ආගන්තුකයෙක් ලෙස කුමන හෝ ආකාරයෙන් අලුත් තැනකට ගිය විට එහි නවාතැන් පහසුකමක් සොයාගැනීමට අවශ්‍යයි. එලෙස සංචාරකයෙක් ලෙස ගිහින් නවතින්න පුලුවන් ක්‍රම ගොඩක් තිබෙනවා. අපේ රටේ ත් සංචාරක කර්මාන්තය ජනප්‍රිය වීමත් එක්ක මේ විදියේ අලුත්ම නවාතැන් ක්‍රම මෙහෙටත් ඇවිත්. ඒවගේ වෙනස්කම් මොනවද කියලා දැනගෙන ඉන්න එක අපිට සංචාරයක් යද්දී සහ රූම් එකක් බුක්කරගනිද්දි තැනක් හොයාගද්දි බොහොම වටීවි.අපි ඒ ගැන ටිකක් සොයා බලමු.
1. හොස්ටල්
“ හෑ හොස්ටල් කියන්නේ නවතින තැනක්යැ, ඔය ඉගෙනගන්න ළමයි නවතින තැනක්නේ“ . ඒක ඇත්ත.හොස්ටල් කියන්නේ ඒ විදියට ඉගෙනගන්නවා වගේ විශේෂ කාරණාවකට කුඩා අවකාශයක පිරිසක් ජීවත්වීමේ මාදිලියක්. එහිදී සෑම දෙනාම අනෙකාට විවෘතව වාසය කරන අතර පුද්ගලිකත්වය මඳක් අඩුයි. පොදු නානකාමර ආදිය භාවිතා කරන්නටත් හැමෝටම එකඟ වන්නට සිදු වෙනවා. ආහාර ගැනීමේදී සියලු දෙනාම බෙදාහදාගෙන ආහාර ගැනිමත් හොස්ටල් වල දකින්නට පුළුවනි. බැක්පැක් හෙවත් විශාල මලු පිට බැදගෙන රට රාජ්ජ වල සංචාරය කරන පිරිස වඩාත්ම හොස්ටල් ජිවිතයට කැමතියි. හොස්ටල් වටපිටාවකදි අනෙක් පිරිස සමග කතා බහකරන්නට එකට බියර් එකක් ගහන්නට ලැබෙන නිසා තනිවම සංචාරයේ යෙදෙන අයෙක්ට වුවත් තනිකමක් පාලුවක් දැනෙන්නේ නෑ. ඒ වගේම ගමන් විස්තර සහ තිබෙන අත්දැකීම් එකිනෙකාට හුවමාරු කරගන්නත් හොස්ටල් වටපිටාව හොඳ තෝතැන්නක්.
2. අපාර්ට්මන්ට්
අපාර්ට්මන්ට් කියන්නේ ව්‍යාපාරික අදහසකින් තැනෙකින් තැනකට සංචාරයේ යෙදෙන ධනවත් ව්‍යාපාරිකයින් නිලධාරීන් ආදීන් නවාතැන් ගන්නට භාවිතා කරන තරමක් මිල අධික නවාතැන් වර්ගයක්. කොළඹ නගරයේත් පිට පිට සති දෙකකදී මහජන සම්පත සුපිරි තෑග්ග ලැබුණත් හිමිකරගත නොහැකි තරම් මිල අධික අපාට්මන්ට් කිහිපයක්ම කොළඹ නගරයෙන් ඉහලට නැගී යෙහෙන් වැජඹෙනවා. සාමාන්‍ය නිවසක ඇතුලත් කෑම කාමරය, නිදන කාමර, වැනි මූලික අංග මෙන්ම කුඩා ස්විමින් පූල් එකක්, බාර් එකක්, වීඩියෝ නරඹන කාමරයක්, මසාජ් මධ්‍යස්ථානයක් ආදී සුඛෝපබෝගී පහසුකම් සහිත අපාට්මන්ට්ස් ද ධනවතුන් සිය වාසස්ථානය පිණිස භාවිතා කරනවා.
3. හෝම්ස්ටේ (Homestays)
ඔන්න අපි දන්න කියන විදේශිකයෙක් අපේ ගෙදරට එනවා කියල හිතමු. අපි ඉතිං මිනිහට හැකි පමණ හොඳින් සලකලා කියලා එයාට තව යන්න බලන්න කියන්න දේවල් තියෙනවා නම් ඒවටත් පහසුකම් සලසලා දෙනවා. ඒ වගේ නවාතැන් දිමේ වැඩෙන් තරමක් ලාබයකුත් තියාගෙන විදේශිකයින්ටත් වාසිදායක විදියට බොහොම සහයෝගයෙන් මිත්‍රශීලීව නවාතැන් හුවමාරු කරගැනීමේ ක්‍රමවේදය හෝම්ස්ටේ කියලා හඳුන්වනවා. වර්තමානයේදී සංචාරකයින් අදාල පළාතේ තිබෙන ජනප්‍රිය ස්ථාන සහ සංස්කෘතික උත්සව නැරඹීම මෙන්ම අදාල ප්‍රදේශවල ආහාර රටාව, ජන ජීවිතය වැනි දේවල්ද අධ්‍යයනය කිරීමට කැමතියි. ඔවුන්ට එවැනි දේශීය පරිසයේ නිවසක නවාතැන් ගැනීම තුලින් එම සමාජයේ මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් සජීවීවම අත්දකින්නට අවකාශයක් ලැබෙනවා. මිරිස්ස, ඇල්ල වැනි සංචාරක කර්මාන්තය පැතිරුණු පළාත්වල මෙම හෝම්ස්ටේ සංකල්පය ජනප්‍රිය වී තිබෙනවා. ඒ තුලින් සාමාන්‍ය ජනතාවටද සංචාරකයින් නිසා යම් ලාභයක් ලැබෙන අතර විශාල හෝටල් කාමර වල කල්ගතකිරීමට තරම් මිල මුදල් නොමැති සංචාරකයින්ට හෝම්ස්ටේ වෙස්වලාගත් ආශීර්වාදයක්ද වෙනවා.
4. හොලිඩේ පාකිං සහ කෑම්ප්ග්‍රවුන්ඩ්ස් (Campgrounds)
හෝටන් තැන්නේ කෑම්ප් කරන්න තැනක් තිබෙනවා. ඒ වගේම ජනප්‍රිය සංචාරක ස්ථාන දිය ඇලි, මනස්කාන්ත කදුකර පරිසර වැනි පද්ධති වල නියම අසිරිය විඳගන්නට සුදුසු කෑම්ප් හෙවත් කඳවුරු භූමි කදිම වටපිටාවන් වෙනවා. වනාන්තර වල නියම අත්දැකීම විදගැනීමටත් අසල මනුෂ්‍ය වාසයන් නොමැති තැන්වල රැය පහන්කිරීමටත් කඳවුරු බැඳීම යොදාගන්නවා. එහිදී වර්තමානයේ පරිසරයට සිදුවිය හැකි හානි කළමනාකරණය කිරීමට කෑම්ප් කිරීම සදහා සුදුසු බිම් කඩ වෙන් කර තැබීමේ නැඹුරුවක්ද ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ හරහා වැසිකිලි ජලය වැනි පොදු මූලික පහසුකම් යම් ප්‍රමාණයකින් සපුරාලිය හැකි වන අතර ඒ තැන්වල නවාතැන් ගන්නා අය ඒ පහසුකම් වලට සුළු මුදලක් ගෙවිය යුතු වෙනවා.
5. විශ්‍රාම ශාලා සහ විශාල නවාතැන්
කලකට පෙර අපේ ගම්වල බහුතර ජනතාවක් සංචාරයේ යෙදුනේ නඩ විදියට. එම නඩ විදියට ආගමික වන්දනාමාන කටයුතු වල යෙදෙන විට ජනප්‍රිය වෙහෙර විහාර තිබෙන ස්ථාන ආශ්‍රිතව විශ්‍රාම ශාලාවල් පිහිටා තිබුණා. මෙය කෑම්ප් වලට වඩා දියුණු ලෙස ස්ථිර වාසස්ථාන ලෙස විශාල ශාලාවන් සකසා තිබෙනවා. ඇතැම්විට පැදුරු සැපයෙන අතර නැතිනම් ඉටිකොළ කැබැල්ලක් හෝ එලාගෙන නිදාගන්නට වන්දනාකරුවන් පෙළඹෙනවා. මෙය සැබැවින්ම මුදල් පිළිබදම ගැටළුවක්ම නෙමෙයි. ඇතැම් ආගමික සිද්ධස්ථාන වල උත්සව කාලයන් වලදී විශාල ජනකායක් ඒ ආගමික සිද්ධස්ථාන කරා ළඟාවෙනවා. එවිට අහල පහල තිබෙන නවාතැන් අහිමි වන පිරිසට මෙවැනි විශ්‍රාම ශාලා සහ පොදු ස්ථාන වල නවාතැන් ගැනීමට ලැබීම අස්වැසිල්ලක්. කෙසේ හෝ අමාරුවෙන් නමුත් රැය පහන්කර අදාල උත්සව ආදියට එකතු වන්නට බැතිමතුන්ට විශ්‍රාම ශාලා සහ ඒ වැනි නවාතැන් නිසා හැකියාව ලැබෙනවා.
6. ලක්ෂරි ලොජ’ස් (Luxury Lodges)
සුඛෝපබෝගී ස්වාධින වාසස්ථාන ලෙස සැකසුණු මෙම ලොජ් ඇතැම් තැනෙක විලා ලෙසද හැඳින්වෙනවා. මාල දිවයිනේ සංචාරක කර්මාන්තයේදි නොගැඹුරු නිසල සාගර ජලයේ ඉදිවුණු මෙවැනි ස්වාධින වාසස්ථාන මධුසමය ගත කරන්නට ස්ථාන තෝරන පිරිස් අතර ජනප්‍රිය වී තිබෙනවා. ලංකාවේද ස්වාභාවික පරිසරය මත එයටම අනුකූලවන ලෙස ස්වාභාවික දේද දායක කරගෙන තැනුන තාවකාලික වාසස්ථාන තිබෙනවා. ශ්‍රීපාද ආසන්න ෆිෂින් හට් නවාතැන් කිහිපය එවැනි ලොජ් පහසුකමක් ලෙස දැක්විය හැකියි. එහිදී එම පරිසරයේ ඇති සුන්දරත්වය කඳවුරු බැදීම වැනි තරමක් අවදානම් ක්‍රමයට වඩා පහසුවෙන් අත්විඳගන්නට අවස්ථාව ලොජ් වැනි තාවකාලික ඉදිකිරීම් වල නවාතැන් ගැනීමේදී ලැබෙනවා. සැලකිය යුතු මට්ටමකින් අවශ්‍යතා සුපිරි ආකාරයට සම්පූර්ණ වන නිසා විශාල අවධානමක් දරන්නට වන්නේත් නැහැ.
7. හෝටල්
කලකට පෙර නගරයට පැමිණෙන ගැමියන්ට නගරයේ දක්නට ලැබුනේ සිරියලතා හෝටලය, නානගේ හෝටලය ආදී ආහාර ගන්නා තැන්වලට හෝටලය යන නම යෙදූ ස්ථාන පමණයි. එහෙත් අද නගරගම් ආදී බොහෝ පළාත්වල Rooms යන දැන්වීම රැගත් කුඩා හෝටල බිහිවී තිබෙනවා. එසේම කොළඹ පළාතේද සංචාරකයින් වැඩිපුර ගැවසෙන පළාත්වලද විශාල පරිමාණ හෝටලද ඉදිවී තිබෙනවා. මේවායේ ආහාර , සැර බීම, ස්පා, මසාජ්, නාන තටාග, ආදිය ඇතුලත් සුපිරි පැලැන්තියේ හෝටලද තිබෙනවා. ඒ කවරක් වුවත් සිංගල්, ඩබල් සහ ෆැමිලි ආදී ලෙසත් වායුසමනය, වායුසමන නොකළ, ලස්සන භූමි දර්ශන සහිත, රහිත ආදී ලෙස කාමර වර්ගීකරණය වී තිබෙනවා.
අන්තර්ජාලය හේතුවෙන් කාමර ඇණවුම් කිරීම වඩාත් පහසු වී තිබෙනවා. ඒ හරහා අපි වෙන්කරගන්නට නියමිත තැන ගති සොබාව විස්තර ආදිය ඔවුන් සපයා ඇති තොරතුරු මෙන්ම ඒවාට ආ ගිය අයගේ විස්තර ද කියවා බලා ඒ ස්ථාන ගැන අදහසක් ගන්නට ඕනෑම අයෙකුට හැකියි.
Cover Image Source – thumb – wulkan.com
Leave a Reply