කොවිඩ් නිසා අතරමං වුණු ඉන්දියාව

ඉන්දියාව කියන්නෙ බිලියන 1.36 ක ජනකායක් ඉන්න විසාල රටක්. අපේ යාබද රටත් ඉන්දියාව. ඉතින් මේ ඉන්දියාවේ කොවිඩ් තත්ත්වය බොහොම සවුත්තු වුණා. ඉන්දියාවට අත්වුණු තත්ත්වය ගැන අපි විතරක් නෙමෙයි, මුළු ලෝකයම කම්පා වුණා. ඉන්දියාවේ පාලනය කරගත නොහැකි මට්ටමට ඇවිත් සොම්බි චිත්‍රපටයක මහ මග මිනිසුන් මිය යනවා වැනි ආකාරයට මිනිසුන් මිය යන්නට පටන් ගත්තා. ඔක්සිජන් නොමැතිකමින් වාර්තා වුණු මරණ වගේම වාර්තා නොවුණ මරණත් වැඩි වුණා. දිනෙන් දින ඉන්දියාව ලෝකයේම වාර්තා අභිබවා ලක්ෂ ගණනින් කොවිඩ් රෝගීන් වාර්තා කළේ දහස් ගණනින් මරණ එකතු කරමින්. 

 

1. කලින් මර්දනය කළා නේද? 

ඔව්. 2021 ජනවාරි 9 වැනිදා සිට  මාර්තු 9 දක්වා කාලය තුල දිනකට ඉන්දියාවේ වාර්තා වුණු කොවිඩ් රෝගීන් ප්‍රමාණය 20,000කට අඩුයි. ඒත් මැයි මස මුල වන විට ලක්ෂ 4ක් දිනකට වාර්තා වන තරමට කොරෝනා උත්සන්න වුණා. ඉතින් 2021 ආරම්භයේදී මෙම අඩුවත් එක්ක ඉන්දීය අංශ විවිධ අදහස් ප්‍රකාශ කළා. ඉන්දියාවේ වාර්තා වූ රෝගීන් අතර එවකට මරණ වාර්තා වුණෙත් 1%කට අඩුවෙන්. එම නිසා ඉන්දියාවට කොවිඩ් වල බලපෑම අඩුය යන මතයට නිරායාසයෙන්ම ඉන්දියානුවෝ යොමු වුණා. ඔවුන් ඒ නිසා නීතිමය වශයෙන් නැතත් සමාජීය වශයෙන් කොවිඩ් නොසළකා හැරීමට පටන් ගත්තා.

 

2. කුම්භ මේලා සහ ඉලෙක්ෂන් 

ඉන්දියානු කොව්ඩි පැතිරීමට නීති රීති ආදිය වෙනස් වුණේ නැතත් පාලක පක්ෂය මගින් අනුග්‍රහ දැක්වෙන හින්දු උත්සව වලට ඒවා බාධාවක් වුණේ නැහැ. ඉන්දියාවේ සිද්ධස්ථාන වර්ෂයකට අධික කාලයක් තිස්සේ වැසී තිබුණත් 2021 ආරම්භයේදී ඒවා ඇරුනා. ජනයා තමුන්ගේ වසාගෙන සිටි බැති සිත් විවර කරන්නට ඒ කාලය යොදාගෙන උත්සව වලට බුරුතු පිටින් සහභාගි වුණා. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ සීසන් එකත් පටන් ගත්තා. වේට්ටිය ගහගෙන ගිය අමිත් ශා ඒ මහා සෙනග ඉන්න මීටින් අමතන දසුන් පුවත් වල පළ වුණා. මේ මැතිවරණ උණුසුම සහ කුම්භ මේලා වගේ ආගමික චාරිත්‍ර නිසා ඉන්දියාවේ හැංගී හැංගී සිටි කොරෝනාව නැවත හිස ඔසවන්නට වුණා. 

 

3. එංගලන්ත වර්ගය 

වෛරසයේ තියෙන විශේෂත්වය තමයි වෛරසය කියන්නේ මූණු දොළහක් අත් හයක් තියෙන දරුණු යකෙක් වගේ දෙයක්. ඒ කියන්නේ එක අයෙකුට බලපාන ආකාරයටම නෙමෙයි තවත් අයෙකුට වෛරසය බලපාන්නේ. ඒ වගේම කාලයක් ගියාට පස්සේ වෛරසය අලුත් ප්‍රභේද වලින් හැදෙනවා. ඒ විදිහට අපේ මේ කොවිඩ් වෛරසයෙත් අලුත් එංගලන්ත ප්‍රභේදය එංගලන්තයට දරුණුවට වද දුන්නා. දවසකට මළ මිනී සිය ගණන් චිතකයට යවන්න එංගලන්ත ප්‍රභේදය දායක වුණා. මේ ප්‍රභේදය කලින් එකට වඩා වේගයෙන් පැතිරෙනවා වගේම කලින් වූහාන් මට්ටමේදි තිබුණ අඩු වයස් කාණ්ඩයට වැළඳීමේ අඩු කම ආදී ලැජ්ජා ගතිත් අලුත් වේරියන්ට් එකේ නැහැ. ඒ නිසා අලුතින් එළියට බැහැපු ඉන්දියානුවන් මේ අලුතින් වැඩිදියුණු වෙලා ආපු වෛරසයට විවෘත වීම කිසිසේත් සුබදායී වුණේ නැහැ. 

 

4. ඔක්සිජන් මදි වීම 

ඉන්දියාව කියන්නේ කොහොමත් මහ විසාල රටක්. පසුගිය වසරේ කොරෝනා වැඩි වීමත් එක්ක ඔක්සිජන් සැපුයම මදි වේය කියන පූර්ව අනතුරු ඇඟවීම පිට රට පුරා ස්ථාන 167ක ඔක්සිජන් නිපදවීම වැඩිදියුණු කරන්නට කටයුතු යෙදුනා. ඒත් එයින් වැඩ නිමවෙලා තියෙන්නේ තැන් 30ක පමණයි. ඒ වගේම විදෙස් විශේෂඥයින් කියන ආකාරයට ඉන්දියාවෙදි ඔක්සිජන් ලබාදෙන ක්‍රමය හරහාත් ඔක්සිජන් නාස්ති වීමක් සිදු වෙනවා. ඒ අස්සේ අප්‍රේල් මසදී දිල්ලියේ ඔක්සිජන් පුපුරා යෑමකින් රෝගීන්ට හානිත් සිදු වුණා. කෙසේ වෙතත් ඔක්සිජන් නිපදවීම සැණෙකින් කරන්නට බැහැ. ඒ නිසා ඉන්දියාවට රටින් ඔක්සිජන් සැපයුම් ලැබුණත් අවශ්‍ය ප්‍රමාණය නොලැබීම නිසා අපහසුතාවයට පත් වුණා. 

 

5. වැක්සීන් කෝ? 

ඉන්දියාවෙන් තමයි අපිටත් වැක්සීන් මුලින්ම ආවේ. ඉන්දියාව එවර අවට කුඩා රටවල් රැසකට කොවිශීල්ඩ් එන්නත් නොමිලේම ලබා දුන්නා. ඒත් ඉන්දියාවේ තත්ත්වය දරුණු වන විට ඉන්දියාවට එන්නත් නැති වුණා. බිලියන 1.3ක ජනතාවගෙන් අඩු තරමේ මිලියන 80ක් වත් වැක්සින් කරාම තමයි ඉන්දියාව කියන රටට ප්‍රතිශක්තිය ඇතිවුණා කියල සළකන්න වෙන්නේ. මේ වැක්සීන් සම්පූර්ණ ධාරිතාවම ලැබුණත් ඉන්දියාවේ මිලියන අටසීයකට වැක්සීන් විදින්නම මාසයකට වඩා කාලයක් ගත වෙනවා. කෙසේ වෙතත් රුසියාව සහ ඇමරිකාවෙන් විටින් විට එන්නත් තොග ලැබුණත් ඉන්දියාවේ එන්නත්කරණය සාර්ථක වුණේ නැහැ. ඉන්දීය සුවිශාල එන්නත් නිෂ්පාදනාගාර හිමිකරුවන් විදෙස් ගත වුණේ එරට දේශපාලකයින්ගේ, නිලධාරීන්ගේ ඉල්ලීම් සහ තර්ජන ඉවසා සිටීමට බැරිම තත්ත්වයට ආපු නිසා. 

 

6. මරණ පිළිස්සීම 

ඉන්දියාවේ මරණ පිළිස්සීමත් ලොකු ගැටළුකාරී තත්ත්වයකට ආවා. ලංකාවේ නම් මරණ පුළුස්සනවා කියන්නේ දැන් වෙනමම ගෑස් දහන කුටීරයකට ඇතුළත් කරලා කරන ටිකක් ඇඩ්වාන්ස් වැඩක්. ඒත් ඉන්දියාව තවමත් දර ගොඩවල් ගහගෙන පැය ගණන් ආගමික වතාවත් කරමින් තමයි මිනී දහනය කරන්නේ. මේ අකාර්යක්ෂම මිනී දවන ක්‍රමය නිසා පැය විසිහතරම මිනී දවලාත් මිනී දවාලන්නට අවකාශ නැති වුණා. ඒ නිසා ප්‍රසිද්ධ කාර් පාක් මිනී දවන්නට යොදා ගත්තා. ඒ වගේම මිනී දවන විට එන දුම දවස තිස්සේම එන්නට ගත්තේ පෑ විසිහතරම දවන්නට මිනී එකතු වෙන නිසා. මුස්ලිම් මරණ භූමිදානය කරනවා වුවත් ඔවුන්ටත් ඉඩ කඩ ගැටළුව දරුණුවට බලපාලා තිබුණා. කොහොම වුණත් මේ ආකාරයට දැවීමේදී දර භාවිතය වැඩි නිසා දර මදි විමේ ගැටළුවකට ඉන්දීය මරණ ආදාහනය කරන ආගමික බමුණන් මුහුණ දීලා තිබුණා. 

 

7. සෞඛ්‍ය සේවාවේ කඩා වැටීම 

හින්දි සිනමාපටවලදි කාශ්මීරයේ, මනාලියේ ලස්සන කඳු යායවල් අපිට දකින්නට ලැබෙනවා. පන්ජාබයේ සුන්දර වෙල් යායවල් තියෙනවා. දකුණු ඉන්දියාවේ ලස්සන කඳු බිම් ආදිය චිත්‍රපට වල තියෙනවා. ඒත් ඉන්දියාව කියන රට සෞඛ්‍ය සේවාව අතින් ගත්තොත් පහත් අඩියක තියෙන තැන් වැඩියි. දිල්ලි වගේ නාගරික කලාප වල පවා ජනයාගේ සෞඛ්‍ය පහසුකම් සපයාගැනීම බහුතර ජනයාට ගැටළුවක්. දුරබැහැර ගම්මාන උප නගර වල ජනයා පැය ගණන් රිය වලින් ගිහින් තමයි සෞඛ්‍ය පහසුකම් ගන්නේ. මේ දුර්වල සෞඛ්‍ය පහසුකම් තත්ත්වය අවබෝධ කරගෙන තමයි ඉන්දියාව 2020 මුල් කොරෝනා තත්ත්වයේදී ලොකු ලොක්ඩවුන් එකකට ගියේ. ඒත් දෙවන වර තත්ත්වය දැනගන්නා විට පෙරහැර ගිහින් ඉවරයි. නිවුස් මවන්නේ කොවිඩ් එන්නත් සහ ඔක්සිජන් වුවත් රෝගීන් ලක්ෂ ගණනින් වාර්තා වනවිට ඒ සඳහා සෞඛ්‍ය සේවකයින්, ඇඳන්, වැසිකිළි පහසුකම්, වෛද්‍යවරුන්, හෙදියන් ආදී සම්පත් රැසක් එකතු වෙන්නට උවමනා වෙනවා. කෙහොමත් ලෙඩකට බේත් ගන්න එකත් ලොකු අභියෝගයක් වෙච්චි දුප්පතුන් මිලියන දෙතුන් සියයක් ඉන්න ඉන්දියාවට කොවිඩ් 2021 අප්‍රේල් රැල්ල ලේසි අභියෝගයක් වෙන්නේ නැහැ. 

 

කොවිඩ් වලින් 2020 වර්ෂයේදී යුරෝපය, ඇමරිකාව සහ දකුණු ඇමරිකා ආදී රටවල් දැඩිව බැට කෑවා. ඒත් ඉන්දියාව බේරෙයි කියන හැඟීම ලාංකික අපිටත් තිබුණා. ඒත් දැන් තත්ත්වය වෙනස් වෙලා. ලෝක බලවතෙක් ලෙස ඉදිරියට එන ඉන්දියාව යම් යම් ක්ෂේත්‍ර හරහා ලෝ පතල වුණත් ඔවුන්ගේ මහජන සෞඛ්‍ය පද්ධති ආදිය තවමත් තිබෙන්නේ පසුගිය සියවසේ මැද භාගයේ තත්ත්වයේ. ඉතින් රටක් දියුණු වෙලා එහි තාක්ෂණය වැඩි වෙද්දි ඇති හැකි අය ගැනම අවධානය යොමු නොකර සමස්ථ සෞඛ්‍ය පද්ධතියේම දියුණුව ගැන හිතුවා නම් ඉන්දියාවට මේ තත්ත්වය මීට වඩා හොඳින් කළමනාකරණය කරගන්නට අවස්ථාව තිබුණා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *