ලෝකයේ විදුලි සැපයු​ම අඩුවෙන්ම පැතිරී ඇති රටවල්

විදුලිය නැති කාලේ මතක තියෙන පිරිසක් තවමත් අපි අතර ඉන්නවා. එහෙම නැතිනම් අඩු තරමේ 1990 ගණන් වල දිගින් දිගට විදුලි කැපීම් තිබුණ හැටි හරි මතක තියෙන අය ඉන්නවා. ඉතින් විදුලිය කියන්නේ මේ වෙද්දි අපේ රටේ බොහෝ තැන්වලට විහිදිලා තිබෙන්නක්. ඒ නිසා විදුලිය නැතිවීම අපිට මේ වෙද්දි සැරටම දැනෙන දෙයක්. ඒත් තවමත් ජනගහණයෙන් බාගෙකටවත් විදුලි සැපයුම නැති රටවල් තියෙනවා. අපි බලමු ඒ වගේ රටවල් 7ක් ගැන. 

 

1. බුර්කිනෝ ෆසෝ 

බුර්කිනෝ ෆසෝ වල 13.1%ක පිරිසකට විතරයි 2013 දී විදුලිය තිබුණේ. ඒ නිසා ලෝක බැංකුව මිලියන 50ක ණයක් දුන්නා විදුලි සැපයුම් ව්‍යාපෘති වලට. ඒ හරහා ගම්බද උප නගර 40කට විදුලි බලය ලබාදෙන්න සැලසුම් වුණා. අලුතින් කේබල් ව්‍යෘපෘති එහෙමත් සැලසුම් වුණේ ඒ රටේ පවර් ග්‍රිඩ් එක ශක්තිමත් කරන්න. ඒ වගේම විදුලිය ජනනය කරන්න ජල විදුලි සහ තාප බලාගාරත් බුර්කිනෝ ෆසෝ වල ඇතිවෙමින් තියෙනවා. 

 

2. මධ්‍යම අප්‍රිකානු ජනරජය 

 ගොඩබිමින් වටවූ මධ්‍යම අප්‍රිකානු ජනරජය ලෝකයේ තිබෙන දුප්පත්ම රටක්. ඒකේ ජනගහණයෙන් 10.8%කට විතරයි විදුලිය තියෙන්නේ. මේ රටේ නිතරම මිලිටරි සහ ත්‍රස්තවාදී කැරලි කෝලහාල තියෙනවා. ඒ වගේම එරට කලක පටන් ආර්ථික අහේනියක ඉන්නේ. මේ රටේ 50%ක් විතර ජනතාව දිවි ගැටගහගන්නේ ලෝක ආහාර වැඩසටහන් හරහා ලැබෙන ආධාර වලින්. මේ රටේ ස්ථාවර විදුලි සැපයුමක් හදන්න කලින් ස්ථාවර රජයක් හැදිලා ස්ථාවර රටක් හැදෙන්න ඕනි බව තමයි ලෝක සංවිධාන වල අදහස වෙන්නේ. 

 

3. ලයිබීරියාව 

ලයිබීරියාවේ ජනගහණයෙන් 9.8%කට විතරයි විදුලිය තියෙන්නේ. මේ රටේ සමස්ථ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩිහරියක් ගන්නේ ජෛව ඉන්ධන වලින්. සරලවම දර දහනය කරලා තමයි එයාල බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නේ. ලයිබීරියාවේ ජනගහණයෙන් 85%ක් විතර සිය බලශක්ති අවශ්‍යතාවන් වලට ගල් අඟුරු යොදාගන්නවා. සමහර ගම්බද පැතිවල ජනතාවට විදුලි උත්පාදක යන්ත්‍ර තියෙනවා. ඒත් ඒවා වැඩ කරන්න නම් ඩීසල් හෝ ඒ වගේ ඉන්ධනයක් අවශ්‍ය වෙනවා. තියෙන විදුලියත් බොහෝවිට ප්‍රවාහන සහ නාගරික කර්මාන්ත වලට තමයි ලයිබීරියාව විසින් යොදාගනු ලබන්නේ. . 

 

4. මලාවි 

මලාවි රටෙත් විදුලිය තියෙන්නේ ලයිබීරියාවේ වගේ 9.8%කට විතරයි. මේ රටේ තවත් විදුලිය සැපයුම ව්‍යාප්ත කරන්න ජල විදුලියේ සහාය ලබාගන්නට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා ඒ අය ලෝක බැංකුවෙන් මිලියන 85ක ණයකුත් ඉල්ලුම් කරලා තියෙනවා. ඊට අමතරව සුළං, දර දහනය, සූර්ය විදුලිය හරහාත් විදුලිබලය උත්පාදනය කරන්න මලාවි රට සැලසුම් කරලා තියෙනවා.ගම්බද පළාත් තවමත් කළුවරේම තියෙන ලයිබීරියාවට සැලසුම් කරන විදිහට විදුලිය ජනතාව අතරට ලබාදෙන්න හැකිවේවිය කියලා ලෝක බැංකුව විශ්වාස කරලා තියෙනවා. 

 

 

 5. බුරුන්ඩි 

බුරුන්ඩි රටේ 90%ක්ම ජීවත් වෙන්නේ ගම්බද දුෂ්කර පළාත් වල. ඒ රටේ නගරවල ඉන්න 6.5%ක පමණ බොහොම සුළු පිරිසකට තමයි විදුලිබලය ලැබෙන්නේ. බුරුන්ඩි වල ජල විදුලි බලාගාර තිබුණත් වැස්ස අඩු කාලේට ඒවායෙන් ලැබෙන විදුලිය ඇණ හිටිනවා. බුරුන්ඩි රටේ උයන පිහන සහ වෙනත් බලශක්ති අවශ්‍යතාවයන් වලට බහුලව ජෛව ඉන්ධන තමයි පාවිච්චි වෙන්නේ. කුඩා පරිමාණව දැනටම සූර්ය සහ සුළං විදුලි උත්පාදන ව්‍යාපෘති තියෙනවා. 

 

 

6. චැඩ් ජනරජය 

චැඩ් කියන්නෙත් යටිතල පහසුකම් දියුණු වෙලා නැති රටක්. ඒ වගේම චැඩ් වල ගම්බද පළාත්වලට විදුලිය ලැබීමෙත් සැළකිය යුතු අඩුවක් තියෙනවා. සමස්ථ ජනගහණයෙන් 6.4%ක ට විතරයි චැඩ් වලදි විදුලිය ලැබෙන්නේ. දැනට තියෙන විදුලි බලය භූතාපය සහ දර ඇසුරින් ලබාගන්නවා. මේ රටේ 80%ක් ජනතාව වැඩකරන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ. චැඩ් වල ජනතාව විදෙස් ආයෝජන මත සිය බලාපොරොත්තු තබා තියෙනවා. චැඩ් සිට කැමරූන් දක්වා දිවෙන ඉන්ධන නල ඔවුන්ට බලාපොරොත්තු එකතු කරලා තියෙනවා. 

 

 

7. දකුණු සුඩානය 

දකුණු සුඩානය ලෝකයට අලුතින්ම එකතු වුණු රටක්. ඒකේ 5.1%ක් වගේ ඉතාම සුළු පිරිසකට විතරයි විදුලි සැපයුම ලැබිලා තියෙන්නේ. මේ රටේ අවුරුදු 30කට වඩා දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙන යුධ පසුබිමක් තිබුණා. දකුණු සුඩානයත් ආයෝජකයින් එරටට එක් කරගන්න විවිධ ව්‍යාපෘති කරනවා. ඒත් ඒ රටේ යටිතල පහසුකම් වල අඩුකම ආයෝජකයින් ඇති පමණ නොඒමට එක හේතුවක් වෙලා තියෙනවා. 

 

අපිට තියෙන ආර්ථික අර්බුදය එක්ක නව විදුලි බලාගාර ඇතිවෙන පාටක් නැහැ. නොරොච්චෝලේ බිඳ වැටුණොත් රටෙන් වැඩිකොටසකට විදුලිය දෙන්න හැටියකුත් නැහැ. වසර ගණනාවක් ප්‍රමාද විදුලි බලාගාර සැලසුම් ෆයිල් වලම වේලෙද්දි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන සපයාගන්න බැරි වුණොත් අපෙත් සැපයුම තිබුණත් සැපයුම හරහා විදුලිය සැපයෙන කාලය ඉදිරියේදී සීමා වේවි. ඉතින් සම්පූර්ණ විදුලිය නැතිම රටවල් දිහා බලලවත් අපිට සැනසීමක් තමයි ඉස්සරහට යෙදිලා තියෙන්නේ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *