ටැටූ ගහන එක ගැන නොයෙක් දෙනා අතර නොයෙක් මතිමතාන්තර තමයි තියෙන්නේ. විශේෂයෙන්ම සාම්ප්රදායිකත්වයත් එක්ක ඉන්න ඈයෝ ටැටූ ගහනවට කැමති නෑ. හැබැයි ඉතින් ටැටූස් කියන්නේ අද ලෝකේ විලාසිතාවක් විදියට ජනප්‍රිය වෙලා තියෙන දෙයක්නේ. ඒ කියන්නේ ස්ටයිල් එකට, ෆැෂන් එකක් විදියටත් ටැටූ පාවිච්චි වෙනවා. ඒ වගේම තවත් සමහරුන්ට ටැටූස් කියන්නේ යම් කිසි ප්රකාශනයක්. ඉතින් ඔය මොන දේක විදියට වුනත් ටැටූ එකක් ගහන්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවා. ඔය හැමදෙයක්ම හිතුවට පස්සේ තමන්ට ගහන්න ඕන ටැටූ එක තීරණය කරන්න පුළුවන්. එහෙම තමන්ට ඕන කරන විදියේ ටැටූ එකක් තීරණය කරනකොට හරි තමන්ට ගැලපෙන ටැටූ එකක් නිර්මාණය කරනකොට හරි ඔය ලෝකේ තියෙන විවිධ ටැටූ ට්‍රෙන්ඩ්ස් ගැන දැනගෙන ඉන්න එක වටිනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඉරෙසුමි කියන්නේ ජපාන ක්රමයේ ටැටූ විලාසිතා. අපි මේ කියන්න යන්නේ අන්න ඒ විදියේ ලේසියෙන් අහලා නැති ටැටූ ට්‍රෙන්ඩ්ස් කීපයක් ගැන.
1. Arm Band Tattoos
මේක හැමෝම දන්න ටැටූ විලාසිතාවක්. අර අත වටේට රවුමට බෑන්ඩ් එකක හැඩේට ගහන ටැටූස් තියෙන්නේ. ආන්න ඒවා තමයි මේ. හැබැයි මේ ටැටූ විලාසිතාව ඉතාම පරණයි. ඒ කියන්නේ ටැටූ ගහන එක විලාසිතාවක් නොවුණු ආදී කාලෙදී පවා ඔය රණශූරයෝ, හමුදා භටයෝ එහෙම අත වටේ වළල්ලක හැඩේ ටැටූ ගහනවා තමන්ගේ රෑන්ක් එක වගේ එක එක දේවල් පෙන්නන්න. හැබැයි දැන් කාලේ මේ වළලු හැඩේ ටැටූස් පාවිච්චි කරන්න පුළුවන් පරාසය ඉතාම විශාලයි. අර තනි කළු වළල්ලක ඉඳලා, අත වටේ යන වළල්ල ඇතුළේ අඳින චිත්‍ර දක්වා ටැටූස් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්.
2. Crazy, Stupid Tattoos
ඇත්තටම කිවුවොත් මෙහෙම ටැටූ ට්‍රෙන්ඩ් එකක් නෑ. මේක අපි හදාගත්තු නමක්. ඒත් මෙහෙම ටැටූස් වුනත් ගහන්න පුළුවන් කියලා හිතේ තියාගන්න එක හොඳයි. අපි නිකමට හිතමු, අපිට ඕන නිකං පිස්සු මරගාත ටැටූ එකක් ගහන්න. වෙන කවුරුවත් ගහන්නේ නැති. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ හරි සිරිසේන ජනාධිපතිගේ හරි කාටූන් මූණක්. එහෙමත් නැතිනම් දොස්තර හොඳහිත එකේ චව් චව්ගේ මූණ. එහෙමත් නැතිනම් අර දත් තිස්දෙකම පේන්න කට ඇරලා හිනාවෙන බල්ලෙක්ගේ ටැටූ එකක්! ඇත්තටම මෙහෙම ටැටූ එකක් පිස්සු විකාරයක් විදියට පෙණුනට, ඒකත් ස්ටේට්මන්ට් එකක්. හැබැයි මතක තියාගන්න. අර බීලා ඉන්න වෙලාවක අකුරු වැරදියට ගහන ටැටූ, ටැටූ අයියා බීපු වෙලාවක කිඹුලෙක් කියලා හිතාගෙන නැට්ට නැති හූනෙක් විදියට ගහන ටැටූ එහෙම මේ කැටගරියට අදාළ නෑ. එව්වා ගොන් වැඩ මිසක් ටැටූස් නෙවෙයි!
3. Script Tattoos
“අම්මා බුදු වේවා, මරුවා සමග වාසේ” කියලා පපුව හරහට පේළි දෙකක් විදියට ගහපු ටැටූස් දැකලා ඇති නේද? ආන්න එව්වට තමයි ස්ක්‍රිප්ට් ටැටූස් කියලා කියන්නේ. මේ ටැටූ ඔය විදියට පේලි දෙකකට ගහපු ටැටූ එකක ඉඳලා, පේලි තුන හතරක් දික් වෙන සම්පූර්ණ ජාතකයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. අර තායිලන්තේ හාමුදුරුවරු එහෙම සම්පූර්ණ සූත්‍රයක් එහෙම කුරුමිණි අඬු අකුරු වලින් ටැටූ කරන්නේ. ආන්න ඒවත් ස්ක්‍රිප්ට් ටැටූස්. මේ ටැටූස් වලදී වැදගත් වෙන්නේ තමන් තෝරගන්න වාක්‍ය මොනවද කියන එකත්, ඒවා ගහන ෆොන්ට් එක මොකද්ද කියන එකත්, ඒවා පෙළගස්වන රටාව මොකද්ද කියන එකත් තමයි.
4. Minimalist Tattoos
සමහර ගෑණු ළමයි එහෙම කැමති නෑ පිටට පැහැදිලිව පේන විදියට ටැටූ එකක් ගහන්න. හැබැයි ඒ අයට ටැටූ එකක් ගහන්න වුවමනාවත් තියෙනවා. අන්න ඒ නිසා ඒ ගොල්ලෝ චූටි ඉරි කෑලි දෙකක් හෝ තුනක් මැණික් කටුවේ ටැටූ කරගන්නවා. එහෙම නැතිනම් මැණික් කටුවේ චූටියට තනි කළු රවුමක් ටැටූ කරනවා. ඒක මොකද්ද කියලා ඇහුවොත් කියයි “මේ තමයි සංසාරය” කියලා! ඔය අර්ථ දැක්වීම් කොහොම වෙතත් ඔය වගේ ටැටූස් වලට තමයි මිනිමලිස්ට් ටැටූස් කියන්නේ. ඇත්තටම ඔය මිනිමලිස්ම් කියන්නේ ලෝකේ හැම ආට් වර්ගෙකම, ගෘහ නිර්මාණ ශිල්පයේ ඉඳලා තවත් බොහෝ දේවලට පැතිරෙන සංකල්පයක්. විශාල පසුතලයක තියෙන පුංචි සරල දෙයක් ගැන හිතන්න. ආන්න මිනිමලිස්ම්. ඕක ටැටූස් වලට ගෙනාවහම අපිට අපේ නිර්මාණශීලීත්වයත් එක්ක ආකර්ෂණීය, සරල ටැටූස් නිර්මාණය කරගන්න පුළුවන්.
5. Geometric Tattoos
ඉස්කෝලෙ යන කාලේ ජ්‍යාමිතිය ඉගෙන ගෙන තියෙනවා නේද? ඒ කියන්නේ සමකෝණී ත්‍රිකෝණ ඇතුළේ තියෙන වෘත්ත වල ඉඳලා, ත්‍රිකෝණ ඇතුළේ තියෙන පුංචි පුංචි ත්‍රිකෝණ දක්වා එක එක ජාතියේ ජ්‍යාමිතික හැඩ තල අපි ඇතිවෙනකල් ඉස්කෝලෙ කාලේ දැකලා තියෙනවනේ. හැබැයි දැන් අපිට බැරිද ඔය ජ්‍යාමිතික හැඩතල සරල ත්‍රිකෝණ, වෘත්ත වලින් තවත් එලියට අරගෙන ගිහින්, වඩාත් සංකීර්ණ නිර්මාණ කරන්න? උදාහරණයක් විදියට වෘත්ත සහ ඉරි වලින් විතරක් නිර්මාණය කරපු සංකීර්ණ නෙළුම් මලක්. එහෙමත් නැතිනම් තනිකරම ලොකු කුඩා රේඛා වලින් විතරක් නිර්මාණය කරපු ජ්‍යාමිතික ඇතෙක්. දැන් ඔය විදියට හදාගත්තු නිර්මාණේ අපිට ටැටූ එකක් විදියට අතේ ගහන්න බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි ඉතින් ඒකට එක්ස්පර්ට් ලෙවල් එකේ ටැටූ අයියා කෙනෙක් ඉන්නත් ඕන!
6. Doodle Tattoos
පුංචි කාලේ බලිකුරුටු ඇඳලා තියෙන අයට නම් ආයෙ අමුතුවෙන් ඩූඩ්ල් කලාව උගන්නන්න ඕන නෑ. හැබැයි අපි පුංචි කාලේ අඳින බලිකුරුටු වල තියෙන ‘පොඩි එකාගේ චිත්‍ර’ ගතිය ඩූඩ්ල් වල තියෙන්න බෑ. බලිකුරුටු වුනාට ඩූඩ්ල් කියන්නේ වඩාත් කලාත්මක බවක් තියෙන කුරුටු චිත්‍ර. මේ ඩූඩ්ල් ගොඩක් වෙලාවට එකිනෙක පටලැවුණු, ඇඹරුණු රේඛා වලින් තමයි අඳින්නේ. ඒ වගේම ඩූඩ්ල් එකක් හැමතිස්සේම මේ රේඛා වලින්ම තමයි ෆිල් වෙන්නෙත්. දැන් හිතෙන්නෙ නැද්ද ඩූඩ්ල් වලින් ටැටූ එකක් කරන්න? වැඩේ බැරි නැහැ. හැබැයි බොහොම ඉවසීමෙන්, කාලය අරගෙන තමයි මේ විදියේ ටැටූ එකක් ගහන්න ඕන.
7. Hyper Realism Tattoos
මේ ලෝකේ එක එක විදියේ කලාවන් බිහිවෙනවනේ. එක කාලෙක ආවා රියැලිස්ම් හෙවත් යථාර්තවාදී ටැටූස්. ඒ කියන්නේ ඇත්ත වගේ පේන්න ගහන ටැටූස්. ඉන් පස්සේ තව පිස්සෝ සෙට් එකක් හිතුවා මේ රියැලිස්ම් කියන එකත් වෙනමම ලෙවල් එකකට අරගෙන ගිහිල්ලා මේ ලෝකේ තියෙන්න බැරි විදියේ යතාර්තවාදී ටැටූස් නිර්මාණය කරන්න බැරිද කියලා. උදාහරණයක් විදියට ගත්තොත් අතේ පහළ කොටස යාන්ත්‍රික කොටස් වලින් නිර්මාණය වෙලා තියෙනවා වගේ පේන්න අතේ පහළ කොටස වැහෙන්නම ටැටූ එකක් ගහන්න පුළුවන්. එහෙම නැතිනම් කකුලේ පහලින් ටැටූ එකක් ගහන්න පුළුවන්, කකුල පලාගෙන සර්පයෙක් එලියට එන්න දඟලනවා වගේ පේන්න. ඔන්න ඔය විදියේ ඔලුව තෝන්තු කරවන ටැටූස් ගහල ඒකට නමකුත් දැම්මා හයිපර් රියැලිස්ම් ටැටූස් කියලා!
Leave a Reply