මෙවර ජර්මනියේ සහ ඒ යාබද නෙදර්ලන්ත බෙල්ජියම් රටවලට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවුණා. එය ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණේ මේක පෙනුමට ආසියානු රටක සිදුවන මහා ව්‍යසනයක් වගේ කියලා. ඒකට හේතු වුණේ මේ විපත කලින් හඳුනාගෙන අවශ්‍ය දේවල් කරන්න ජර්මානු සහ අදාළ අංශ වලට ටිකක් පමා වුණා. ඒ නිසා මෙය දුප්පත් ආසියානු රටක ව්‍යසනයක් විදිහට රූපරාමු වලින් පෙනී ගොස් තිබුණා. කෙසේ වෙතත් යුරෝපා රටවල කොරෝනා වලින් බැටකාපු අවස්ථාවක ඔවුන්ට මුහුණ පාන්නට වූ මේ ව්‍යසනය ඔවුන් තවත් පහළට ඇද දැම්මා.
1. විපතට පත් ප්‍රදේශ
මේ විපතට වැඩිපුරම ලක් වෙලා තියෙන්නේ බටහිර යුරෝපය. ජර්මනියේ කෙළවර දේශසීමාවේ තිබෙන නගරවලට දැඩි ලෙස හානි වෙලා තිබුණා. ඊට අමතරව බෙල්ජියම, නෙදර්ලන්තය වගේ රටවලටත් මේ හදිසි ගංවතුර තත්ත්වයන් දරුණු විදිහට බලපාලා තියෙනවා. මේ අයහපත් කාලගුණය දින කිහිපයක් පුරා තිබෙන එක සහන කටයුතු වලටත් බාධාවක්. දියුණු රටක් වුණත් ජර්මනියේ ඇතැම් පළාත් වලට සහන කටයුතු ප්‍රමාද වූ බවකුත් වාර්තා වෙනවා.
2. විපතින් පසු යළි නැගිටීම
ජර්මනිය මේ වනවිට ඉදිරි මැතිවරණ තත්ත්වයක තමයි ඉන්නේ. ඒ එක්ක ඇන්ජෙලා මර්කල් ගිහින් මේ විපතට පත් වුණු ජනයා බැහැදැකීම ආන්දෝලන ඇතිකරලා තිබුණා. මේ ගංවතුර තත්ත්වය එක්ක අපේ රටේ වගේම ජර්මනියේ සහ බෙල්ජියමේ ජනයාත් එකට එකතු වුණා. රටක් විදිහට ගත්තාම මේ විපතට ලක් වෙලා තියෙන්නේ ජර්මනියේ කොටසක් පමණයි. ඒ නිසා අනෙක් පළාත්වල ජනයා ඇඳුම් පැළඳුම් ලබාදීම, ඉන්න හිටින්න, කන්න බොන්න දේවල් ලබාදීම වැනි කටයුතු වලින් දායක වෙනවා. විපතට පත් වුණ පළාත්වල ජනයා පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වෙනවා. මේ ගංවතුර තත්ත්වය නිසා සමහරුන්ට ගෙවල් දොරවල් සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තිබුණා.
3. කොපමණ කලක් යයිද යථා තත්ත්වයට එන්න?
ඇතැම් නිම්න වල තිබූ නගර සහ ගම්මාන සම්පූර්ණයෙන්ම වගේ හේදිලා ගිහින්. ගෙවල් තිබුණ තැනක් වත් සොයාගන්නට නැහැ. දුරකථන, විදුලිය මාර්ග පද්ධති වගේ දේවල් දරුණු විදිහට හානි වෙලා තියෙනවා. මූලික වශයෙන් දැනට ඉන්න තැන් ටික පිරිසිදු කරන වැඩේ විතරක් සිද්ද වෙනවා. ඉදිරියේදී මේ ජනයා නැවත පදිංචි කිරීම ගැන කටයුතු සිදුවේවි. කෙසේ වෙතත් ලංකාවේ වගේම ස්වාභාවික විපතක් සිද්ද වීමත් එක්ක ජනතාව සොබාදහම කෙරේ නැඹුරු වෙලා. පරිසරයට මිනිසා හානිකිරීම නිසා නැවතත් පරිසරය මගින් මේ මහා ව්‍යසන මිනිසා වෙත එවන බවක් බොහෝ පිරිස් පිළිගන්නා මතයක්.
4. හානි වූ සංඛ්‍යා දත්ත
මේ හදිසි කාලගුණ වෙනස් වීම සහ වර්ෂා තත්ත්වය නිසා ජර්මනියේ පමණක් පුද්ගලයින් එක්දාස් පන්සියයක් පමණ අතුරුදහන් වෙලා තියෙනවා. ඒ බොහොමයක් දෙනා ගංවතුර සහ හදිසි නායයෑම් හේතුවෙන් විපතට පත් වෙලා කියලා මේ වනවිට මත පළ වෙලා තියෙනවා. ජර්මන් විදුලි බෙදාහැරීමේ පද්ධතියේ පාරිභෝගිකයින් 165,000ක් පමණ භාවිතා කරන උප පොළක් විනාශ වෙලා තියෙනවා. බෙල්ජියමේත් පාරිභෝගිකයින් 20,000කට පමණ සතියක සිට විදුලි බලය නැතිවෙලා තියෙනවා. දත්ත සොයාගැනීමේදිත් අයහපත් කාලගුණය දිගින් දිගටම පැවතීම නිසා නිවැරදි දත්ත සොයාගන්නට බැරිවෙලා තිබුණා.
5. කලකින් ඇතිවුණ ගංවතුර
වසර දෙසීයකට පසුව හෝ වසර සීයකට පසුව ඇතිවුන මහ ගංවතුරක් කියලා තමයි විශේෂඥයින් මේ පුවත දක්වලා තියෙන්නේ. වසර සීයකින් ඇතිවුණ ගංවතුර කිව්වත් වසර සීයකට පෙර මේ නිම්න වල තිබුන ජනාවාස මෙතරම් තදින් පැතිර තියෙන්නට නැතුව ඇති. කෙසේ වෙතත් ගංවතුරට හේතු වන මූලික සාධකයක් තමයි එක්වරම ඇතිවන වැස්ස. මෙවර වැසි ඇතිවුන රටාව නායයාම් සහ එකවර ඇතිවුන ගංවතුර තත්ත්වයන්ට හේතු වුණා. සාමාන්‍යයෙන් යුරෝපාකරයේ දියුණු රටවල ගිණි කඳු , භූමිකම්පා වගේ අනතුරු ගැන පවා කලින් කාලගුණ අනාවැකි හරහා දැනුවත් කරනවා. එහෙත් මෙවර ඇතිවූ ව්‍යසනය කලින් හරිහැටි වටහාගෙන තිබුණේ නැහැ. එයින් හානි තවත් වැඩි වුණා.
6. දේශගුණ වෙනස්වීම් ගැන කතිකාවත
ජර්මනියේ ඉදිරියට මැතිවරණ තත්ත්වයක් තියෙනවා. මේ සිදුවීම හමුවේ ජෝ බයිඩන් ජනපතිතුමාත් ජර්මනිය වෙත සිය කණගාටුව පළ කරලා තියෙනවා. මේ විපත නිසා සිදුවූ හානි පූරණය කිරීම පමණක් නොවෙයි, ඉදිරියේදී ගෝලීය වශයෙන් දේශගුණික වෙනස්වීම් වලට හේතුවන මිනිස් ක්‍රියාකාරකම් අඩු කිරීම ගැනත් කතා බහ ඇතිවෙනවා. ලෝකයේ උණුසුම වැඩි වීම නිසා ඇතිවන තත්ත්වයන්ට සෘජුව මිනිස් ක්‍රියාකාරකම් හේතු වෙනවා. ඒ ගෝලීය උණුසුම මගින් ක්ෂණික සහ ප්‍රබල දේශගුණික වෙනස්වීම් ඉක්මන් වෙනවා.
7. වේලි කැඩී යෑම
ජර්මනියේ රුර් කියන නදිය හරහා තිබුණු මහා වේල්ලක් කැඩී ගියා. එයින් නිවාස 700ක් පමණ වතුරින් යට වුණා. එසේම නෙදර්ලන්තයේ වාරිමාර්ග වලට ඇතිවූ බලපෑම නිසා අවතැන් වන්නට නියමිත වූ 10,000ක් පමණ ඉවත් කරගෙන තිබුණා. ගංගා පිටාර ගැලීම සහ වාරිමාර්ග ආදිය උතුරා යෑම මෙවර දරුණු ව්‍යසන රැසකට හේතු වෙලා තිබුණා. ඇතැම් තැන්වල සුවිශාල බස් රිය වැනි දේත් සෙල්ලම් ඔරු පරිද්දෙන් මහා පාලම් යටින් ඇදී ගොස් තිබුණා.
චන්ද්‍රිකා තාක්ෂණය, ඩ්‍රෝන් තාක්ෂණය හරහා වේලි සහ වාරිමාර්ග වල තත්ත්වය නිරන්තරයෙන් ඔවුන් නිරීක්ෂණය කරනවා. ඒ අනුව සාපේක්ෂව වැඩි පිරිසකගේ දේපල කෙසේ වෙතත් ජීවිත ආරක්ෂා කරගන්නට හැකි වුණා. ඉතින් මේ අනුව ඉදිරියේදී දේශගුණික විපර්යාස ගැන දැඩි කතාබහක් ඇතිකරන්නට යුරෝපීය රටවලට මෙය යම් සංධිස්ථානයක් බවට පත් වේවි.
Leave a Reply