අවශ්‍ය වෙන්නේ. අන්න එහෙම තමන්ට තමන්ගේ ජීවිතේ ගැන හරි අදහසක් තියෙනකොට, තමන්ගේ ජීවිතේ ප්‍රමුඛතාවන් මොනවද කියන එක තෝරා බේරා ගන්න පුළුවන් වෙනවා.
2. තමන්ගේ ප්‍රමුඛතාවන් මොනවද? රියලිස්ටික් දැක්මක්!
මෙන්න මේ කාරණාව ඇත්තටම පුද්ගලානුබද්ධයි. වැදගත්ම දේ වෙන්නේ, එකිනෙකාගේ ජීවන ප්‍රමුඛතාවයන් වෙනස් කියන එක අවබෝධ කර ගැනීමත්, අනෙක් කෙනාගේ ජීවන ප්‍රමුඛතාවන් ආශ්‍රයෙන් තමන්ගේ ජීවන ප්‍රමුඛතාවයන් මනින්නට නොයෑමත්, කෙනෙක්ගේ ජීවන ප්‍රමුඛතාවයන්ගෙන් ඒ මනුස්සයාව ජජ් කරන්න නොයෑමත් තමයි. මේක රටේ ලෝකේ අනික් මිනිස්සු තේරුම් නොගත්තත්, අපි තේරුම් ගත යුතුමයි. උදාහරණයක් විදියට කිවුවොත්, එක මනුස්සයෙක්ගේ ජීවිතේ ප්‍රමුඛතාවය වෙන්නේ නිසි වයසට විවාහ වෙලා දරුවන් සෑදීම. එතකොට තව මනුස්සයෙක්ගේ ප්‍රමුඛතාවය වෙන්නේ තමන්ගේ වෘත්තිය ජීවිතයේ ඉහළටම යෑම. තවත් සමහරුන්ට අවුරුදු තිහ වෙනකල් වෘත්තිය ජීවිතය ප්‍රමුඛ වෙලා, එතනින් එහාට විවාහය ප්‍රමුඛ වෙන්න පුළුවන්. ඔය කෝක වුණත් කාරි නෑ. තමන්ගේ ප්‍රමුඛත්වයන් මොනවාද? ඒක කොයි තරම් ප්‍රායෝගිකද කියන එක ගැන තක්සේරුවක් තමයි අවශ්‍ය වෙන්නේ. අන්න එහෙම තක්සේරුවක් තියෙන කොට, තමන්ට විවාහ වෙන්න අවශ්‍ය කාලය තමන් දන්නවා. එච්චරයි.
3. කන්ෆිඩන්ට් ලෙවල් – 100%
දැන් ඔය ඔක්කොම කරුණු කාරණා දැනගත්තා කියමුකෝ. හැබැයි බාහිරින් එල්ල වෙන පීඩනය මග අරින්න ඒ දැනුම විතරක් මදි. ඒකට හොඳ ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක් තියෙන්නත් ඕන. හැබැයි ඉතින් මේ ආත්ම ශක්තිය නිකම්ම ගෙදරට වෙලා, ගෙදර මිනිස්සුන්ගෙන් පිනට කකා බිබී හිටියට ගොඩනැගෙන්නේ නැහැ. ඒකට තමන්ව ගොඩනංවන්න ඕන. අන්න එතකොට, තමන්ට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා. ආන්න ඒ ආත්ම විශ්වාසය ඇති වුණාට පස්සේ, අපිට අම්මගෙන් තාත්තගෙන් එන පීඩනයේ ඉඳන්, අහල පහල මිනිස්සුන්ගෙන් කසාද බඳින්නේ නැද්ද කිය කියා එන පීඩනය දක්වා ගාණට කළමනාකරණය කරගන්න පුළුවන්.
4. තමන්ව ගොඩනගන්න
ඔය උඩින් අපි කිව්වනේ තමන්ව ගොඩනංවන්න ඕන කියලා. ඒක මෙහෙමයි. දැන් ඔන්න අපි අපේ ප්‍රමුඛතාවයන් මොනවද කියලා හිතලා මතලා ලැයිස්තුවක් හදාගන්නවනේ. එහෙම ලැයිස්තු හැදුවට මදි. ඒවල විදියට වැඩ කරන්නත් ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, තමන්ගේ ප්‍රමුඛතාවය අවුරුදු 30 වෙනකල් වෘත්තිය ජීවිතයයි කියලා පාරම් බාලා, තමන් ඔහේ යාළුවොත් එක්ක බිබී අවුරුදු 30 වෙනකල් ගත කරන එක තේරුමක් නෑ. ඇත්තටම එහෙම කිසිම සාර්ථකත්වයක් පෙන්නන්න විදියක් නැති ජීවිතයක් තියෙනකොට, ඔය බාහිරින් එන පීඩනය නවත්තන්නත් හැකියාව අඩුයි. ආන්න ඒ නිසා, තමන්ව මොන යම් විදියකින් හරි සාර්ථකත්වය කරා ගෙනියන්න, අඩු ගාණේ තව අවුරුදු 10 කින් හතළිහ වෙනකොට සාර්ථක වෙනවා කියන හොඳ ලකුණු තියන තැනකට හරි ගෙනියන්න උත්සුක වෙන්න ඕන. මේ සාර්ථකත්වය රැකියාවම වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කුසලතාවයන් වෙන්නත් පුළුවන්. වෙන ඕනෑම දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම, තමන්ව ගොඩනැංවීමට ඔය සමාජ ප්‍රතිරූපය, තමන්ගේ බාහිර පෙනුම පවත්වා ගැනීම වගේ දේවල් පවා ඇතුළත් වෙන්න පුළුවන්.
5. ගෙදර අයට වටහලා දෙන්න
දැන් මේ ඔක්කොම කරගත්තට පස්සේ, අපිට පුළුවන් ගෙදර උන්දැලට වටහලා දෙන්න තමන්ගේ ජීවිතේ සැලසුම් කරලා තියෙන විදිය. හැබැයි හොඳට මතක තියාගන්න, විවාහ වෙන්න කියන පීඩනය ගෙදරින් එල්ල වෙනවා කියලා, ගෙදර මිනිස්සුන් එක්ක කොකු දාගන්න එක, ගෙදර මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක නෙවෙයි ක්‍රමය. අපි ඊට වඩා උපක්‍රමශීලී වෙන්න ඕන.
කොහොමත් අපි අර කලින් කියපු විදියට අපිව සෑහීමකට පත් වෙන්න පුළුවන් විදියට ගොඩනංවලා තියෙනකොට, ගෙදරින් අසීමාන්තික විදියට බර බරේ දාන්න එන්නෙත් නෑ. අනික් එක, අපිට කොන්ද කෙලින් තියාගෙන, පපුව ඉස්සරහට දාගෙන අපේ ප්‍රමුඛතාවයන් ගැන ගෙදර මිනිස්සුන්ට කියන්නත් පුළුවන්, අපිට පැහැදිළිව පේන සාර්ථකත්වයක් තියෙනකොට.
ඉතින් ඔන්න ඔය විදියට බොහොම උපක්‍රමශීලීව ගෙදර මිනිස්සුන්ව තමන්ගේ පැත්තට නම්මා ගන්න ඕන. විවාහ වීම තමන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ තියෙනවා නම්, ගෙදර මිනිස්සුන්ට ප්‍රධාන වශයෙන් තේරුම් කරවන්න ඕන, තමන් විවාහ නොවී ඉන්න අදහසක් නැහැයි කියන එක. ඊට වඩා තමන් කාටවත් ඕන වෙලාවට නැතුව තමන්ට ඕන වෙලාවටයි විවාහ වෙන්නේ කියන එක ඒත්තු ගන්වන්න ඕන.
6. මග අරින්න එපා
අපි ගොඩක් වෙලාවට කරන වැරැද්දක් තමයි, නෑදෑහිතමිත්‍රයෝ අපි දැක්ක දැක්ක තැන කසාදේ ගැන කතා කරන නිසා, අපිට අනවශ්‍ය විදියට පීඩනයක් එල්ල කරන නිසා ඒ අයව මග අරින්න උත්සාහ කිරීම. සමහරු ඉන්නවා, පවුලේ හැමෝම එකතුවෙන උත්සවේකටවත් යන්නෙ නෑ, කසාදේ කරන්නෙ නැද්ද කියලා නෑදෑයෝ වද දෙන නිසා කියලා. අන්න ඒක කරන්න එපා. අපි නෑදෑ හිතමිත්‍රයෝ එක්ක සම්බන්ධතා තියාගන්න ඕන. අපේ සමාජ සම්බන්ධතා කඩලා දැමීම නෙවෙයි ඒ අයගෙන් එන විවාහ පීඩනේට විසඳුම. ඊට වඩා, ඒවා ගාණට බැලන්ස් කරගන්න පුළුවන් වෙන්න ඕන. විශේෂයෙන්ම අර තමන්ව ගොඩනැංවීම කියන කාරණය ගොඩදාගත්තට පස්සේ ඒක හරිම ලේසියි.
මේ කසාද බඳින්නෙ නැද්ද කියලා අහන නෑයන්ගෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් විහිළුවෙන් තහළුවෙන්. “නැන්දා ඉතින් මට නෑනව දුන්නෙ නෑනේ, ඒ නිසා ඉතින් මම තාම තනිකඩයි” වගේ ලයින් එකක් දැම්මා නං, ආයෙ නැන්දා කසාදෙ මතක් කරන්නෙ නෑ!
7. අදාළ නැති අය අදාළ කර නොගන්න
මෙන්න මේකත් අතිශය වැදගත් කාරණාවක්. දැන් ඔය ලංකාව වගේ රටක බහුලව දකින්න ලැබෙන දෙයක් තමයි, අහම්බෙන් පාරක හම්බුවෙන හරියට නොදන්න කෙනෙක්ගෙන් වුණත් විවාහය ගැන අහන එක. “ඉතින් කොහොමද? දැන් මොකද කරන්නේ? බැඳලද දැන්? ආ බැන්ඳේ නැද්ද?” වගේ ප්‍රශ්න ඔහේ අහනවා. අපි තේරුම් ගත යුතු දේ වෙන්නේ, අපෙන් මෙහෙම අහන අයට ඇත්තටම අපිව අදාළත්වයක්, අපි ගැන වගකීමක් නැහැයි කියන එක. අන්න එහෙම නම්, අපිත් එහෙම පාරක තොටක මුණගැහිලා අපෙන් කසාද බඳින්නේ නැද්ද කියලා අහන මිනිස්සුන්ව සීරියස් ගන්න අවශ්‍ය නැහැ. අඩු තරමින් ඒ අය එහෙම ඇහුවා කියලා ඒක කරදරයක් විදියට, අනවශ්‍ය පීඩනයක් විදියට ගන්නවත් අවශ්‍ය නැහැ. කොටින්ම කිවුවොත්, එහෙම මුණගැහිලා අහන්න දෙයක් නැති නිසා කසාදේ ගැන අහන කෙනෙක්ට “මං දැං බැඳලා, ළමයි දෙන්නෙක් ඉන්නවා” වගේ ආතල් එකක් දුන්නත් කිසිම ප්‍රශ්නයක් නෑ. අදාළ නැති උන් අදාළම නෑනේ!
8. ඉමෝෂනල් බ්ලැක්මේල් වලට අහුවෙන්න එපා
ඉමෝෂනල් බ්ලැක්මේල් කිරීම් කියන්නේ ගොඩක් වෙලාවට අපිට සමීප අය දෙයක් කරවාගන්න පාවිච්චි කරන දෙයක්. උදාහරණයක් විදියට අම්මා කියන්න පුළුවන්, “අනේ පුතේ මට මැරෙන කලුත් උඹේ දරුවෙක්ව අතගාන්න වාසනාවක් ලැබෙන එකක් නැද්ද?” කියලා. එහෙම නැතිනම් තාත්තා කියන්න පුළුවන්, “කමක් නෑ දුවේ, අපි ඉතින් මෙහෙම්මම මැරිලා ගියාවේ, අපේ දරුවෙක්ගේ කසාදයක් දකින්න අපිට පිං නැතුව ඇති” කියලා. එක්කෝ දෙන්නා අපේ කසාදේ මතක් කරලා අඬන්න තියාගනී. අන්න එතකොට කොච්චර වීරකාව්‍ය කිව්වත් අපේ හිත සලිත වෙනවා. අම්මා මැරෙන්න කලින් කසාදයක් බැඳලා ළමයි හදන එක තමන්ගේ යුතුකමක් දෝ කියලා හිතෙන්න පටන් ගන්නවා. අන්න එතනට යන්න එපා. ඕවා තමයි ඉමෝෂනල් බ්ලැක්මේල්. මේ ඉමෝෂනල් බ්ලැක්මේල් කිරිලි වලට ඇත්තටම අහු නොවී ඉන්න නම්, ඒවා ඉමෝෂනල් බ්ලැක්මේලින් කියන එක අඳුනගන්න පුළුවන් වෙන්න ඕන. ඒක අඳුනගත්තට පස්සේ ආයෙ යන්න පස් වෙනි කාරණාවට. එච්චරයි!
Leave a Reply