කසාද බඳින්න කලින්ම සෙක්ස් කළොත් අප්සට්ද?

මේවා ඉතින් කෙලින් නොකිව්වට ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේම ගත්තත් දැවෙන ප්‍රස්නනේ. දැන් මේ කසාදෙට කලින් සෙක්ස් කරන එක හොඳයිද නරකයිද කියලා අහන ප්‍රශ්නේ පැති කීපයක් තියෙනවා. ඒ හැම පැත්තක් දිහාම බලන්න උත්සාහ කරලා මේ ගැන පොඩි අදහසක් ලබාදෙන්න තමයි අපි උත්සාහ කරන්නේ.

 

1. මගේ නිදහස මගේ!

Image Source – idas.org.uk/ mic.com/ pngall .com

මෙන්න මේ කොටස කියනවා තමන්ගේ ලිංගිකත්වය සහ ලිංගික ක්‍රියා කියන්නේ සමාජයේවත්, වෙන කාගේවත් වැඩක් නෙවෙයි, ඒක තමන්ගේ වැඩක්ය කියලා. එහෙම කෙනෙක් ස්වාධීන වෙන එකට අපිට මොකුත් කියන්න බෑ තමයි. විශේෂයෙන්ම ඒ ස්වාධීනත්වයත් එක්ක වගකීම් සහගත බවක්, ප්‍රවේසම් සහගත බවක්, දුරදිග බැලීමක් වගේ ගුණාංගත් තියෙනවා නම් ඒකට අපිට කියන්න කිසිම දෙයක් නෑ.මෙහෙම කියන්නේ එක හේතුවක් නිසා. එකක්, වගකීමක් නැතිව පාවිච්චි කරන වල්බූරු නිදහස භයානකයි. ඒක සෙක්ස් සම්බන්ධයෙනුත් එහෙම තමයි.

 

2. මම හොඳයි, සදාචාර සම්පන්නයි!

Image Source – memecenter.com

විවාහ වෙන්න කලින් සෙක්ස් කරන එකට විරුද්ධ වෙන අය කියන්නේ විවාහ වෙන්න කලින් තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි එක්ක වුනත් සෙක්ස් කරන එක අපරාධයක්ය, සදාචාර විරෝධී ක්‍රියාවක්ය, ඇතැම් වෙලාවකට පාපයක්ය කියලා තමයි. ඔව්, මේවාට ආගම ගාවගන්න එකත් සෑහෙන්න වෙනවා. මේ අය සමහර වෙලාවට කිස් එකක් දෙනවට විරුද්ධ වෙන එකක් නෑ. වැළඳ ගැනීමක් වුනත් ඕකේ වෙන්න පුලුවන්. එතනින් එහාට පු‍තෝ වානා. හැබැයි සමහර දැඩි මතධාරියෝ ඉන්නවා අතින් අල්ලනවා, නළලට කිස් එකක් දෙනවා ඇරෙන්න බඳින්න කලින් ඇ‍ඟේ හැප්පෙන්නෙවත් නෑ!

 

3. ෂේප් එකේ, ලිමිට් තියං!

Image Source – sustyvibes.com

ඇත්තම කිවුවොත් මේ තමයි බහුතරය. ඒ කිවුවේ මෙහෙමයි. දැන් ලංකාවේ ගත්තොත් ගෑණු ළමයෙක්ගේ පාරිශුද්ධ භාවය ගැන බුදු අම්මෝ මෙව්වා එකක් තියෙනවනේ. එතකොට ඔය පාරිශුද්ධ භාවය මනින්නේ හොඳ ගතිගුණ, අවංක අදහස් වගේ ඒවලින් නෙවෙයි. කන්‍යාභාවයෙන්. ඔව් අර කියන්නේ කන්‍යා පටලය කියලා, අර මුලින්ම සෙක්ස් කරාම කැඩෙනවා කියන්නේ, අන්න ඒකෙන්. ඔය කතන්දරේ සමාජයක් විදියට ගත්තත් කොයි තරම් පසුගාමීද කියලා අපි පස්සේ දවසක සාකච්ඡා කරමු. හැබැයි පොයින්ට් එකට ආවොත්, ගොඩක් වෙලාවට විවාහයට කලින් සෙක්ස් කරන්නේ නැත්තේ ප්‍රධාන වශයෙන් මේ විවාහයේදී කරන කන්‍යා පටල පරීක්ෂණය නිසා. ආන්න ඒ හින්දා ගොඩක් කපල් සෙක්ස් කරනවා. හැබැයි වැජෙයිනල් පෙනට්‍රේෂන් සෙක්ස්, ඒ කිව්වේ යෝනි මාර්ග සංසර්ගයට යන්නෙ නෑ. ඊට පස්සේ ඉතින් කසාදේ දවසට රෙදි නැන්දෙක් ආවත්, නැන්දම්මෙක් ආවත් ප්‍රශ්න නෑනේ.

එහෙමද හිතාගෙන ඉන්නේ? මේ කන්‍යාභාවය බලනවා කියන කාරණයම ගැටළුවක්. මොකද සමහරුන්ට උපතින්ම කන්‍යා පටලය පිහිටන්නේ නෑ. තව සෑහෙන කොටසකගෙ ජීවිත කාලේ ඇතුළත ලිංගික නොවන ක්‍රියා නිසා ඕක කැඩෙන්නත් පුලුවන්. ඒ මොන දේටත් වැඩියෙන් අපි කවුද ඕයි වෙන මනුස්සයෙක්ගේ ඇ‍ඟේ කෑලි බෑලි ගැන ජජ් කරන්න???

 

4. ඊට පස්සේ කවුද මාව බඳින්නේ?

Image Source – independent.co.uk

ඔව්, කසාද බඳින්න කලින් සෙක්ස් කිරීමේදී වැඩි අවදානමක් “අපේ සමාජේ හැටියට” තියෙන්නේ කාන්තාවට. ඇයි? අපි කියමු ඔන්න බෝයිෆ්‍රෙන්ඩ් එක්ක සෙක්ස් කරනවා. ඉන් පස්සේ මොකක් හරි නිසා ඒ සම්බන්ධේ කැඩෙනවා. ඊළඟට කසාද බඳින එකා කන්‍යා පටලය ගැන මහ ඉහළින් හිතනවා. දැන් ඔතනදී කෙල්ල මූණදෙන අත්දැකීම මොකක්ද?

මෙතනදී අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ව කසාද බඳින්න තියෙන්න ඕන අදහස් ගැලපීම, ගැලපෙන ගතිගුණ, අවබෝධය වගේ කාරණා නැතුව කන්‍යා පටලය කියලා හිතෙන මනුස්සයෙක් ඉන්නවා නම්, ඒ වගේ උන් කසාද නොබැඳ ඉන්න එකම හොඳයි. කන්‍යා භාවය ‍රැකගෙන ජීවත් වුණු ගෑණු ළමයෙක් අදහස්, ගතිගුණ වලිනුත් පාරිශුද්ධයි කියන එක බොහොම ජනප්‍රිය මිත්‍යාවක්. අපි හැමෝම මිනිස්සු. හොඳ, නරක සමෝසමේ තියෙන මිනිස්සු. ඉතින් එතකොට කෙල්ලෙක් ගත්තත් ඒ කෙල්ලගේ හොඳ වැඩි වෙන්න හෝ නරක වැඩි වෙන්න ඔය කන්‍යා පටලේ බලපාන්නේ නෑ!

 

5. බඳින්න කලින් සෙක්ස් කළොත් ප්‍රෙග්නන්ට් වෙයිදෝ?

Image Source – youtube.com

අර උඩින් කියපු කන්‍යා පටලය එක්ක තියෙන මැන්ටල් අදහස හැරුණුකොට බොහොම ප්‍රායෝගික ගැටළුවක් තමයි මේක. ඇයි? අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකදී දරු පිළිසිඳ ගැනීමක් සිදු වුනොත්, ඒකට මුහුණ දෙන්න ඕන කාන්තාව. ඉතින් විවාහ වෙලා නැති කාන්තාවකට ලංකාව වගේ රටක ඔය වගේ දේකට මුහුණ දෙන්න සිද්ධ වෙන එක කොයි තරම් භයානක අත්දැකීමක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඇත්තටම, සෙක්ස් සහ දරුවෙක් හදනවා කියන්නේ දෙකක්. සෙක්ස් කියන්නේ මේ වෙනකොට මනුස්ස සතා ආට් එකක් දක්වා දියුණු කරපු දෙයක්. ඒක එන්ජෝයි කරන්න තියෙන දෙයක්. හැබැයි දරුවෙක් මේ ලෝකෙට බිහිකරනවා කියන්නේ අති විශාල වගකීමක්. ඒක එහෙම ලඝුවට හිතන්න ඕන කාරණයක් නෙවෙයි. සැලසුම් කරලා කරන්න ඕන දෙයක්.

හැබැයි ඉතින් විවාහයට කලින් සෙක්ස් කරලා මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ බහුතරයක් පවුල් සැලසුම් වගේ දේවල් ගැන නොදන්න නිසා හෝ පවුල් සැලසුම් ක්‍රම වලට මොනවා හෝ මිත්‍යා හේතු නිසා අකැමැති නිසාය කියන එක අපි කියන්නම ඕන. පවුල් සැලසුම් ගැන අදහසක් තියෙනවා නම් මේක ප්‍රශ්නයක් නෙවෙයි!

 

6. බඳින්න කලින් සෙක්ස් කරනකොට ලෙඩ හැදෙයිද?

Image Source – bringmethenews.com

මේ ලෙඩ කියලා කියන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන. මෙතනදී කතාව මෙහෙමයි. විවාහ වෙන්න කලින් වුනත්, විවාහ වුනාට පස්සේ වුනත් ලිංගික සම්බන්ධතාවයක් තියාගන්න එක සුදුසු විශ්වාසවන්ත සහකරුවෝ හරි සහකාරියෝ හරි එක්ක. එතනදී වුනත් ආරක්ෂාකාරීව ලිංගික සම්බන්ධතාවයක් පවත්වන එකයි යෝග්‍ය. ඒකෙන් උඩින් කියපු කාරණාවටත් පිළිතුරක් ලැබෙනවා. දැන් මේ කියන කාරණාවටත් පිළිතුරක් ලැබෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණ වෙන රෝග කියන්නේ බැන්දා හෝ නොබැන්දා අනිවාර්යයෙන්ම හැමෝම ආරක්ෂා වෙන්න ඕන දෙයක්.

 

7. වාසිත් තියෙනවා!

Image Source – huffingtonpost.com

විවාහ වෙන්න කලින් සෙක්ස් කරන එකේ, ඒ කියන්නේ අඩු ගාණේ සෘජු ලිංගික සංසර්ගයකට නොගියත් මොනයම් හෝ දේවල් සිදුකරන එකේ වාසි කීපයක් තියෙනවා. එකක් තමයි දෙන්නට දෙන්නා විවාහ වෙන්නේ දෙන්නගේ වුවමනා එපාකම් හොඳින් දැනගෙන. ඇත්තම කතාව තමයි විවාහයට කලින් දෙන්නට දෙන්නා තමන්ගේ නිරුවත දැකලා තිබීමේ ලොකුම වාසියක් තමයි විවාහයෙන් පස්සේ අනාරක්ෂිත හැඟීම් ඇති නොවීම. ඒ කියන්නේ තමන්ගේ ශරීරය හෝ තමන්ගේ පාට්නර්ගේ ශරීරය ගැන කිසිම අවුලක් විවාහ වෙනකොට ඇතිවෙන්නේ නෑ, තමන් පාට්නර්ගේ සහ තමන්ගේ නිරුවත ගැන සැහැල්ලුවෙන් නම් ඉන්නේ.

තවත් ප්‍රධාන කාරණයක් තමයි සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක. ඒ කියන්නේ තමන් විෂම රිසියෙක්ද නැතිනම් සම රිසියෙක්ද වගේ කාරණා දැනගන්න නම් කලින් මොනයම් හෝ අත්දැකීමක් තියෙන එක ප්‍රයෝජනවත්. බැරිවෙලාවත් තමන් සමරිසියෙක් කියලා දැනගන්නේ විරුද්ධ ලිංගිකයෙක්ව කසාද බැන්දට පස්සේ නම් එතන ජීවිත දෙකකට ප්‍රශ්න.

ඊළඟට විවාහයෙන් පස්සේ එකේ ඉඳන් ඉගෙන ගන්න සිදුනොවීම. මොකද සෙක්ස් කරනවා කියන්නේ ඔය නිල් පිචර් වල තියෙන විදියේ ගාණට රූලට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඇත්තම කතාව සෙක්ස් කරන්න ප්‍රැක්ටිස් එකක් ඕන. ඉතින් අඩු තරමින් ටූනමන්ට් මැච් එක ගහන්න යන්න කලින් අඩු ගාණේ සොෆ්ට් බෝල් මැච් ගහලා ප්‍රැක්ටිස් එකවත් තියෙන එක හොඳයි.

 

8. තමන්ට විවාහයට කලින් සෘජු ලිංගික සංසර්ගයකට යන්න වුවමනා නැතිනම්?

Image Source – everydayhealth.com

මෙන්න මේක කෙලින් ගන්න ඕන තීරණයක්. ආසයි බයයි සීන් බෑ. තමන්ට වුවමනා නැතිනම් වුවමනා නෑ. ගොඩක් දෙනෙක් මේ වගේ තීරණයක් ගන්න එක හේතුවක් තමයි විවාහයෙන් පස්සේ තියෙන මධුසමය වඩාත් සුවිශේෂී වෙන්න වුවමනාය කියන එක. ඒකට විරුද්ධව කථා කරන්න අවශ්‍ය නෑ. හැබැයි මේ වගේ තීරණයක් ගන්නවා නම් එතනදී තව කරුණු කීපයක් සැලකිල්ලට ගන්න ඕන.

අපි කියමු විවාහයට කලින් යම් යම් ලිංගික ක්‍රියාවන් වල නිරත වෙන එක තමන්ට ඕකේ කියලා. ආන්න එහෙමනම් තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට ඒ බව කෙලින් කියන්න ඕන. ඒ බව සාකච්ඡා කරන්න ඕන. විශේෂයෙන්ම මේ සාකච්ඡාව සිද්ධ වෙන්න ඕන තමන් සෙක්ස් කරන්න කලින්. ඒ කියන්නේ ඇඳට නැගලා ඕවා කතා කරලා හරියන්නෙ නෑ. අනික විශේෂයෙන්ම කාන්තාවෝ, මේ වගේ තීරණයක ඉන්නවා නම් “මං බබා” පාට් නොදා කෙලින්ම ඒ ගැන සහකරුට හෝ සහකාරියට කියන්න ඕන.

 

ඉතින් අපි විවාහයට පෙර ලිංගික ක්‍රියා පැවැත්වීම අනුමත කරනවාද? එහෙම නැතිනම් ඒකට විරුද්ධ වෙනවද? ඒකට අපි උත්තර දෙන්නෙ නෑ. මොකද ඇත්තටම අපේ උත්තරය වැදගත් නෑ. මේ වගේ දේකදී වැදගත් වෙන්නේ ඔබ ඒ ගැන මොනවද හිතන්නේ කියන එකයි. ආන්න ඒ විදියට බඳින්න කලින් සෙක්ස් කිරීම ගැන හිතන්න වුවමනා කරුණු ටිකක් අපි සපයලා තියෙනවා. එතනින් එහාට තීරණේ ඔයාලා සතුයි.

මොකද මේ ගැන හිතන්නේ කියලා අපිට ෆේස්බුක් කමෙන්ට් එකකුත් දාලා කියලම යන්න!

 

Cover Image Source – selahsomeonetotalkto.com/ theswexperts.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *