ජීවිත ගොඩක් බිලිගත් ඒ කෲරතර ප්‍රහාර මාලාව ලෝකයේ ශිෂ්ඨ සම්පන්න සෑම මනුස්සයෙකුගේම මුවට සුසුමක් එකතු කළා. ඒ අවස්ථාව නිසා සමීපතමයින් නැතිවුන පිරිස් අපි අතර උන්නා. ඒ අවස්ථාවේ ජාති භේදයක් ආගම් භේදයක් නැතුව මුලු මහත් ලංකාවම එකම මළගෙයක් වගේ වුනා. ඇත්තටම 2009 ත්‍රස්තවාදී යුද්ධය ඉවර වුනාට පස්සේ අපේ ජනතාවට මුහුණදෙන්න වුණු අඳුරුතම අත්දැකීම තමයි මේ කෲර ප්‍රහාර මාලාව. ඒ වෙලාවෙදි අපේ ජනතාවගේ හිත උණුවුනා. එකිනෙකාට කරන්න පුළුවන් සෑම උදව්වක්ම කරන්න පෙලඹුනා. අපි ඒ අපේ ලාංකික ජනතාවගේ කැපවීම වෙනුවෙන් ලයිෆි අපි මේ අවස්ථාවේ සටහනක් තියන්නට ඕනා කියලා හිතුනා.
1. උත්සව සිරියට තිත
මේ බක්මාසය ලාංකික සිංහල ජනයාට වගේම මුස්ලිම්, දෙමළ ජනයාටත් හොඳ නිවාඩුවක්. සිංහල අවුරුදු උත්සවය නිසා රට පුරා එකම සැණකෙළියක් බවට පත් වෙනවා. කුඩා කුඩා අවුරුදු උත්සව මේ අප්‍රේල් විසි එක, විසි දෙක වගේ දවස් වල ලංකාවේ හැම තැනකම තියනවා. ඒ වගේම අප්‍රේල් 22 කියන්නේ දීර්ඝ අවුරුදු නිවාඩුව ඉවර වෙලා ජනතාව නැවත සතුටින් සේවයට වාර්තා කරන්න තිබුන දවස. මේ සිදුවීම වාර්තා වීම එක්ක ගොඩක් තැන්වල අවුරුදු උත්සව අහෝසි කෙරුණා. කාර්යාලයට ගෙනියන්න ගෙවල් වල කැවිලි පෙවිලි හදන්න පටන්ගත්තු වැඩ එහෙමම නැවතුනා. සංගීත සංදර්ශන, රූකඩ, නැටුම් ගැයුම් ආදී සෑම සියලු දෙයක්ම අපේ ජනතාව මාස ගණන් තිස්සේ සැලසුම් කරලා තිබුනා. ඒ්ත් මේ විපත්තිදායක අවස්ථාව නිසා ඒවා පැවැත්වුනේ නැහැ. සමහර රූපවාහිනී රේඩියෝ චැනල් වලට සුපුරුදු ටෙලිනාට්ටි ටික සින්දු ටික අමතක කරන්න බැරිවුනා. ඒත් රටේ සාමාන්‍ය මහජනතාව තමුන්ගේ ගෙවල් ගාව මළගෙයක් වුනා වගේ මේ විපත් අවස්ථාව දුක්බරව ගත කළා.
2. ලේ පෝලිම
මීගමුවේ පිපිරීම් එක්ක මීගමු රෝහලට අප්‍රේල් 21 උදේ ලේ හිඟයක් ඇති වුනා. කොළඹ ලේ බැංකුවත් ලේ දෙන අයට ආරාධනා කළා. අවසානයේ මාධ්‍ය වලින් ලේ දෙන්න එන්න එපා කියලා කිහිප වතාවක් ප්‍රචාරය කරලත් ඉස්පිරිතාල ගාව ලේ දෙන්න ආපු සෙනග නවත්වගන්න බැරි වුනා. නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය තිබෙන පළාතම වහගෙන මහජනයා ලේ දෙන්න ඇවිල්ලා තිබුනා. තමුන්ට හැකි ආකාරයෙන් කුඩා කණ්ඩායම් ලේ දන්දීම් සංවිධානය කරලා තිබුනා. ඒත් රටේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මේ ලේ දෙන්න ආපු මහ සෙනගට හරියට ස්තූතියක් වත් ලැබුන විදියක් පෙනුන් නැහැ. ඒත් අපේ මහජනයාට ලේ ටිකක් ඕනි නම් කොහොම හරි ගිහින් අපේ අය ලේ දුන්නා. ඒවට අපේ මිනිස්සුන්ට ආයේ කාගෙවත් ස්තූති ඕන නැහැ. පිපිරීම් වල පසුබිම ගැන මෙලෝ තොරතුරක් දන්නේ නැතිව ඉන්න වෙලාවක වුනත් තමුන්ගේ වාහන වල ගිහින් මිනිස්සු ලේ දෙන්න කැපවුන කැපවීම වචනයෙන් කියන්න බැරි තරම් ලොකු පරිත්‍යාගයක්. ඒක අපේ පුංචි රටට ආඩම්බරයක්.
3. නැතිවුන පිරිස
“මම හෝටලයට ගිහින් හැම බොඩි එකකම මගේ මහත්තයාගේ මූණ හෙව්වා. අපේ වාසනාවට එයා ඉස්පිරිතාලෙදි මට හමු වුනා.“
තමුන්ගේ මහත්තයා හොයාගෙන ගිය සහෝදරියක් ට්විටර් එකේ එහෙම සටහනක් දාල තිබුනා. ඇත්තටම ඒ සහෝදරිය තරම් සමහර අය වාසනාවන්ත වුනේ නැහැ. සමහර අයට තමුන් සෙවූ ප්රියතමයා හමු වුනේ ඉස්පිරිතාලේ මෝචරියෙන්. මේ වෙලාවේ මිනිස්සු සිහියකින් හිටියේ නැහැ. එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ඔහුගේ පවුලේ අය සොයාගෙන ඉස්පිරිතාලෙට යද්දි ඔහුගේ ජාතිය කියාගන්නට බැරි තරමට කම්පනයට පත් වෙලා තිබුනා. ඉතින් මේ වෙලාවෙදි අපේ ජනතාව තමුන්ට හැකි පමණ උදව් කරගත්තා. සමහරු වාහන අරගෙන මේ අය හොයන්න යන්න ඉදිරිපත් වුනා. තවත් එය සෝෂල් මීඩියා බ්ලොක් වෙනකල්ම දන්න අයගේ සේයාරූ හුවමාරු කරගත්තා.
4. මල්ලියෙ නංගියෙ එන්න අපේ ගෙදර
ඇඳිරි නීතිය පැනවුනේ හදිසියෙම. නගරවල හිරවෙලා උන්න අයට ගෙවල් දොරවල් වල යන්න වෙලාවක් ඉතුරු වුනේ නැහැ. පාරකට ගියත් බස් එකක් නැහැ. ඒ වගේ වෙලාවල එවෙලේ දැක්ක අඳුරන මිනිස්සු ගෙවල් වලට ගෙනහින් ඇඳිරි නීතිය වෙලාවේ කන්න බොන්න දීලා ඒ අයට එක රැයකට නවාතැන් දුන්නා. සමාජ ජාලා වල ඇක්ටිව් වෙලා තිබුන එකම සෝෂල් නෙට් එක වුනේ ට්විටර් එක. ඒකෙදි “අනේ මචං අපේ බෝඩිමේ එච්චර ඉඩ නම් නැහැ. ඒත් මාලබේ ස්ලිට් දිහා ඉන්නව නම් මොනාහරි කරගන්න පුළවන් වරෙන්” කියන්න අපේ කොල්ලෝ කෙල්ලෝ හිටියා. ඒ වගේම ඒ තැන්වලට ගිහින් නවාතැන් අරගෙන ඊළඟ දවසේ හිරවුන අය ගෙවල් දොරවල් බලා පිටත් වුනා.
5. රෝහලට වේගයෙන්
සිදුවීම වෙලා පැයක් විතර ගතවුනත් පිපිරීම් ස්ථාන සහ ඉස්පිරිතාල අතර ඇම්බියුලන්ස් දිව්වා. ඒ වෙලාවල් වලදි වටේ තියෙන ඇම්බියුලන්ස් මදි පාඩු වුනා. සාමාන්‍ය මිනිස්සුත් තමුන්ට හැකි පමණ පුද්ගලික වාහන මේ දේවල් වෙනුවෙන් දුන්නා. අපේ රෝහල් වල ඉන්න දොස්තර මහත්වරු සහ හෙද කාර්යමණ්ඩලත් ලොකු කැපකිරීමක් කළා. එකපාර බරපතල තුවාලකාරයින් සීයක් දෙසීයක් එනවා කියන්නේ ඕනිම රෝහලකට ලොකු බලපෑමක්. අපේ රටේ දොස්තර මහත්වරු හෙද සහ රෝහල් කාර්යමණ්ඩල මේ වගේ සිදුවීම් වලදි වැඩිය පේන්න නැහැ. විද්‍යුත් මාධ්‍ය වල වොයිස් කට් වලත් ඒ ගොල්ල ඉන්නේ අඩුවෙන්. ඒත් ලේ විදින තුවාල එක්ක ඒ අය කරපු මහා කැපකිරීමට අපි හැමෝම එයාලට ස්තූතිවන්ත වෙන්නට ඕනා.
6. දිරිය දුන් සෙබල බල මුළු
ෆිල්ම් වල නම් අපිට පේනවා හමුදාව, පොලිසිය කමාන්ඩෝ සෙබලු හරි හරියට ඇටෑක් කරනවා. ඒත් හැම වෙලාවෙම ඇත්ත ලෝකේ එහෙම නැහැ. පහුගිය කාලේ සෝමාලි මුහුදු කොල්ලකාරයින්ගෙන් නැව් ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්න වුනෙත් අපේ ලංකාවේ නාවික හමුදාවන්ට. අපේ හමුදාවන්ට තවමත් ඒ බයනැතුව නිර්භීත ඇත්ත ලෝකේ ඇටෑක් වලට මුහුණ දීමේ හැකියාව නොඅඩුව තියෙනවා. අපේ කොල්ලෝ පැය කීපයකින් සිද්ධියට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම් සොයාගන්න සමත් වුනා. ඒ වගේම දෙමටගොඩදී ඒ පිරිස් අත්අඩංගුවට ගන්න යෑමේදී අවාසනාවන්ත විදියට අපේ සෙබලු තිදෙනෙකු ජීවිතක්ෂයටත් පත් වුනා. මේ වගේ වෙලාවක බොහොම ඉක්මනින් ක්‍රියාකරලා තව තවත් වෙන්න තිබුන පිපිරීම් සහ ප්‍රහාර වලක්වන්න අපේ හමුදාව සමත් වුනා.
7. ජීවිත බිය සමග
මේ වගේ වෙලාවක අනිවාර්යයෙන් ආරක්ෂක අංශ ක්රියාකරන්නට ඕනා. ඒ වගේම ටෙලිකොම්, ජලසම්පාදන විදුලිබල වගේ අංශ වලටත් තමුන්ගේ වගකීම පැහැරහරින්න බැහැ. ගෙවල් වලින් වැඩට යන්න එපා කියල කිව්වත් දුම්රිය, පුද්ගලික බස් සේවාවන් වල අයත් 22 වෙනිදාත් පාන්දරම වැඩට ගිහින් තිබුනා. රටෙන් පිටවෙන්නට සංචාරකයින් විශාල තොගයක් සිටින වෙලාවක ගුවන් තොට කාර්යමණ්ඩල වලටත් වෙනදාට වඩා වැඩි වැඩරාජකාරි ලෝඩ් එකක් පැවරුණා. ජීවිත බිය සමග අපි කණ්ඩායමක් අන්තර්ජාලය රූපවාහිනිය සමග ගෙවල්වල තනි වුනත් පැවරුණ අත්‍යාවශ්‍ය රාජකාරි තියන උදවියට ඒ අදාළ තැන්වල රාජකාරිය කරන්නට නියම වෙනවා. ඉතින් ඒ අත්‍යාවශ්‍ය රාජකාරි පැවරුණ සහ ඒවා නොපිරිහෙලා ඉටුකළ වැඩකරන ජනතාවත් මේ වෙලාවේ රට වෙනුවෙන් කැපවුණු විරුවන් පිරිසක් වෙනවා.
8. පෙළට දුක බෙදාගත් විදෙස් ජනතාව
මසකට ඉස්සර වෙලා ආසියාවේ හොඳම සංචාරක ස්ථාන ගූගල් එකේ සෙව්වාම ඒ හැම වෙබ් එකකම ලංකාව මුල් තැනක තිබුනා. මේ විපත වෙලාවේ ලෝකෙම රාජ්‍ය නායකයින් නන් දෙසින් විපත ගැන දුක්වෙලා තිබුනා. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැති තුමා සිංහලෙන්ම සිය ශෝකය ප්‍රකාශ කරල තිබුනා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ඇතුළු ලෝකයේ නමගිය සෑම රටක්ම ලංකාව වෙනුවෙන් දුක් වුනා. පිටියේදී අපේ සතුරන් වුනත් ශේන් වෝන්, වසීම් අක්රම්, විරාත් කෝලි, ඇලන් ඩොනල්ඩ් වගේ විදෙස් ක්‍රිකට් තරුත් මේ වෙලාවේ ලාංකිකයින් වෙනුවෙන් සෝක පණිවුඩ නිකුත් කරලා තිබුනා. ඒ අතර ලංකාවට වරක් හෝ පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විදේශිකයින් “Such a Wonderful People” කියලා ලංකාවේ ජනතාව ගැන විශේෂයෙන් දක්වලා තිබුනා. ලස්සන රටක් විදිහට වගේම බොහොම ගුණයහපත් මිනිස්සු ඉන්න රටක් විදියට විදේශිකයින් ලංකාව දකිනවා. ඒ කියලා තිබුනා වගේම මේ කුරිරු ප්‍රහාර අවස්ථාවේ අපේ ජනතාව ඒ තමුන්ගේ තියෙන උතුම් මානුෂිය ගතිගුණ ලෝකෙට පෙන්නුවා.
ත්රස්තවාදීන් ලෝකෙටම හිසරදයක්. අන්තවාදියා බිහිවුන හැම තැනම ඒ සමාජයට ඔවුන් පිළිලයක්. සාමාන්‍ය ජනතාව මේ වෙලාවේ බෙදෙන එක මෝඩකමක්. ඒත් අන්තවාදියා නිවැරදිව හඳුනාගෙන, ඔහුට තේරෙන බසින් උත්තර දීම මේ වෙලාවේ කළ යුතුම දෙයක්.
Leave a Reply