ගෘහණියන්ට යෙදෙන්න පුළුවන් විනෝදාංශ

පහුගිය දවස් ටිකේම අපි එක එක මාතෘකා යටතේ විනෝදාංශ ගැන හුඟක් කතා කළානෙ. අදත් කියන්න යන්නේ විනෝදාංශ ගැන තමයි. හැබැයි මේ කියන්න යන්නෙ රැකියාවකට නොයා ගේ දොර වැඩ කටයුතු බලා කියාගෙන ඉන්න පූර්ණ කාලීන ගෘහණියන්ට විශේ​ෂයෙන්ම යෙදෙන්න පුළුවන් විනෝදාංශ කිහිපයක් ගැනයි. “අනේ ගෙදර තියෙන සුමේ කරල ඉවර උනාම ඕවට කොහෙද වෙලාවක්” කියල හිතෙන්න පුළුවන්. ඇත්ත තමයි. හුඟ දෙනෙක් සුළුවෙන් හිතුවට රැකියාවට නොයා මුළු දවසම ගෙදර වැඩ පල කරගෙන ඉන්නව කියන්නෙ සෙල්ලමක්නම් නෙමෙයි. වෙලාවකට රස්සාවක් කරනවට වඩා අමාරු වැඩක් තමයි ගෙදර වැඩ කරන එක. හස්බන්ඩ්ගෙ, බබාලගෙ වැඩ කුස්සියේ, මිදුලේ ඇතුළු ගෙදර අනික් වැඩ වගේ දාහකුත් එකක් රාජකාරි කරල ඔළුව පිස්සු නොවැටී තියාගන්නනම් ඉතින් හිතට නිදහසක් ගේන මොකක්ම හරි දේකට පුරුදු වෙන්නත් වෙනව. අන්න ඒ විදිහට මානසික සෞඛ්‍ය රැකගන්න තමයි මේ විනෝදාංශ කියන කතන්දරේ ගෘහණියකට වැදගත් වෙන්නේ. එහෙනම් බලමුකෝ මොනවද මේ විනෝදාංශ කියල .    

                              

 

1. මල් වැවීම

මල් කියල කියන්නෙ කොහොමත් කාන්තාවො එක්ක එකටම කතාවෙන මාතෘකාවක්නෙ. මල් කිව්වම ආස නැති ගැහැණු කෙනෙක් හොයාගන්න නැති තරම්. ඉතින් මල් වැවීම කියන්නෙ කාන්තාවන්ට උපතින්ම උරුම වෙන අපූරු හැකියාවක් කියන්න පුළුවන්. ඉස්සර අපේ අම්මල ගෙදරකට ගියහම මොනවමහරි ගස් අතු කෑල්ලක් උස්සන් එනවනේ. ඒ තරම් මේ මල් වවනව කියන වැඩේට ගැහැණු අපි කැමතියි. ඔය මල් වැවීමම හිතට භාවනාවක් කිව්වොත්? ඇත්තටම ඒක පිළිවෙලකට උනන්දුවෙන් ක​ළොත් භාවනාවක් වගේ හිත නිවන බෙහෙතක් තමයි.

හැබැයි ඉතින් කොහෙන් හරි උස්සන් එන මල් අත්තක් ඔහේ මුල්ලක ඉන්දලා, හැදුනොත් හා නැත්තම් ඒත් හා වගේ ඉඳලනම් බැහැ. මාසෙකට එක මල් පැ​ළයක් වගේ මිලදී ගන්න පුංචි මුදලක් වෙන් කරගන්න පුළුවන්නම් හොඳයි. ඔය අනවශ්‍ය වියදම් කපා හැරල සල්ලි ඉතුරු කරනව කියන එක අපේ ගෘහණියන්ටනම් නතින්ග්. හැබැයි එහෙම බැරිනම් ඒත් කමක් නැහැ. දන්න කියන යාළුවන්ගෙන් අසල්වැසියන්ගෙන් මල් පැල, අතු ඉල්ලගන්න. ඔයාගෙ ඒවත් එක්ක හුවමාරු කරගන්න. ලස්සන පිළිවෙල මල් පාත්තියක්, මල් පිරුණු මිදුලක් හදාගන්න. හිතට දැනෙන සතුට මෙච්චරයි කියල ඉවර කරගන්න බැරිවෙයි.

 

 

2. එළවළු වගාව

මල් වවනව වගේම හරිම ආස හිතෙන, ඒ තරම්ම හිතට සුවය ගේන කාරියක් තමයි නේ එළවලු පළතුරු වගාව. හැබැයි මල් වවන​ව වගේ හිතට විතරක් නෙමෙයි. මේ වැඩේ පොකට් එකටත් ලාභයි. මල් වලට අමතරව මිදුලෙ ඉඩ තියෙන තැනක පොඩි එ​ළවලු ගස් දෙක තුනක් වවාගන්න පුළුවන්නම් ඒවගේ ඵලදාව දකිද්දි හිතට දැනෙන අසීමිත සතුට වගේම කඩේ මුදලාලිට දෙන සල්ලිත් ඉතුරුයි. ඒ විතරක්ද ගෙදර හැමෝටම වස විස නැති කෑම වේලක රස බලල නිරෝගීකම රැකගන්නත් පුළුවන්.

තමන්ගෙ ප්‍රදේශයට අදා​ළ කෘෂිකර්ම කාර්‍යාලයට ගියාම එළවලු ඇට වර්ග විතරක් නෙමෙයි වගාව සම්බන්ධ උපදෙස් පවා ලබාගන්න පුළුවන්.

 

 

3. හෝම් ඩෙකෝස්

මේ තියෙන්නෙ තවත් කාන්තාවන්ටම විශේෂ උන කාරණාවක්. ගෙවල් දොරවල් හැඩ වැඩ කරන්න පුදුම හැකියාවක් සහ කැමැත්තක්නේ මේ ගෘහණියන්ට තියෙන්නේ. ඉතින් මේක ඔළුවෙ කැක්කුමක් කර නොගෙන විනෝදාංශයක් කර ගත්තම මනසටත් හොඳයි. ගෙදර වවන මල් වලින් දිනපතා ලස්සන ෆ්‍රෙශ් මල් වාස් එකක් හදන්න, ලස්සන ලස්සන ෆ්ලවර් ව්‍රීත්ස් (Flower Wreaths) හදලා බිත්ති හැඩ කරන්න පුළුවන් මූලිකවම. තව ගොඩක් දුරට හිතුවොත් පුංචි පුංචි ක්‍රොස්ටිච්, මැක්‍රම්, පේපර් ක්විලින්ග් වගේ නිර්මාණ කරලා ගේ හැඩ කරන්න පුළුවන්. මේ හැමදේම බැරෑරුම් කියල පෙනුනට බලන් ඉඳල ඉගෙන ගන්න පුළුවන් ලේසි වැඩ. එහෙම හදපු ඒව දකින දකින සැරේට හිතට දැනෙන සතුටනම් සුළුපටු නැහැ හැබැයි.

 

 

4. ෆොටෝග්‍රැෆි

වචනෙ ලොකු උණාට වැඩේ සරලයි. මේ කියන්නෙ මහා පරිමාණ වෘත්තීමය ඡායාරූප ගැනීමක් ගැන නෙමෙයි. ගෙදර තියෙන පු​ංචි කැමරා ෆෝන් එකෙන් හිතට දැනෙන දේ පින්තූර ගන්න එක. ගෘහණියො එක්ක හුඟක්ම සම්බන්ධ වෙන මාතෘකාවක් තමයි ෆුඩ් ෆොටෝග්‍රැෆි කියන්නෙ. කෑම හදල ඔහේ මේසෙට ඇරල කනවට වඩා එක දවසක් හරි ට්‍රයි කරල බලන්න ලස්සන පිඟානකට හැඩට කෑම ටික තියල, සළා​ද කො​ළයක්, පාස්ලි කො​ළයක්, තක්කාලි පෙත්තක් හැඩට තියල ගානිශ් කරල හොඳ ඈන්ගල් එකකින් ෆොටෝ එකක් ගන්න. ප්ලේ ස්ටෝ එකේ තියෙන දාහකුත් එකක් ෆොටෝ එඩිටින් ඇප් වලින් එකක් ඩවුන්ලෝඩ් කරගත්තම ෆොටෝ එකේ ක​ලර් බැලන්ස් වෙන්න පොඩි එඩිට් පාරකුත් දාන්න පුළුවන්. එහෙම ලස්සන කෑමක් හදල හබීට සෙන්ඩ් කරල ගෙදර එන්න කලින් එයාව සර්ප්‍රයිස් කරන්නත් පුළුවන්. ඔය විදිහටම කෑම විතරක් නෙමෙයි, ගේ දොර වත්ත පිටියෙ දකින ලස්සන දේවල් පුංචි ෆොටෝ එකක් අරන් තමන්ගෙම ෆොටෝ කලෙක්ශන් එකක් හදාගන්න.

 

 

5. කුකින්

අනේ මේක මොන විනෝදාංශයක්ද කියල හිතෙයි. හැබැයි උයනව කියන එකත් වදයක් කියල නොහිතා ආදරෙන් කරනවනම් ඒකත් විනෝදාංශයක් තමයි. හැමදාම උයන බතයි මාළුවයි වෙනුවට ටිකක් වෙනස් කෑම පිඟානක් හදල දුන්නම ගෙදර සාමාජිකයොත් ඔයා දිහා ආදරෙන් බලයි. කෑම රසයි කියනව තරම් සතුටක් කොහෙද ඉතින් බිරිඳකට, අම්ම කෙනෙක්ට. අන්න ඒ සතුට ඉහවහා යන්න ලැබෙන වැඩක් තමයි මේ ඉවීම විනෝදාංශයක් කරගන්න එක. කෑම ජාති ගැන දැනගන්න ටීවී වැඩසටහන්, පොත්, සඟරා, ෆේස්බුක් ගෲප්, යූ ටියුබ් චැනල් වැහි වැහැලා අද කාලෙ. ඔය මොනවම හරි බලල අළුත් කෑමක් හදල හබීවයි දරුවන්වයි සර්ප්‍රයිස් කරමු..

 

 

6. මැහුම් ගෙතුම්

මැහුම් ගෙතුම් කිව්වෙ මහා පරිමාණ ඩ්‍රෙස් මේකින්ග් නම් නෙමෙයි. ඇඳුම් කපලා මහනව කියන්නෙ වෙනමම කලාවක්. ඒක විනෝදාංශයකට වඩා රැකියාවක්. අපි මේ කියන්න යන්නෙ පුංචි පුංචි මැහුම් වැඩ ගැන. ලස්සන කොට්ට උර, කුශන් කවර, කුස්සියෙ වැඩට අඳින්න ඒප්‍රන් එකක් වගේ පොඩි පොඩි දේවල් මහගන්න ලොකූ දැනුමක් ඕන නැහැ. ඒ වගේම අහක දාන ඩෙනිම්, ශර්ට් වගේ කෑලි එකතු කරලා කෑම මේසෙට ලස්සන ටේබල් මැට්ස් ටිකක්, බිමට පාපිස්සක් මහගන්නත් ලොකූ දැනුමක් ඕන නැහැ. හැබැයි මේ දෙකම හිත නිවන සතුට ගේන කාරණා.

 

 

7. මූවීස් ඇන්ඩ් රීඩිං

මේකනම් ටිකක් ප්‍රසිද්ධ විනෝදාංශයක්. ඒ වගේම නිදහස් වෙලාවක් හදාගෙනම කරන්න ඕන වැඩක්. ඔන්න හැබැයි කලින්ම කියන් ඕන මේ වැඩ දෙකම ඇබ්බැහිවෙන සුළු වැඩ කියල. පොත් පත් කියවන්න ඇබ්බැහි උණා කියන්නෙ ඉතින් කුඩු ගැහුව වගේ තමයි. කියවන්න කියවන්න ආසයි. ඒ වගේම තමයි ෆිල්ම් බලන එකත්. ඔළුවෙ තියෙන වැඩ කන්දරාවෙ බර ටිකකට පැත්තකින් තියල කෝපි කෝප්පයක් එක්ක තමන්ගෙම කියල වෙලාවක් ගත කරන්​න හොඳම ක්‍රම දෙකක් තමයි මේ.

 

අන්තිමට කියන්න තියෙන්නෙ මේ කතා ක​ළේ ගෙදර දොරේ වැඩපල අතරේම ගෙදරම ඉඳන් කරන්න පුළුවන් විනෝදාංශ ගැනයි. ගෘහණිය නැත්තම් අම්මා කියන්නෙ ගෙදරක හදවත. අම්මා සතුටින්නම් මුළු ගෙදරම සතුටින්. ඉතින් අම්මලා කොහොමද මේ සතුට හොයාගන්නෙ කියන ප්‍රශ්නෙට පුංචි පුංචි උත්තර ටිකක් තමයි මේ. හැබැයි වැදගත්ම කාරණේ මෙන්න මේකයි. සතුට තියෙන්නෙ අපේ හිතේ. අන්න ඒ සතුට ඩිග් කරලා ඒ කිව්වෙ මතු කරලා ගන්න දැනගන්න ඕන අපිමයි. කරණ හැම වැඩක්ම වදයක් කරුමයක් කියල නොහිතා ආදරෙන් ක​ළොත් ජීවිතේ හැමදාම අපි සතුටින් තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *