විවිධ ක්ෂේත්‍රයන්හි නම රැන්දූ එකම පවුලේ පරම්පරා තුනක ඇත්තෝ

සාමාන්‍යයෙන් කතාවක් තියනවා, ඕනම දෙයක් විනාශ වෙන්න අවශ්‍ය පරම්පරා තුනක් කියලා. ගොඩක් මේ කතාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ව්‍යාපාරික ලෝකයේ.  පළවෙනි පරම්පරාව, ඒ කියන්නේ සීයා අමාරුවෙන් ව්‍යාපාරය ගොඩනගනවා. ඊට පස්සේ සීයාගේ පුතා, තමන්ගෙ තාත්ත ව්‍යාපාරය ගොඩනඟන්න වෙච්ච මහන්සිය දැකපු නිසා ව්‍යාපාරය රැක ගන්නවා. මුණුපුරා මේ කිසිම දෙයක් නොදැක උපතින්ම සියල්ලම ලැබුන නිසා ව්‍යාපාරයේ අගයක් නොදැන විනාශ කරලා දානවා. ඒත් මේ කතාව හැම ක්ෂේත්‍රයකදිම නිවැරදි වෙන්නේ නෑ. විශේෂයෙන්ම කලාව, දේශපාලනය වැනි ක්ෂේත්‍රවලදී පරම්පරා කීපයක් පෙර පරම්පරාවල ගෞරවය රැක ගන්න සමත් වෙනවා. ඒ නිසා අපි අද හිතුවා එහෙම යම්කිසි ක්ෂේත්‍රයන්වලට විශිෂ්ට දායකත්වයක් ලබාදුන්නු පරම්පරා තුනක සාමාජිකයන් කීප දෙනෙක් ගැන කතා කරන්න.

 

1. කවියා, නළු පුතා සහ මුණුපුරා

Image Source – bizasialive.com

හින්දි සිනමාවේ ඉන්නවා “ඉන්කිලාබ් ශ්‍රී වාස්තව” කියලා සුප්‍රකට නළුවෙක්. මෙයාව දන්නැත්තම් ඉතින් වැඩකුත් නෑ. හැබැයි ඉතින් මෙහෙමයි, මේක මෙයාගේ තාත්තා මෙයාට ලබාදුන්නු මුල්ම නම. සුප්‍රකට ඉන්දීය කවියෙකු වුණු ඒ තාත්තා තමන්ගෙ පුතාට නම තියන්නේ ඉන්කිලාබ් කියලා. එහෙමත් නැත්තම් විප්ලවය තේරුමෙන්. පස්සේ මේ තාත්තාම තමන්ගේ පුතාට දාපු නම වෙනස් කරනවා අමිතාබ් රායි බච්චන් කියලා. මේ තාත්තා තමයි හරිවංශ් රායි බච්චන්. මේ තාත්තා 1976 දී පද්ම භූෂණ සම්මානයෙන් පුද ලබන්නේ හින්දි සාහිත්‍යයට කරපු සේවාව වෙනුවෙන්. පුතා ගැන නම් අමුතුවෙන් සඳහන් කරන්න ඕනෑ නෑ නේද? එතකොට පුතාගෙ පුතා වෙන අභිෂේක් බච්චන් ගැනත් කවුරුත් දන්නවනේ. මේ අමිතාබ් සහ අභිෂේක් ලෝක සිනමාවෙ එක්තරා වාර්තාවකට හිමිකම් කියනවා. ඒ තමයි සැබෑ ජීවිතයේ පියා සහ පුතා චිත්‍රපටයක් වෙනුවෙන් පුතා සහ පියා චරිත මාරුකරගෙන රඟපෑම. ඒ “Paa” චිත්‍රපටය වෙනුවෙන්.

 

2. ලංකාවේ පුරාවිද්‍යාවට අනභිභවනීය සේවයක් කළ පරපුරක්

Image Source – archaeology.lk

පෝල් ඊ පීරිස් කියන නම ලංකාවේ ඉතිහාසය හදාරන අයට නම් නුහුරු නුපුරුදු නමක් නෙමෙයි. ලංකාවේ පෘතුගීසි යුගය, ලන්දේසි යුගය ආදී යටත්විජිත යුග පිළිබඳව එතුමා කළ හැදෑරීම් නොවන්නට එම කාලපරිච්ඡේදය පිළිබඳ අපේ අවබෝධය තවත් පටු වෙන්න තිබ්බා. එතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගිය අනෙක් පුද්ගලයා වුණේ එතුමාගේ පුතා වුණු පී. ඊ. පී දැරණියගල මහතා. එතුමා රාජකීය ආසියාතික සමිතියේ සභාපතිවරයෙකු ලෙසත් සදානුස්මරණීය සේවාවක් ඉෂ්ට කළා. ඔහුගේ පුතා වුණු ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව පර්යේෂණ කළ අය අතරින් විශිෂ්ටයා ලෙස අවිවාදිතයි. මේ ලිපියට අපි එකතු කරපු ලංකාවේ එකම ක්ෂේත්‍රයේ නියැලුණු තුන් පරපුර වන්නේ මේ තිදෙනා පමණයි.

 

3. ඉන්දියාවට නායකත්වය දුන් නේරු- ගාන්ධි පවුල

Image Source – imdb.com

ජවහර්ලාල් නේරු කියන නම නැතිව ඉන්දීය ජාතික සටන ගැන හිතාගන්නවත් බෑ. මහත්මා ගාන්ධිට සමානව ඉන්දියානුවෝ පණ්ඩිත්ජීට (නේරුතුමාට ඉන්දියානුවන් ආදරයට භාවිතා කරන නම) එතුමාට ගෞරව දක්වනවා. ඉන්දියාවේ පළමු අගමැතිවරයා බවට පත් වන්නටත් ඒ නිසා එතුමාට වාසනාව හිමි වෙනවා. ජවහර්ලාල් නේරු තුමාගෙන් පසු ඉන්දියාවට වගේම ඉන්දීය කොන්ග්‍රසයට නව ජවයක් ගෙන එන්නේ එතුමාගේ දියණිය වුණු ඉන්දිරා ගාන්ධි මහත්මිය. ඇතැම් ඉන්දීය දේශපාලන විචාරකයින් ඇය “ඉන්දීය දේශපාලනයේ දුර්ගා මාතාව” ලෙසත් හැඳින්වූවා. ගාන්ධි මහත්මියගේ ඝාතනයෙන් පසුව ඇයගේ භූමිකාව ඉෂ්ට කිරීමේ වගකීම හිමි වන්නේ ඇගේ පුත්‍රයා වුණු රජිව් ගාන්ධිට. මේ පරම්පරා තුන පිළිබඳව ශ්‍රී ලංකාවේ අපිට විවිධ විවේචන තිබුණත් ඔවුන් තිදෙනාම ඉන්දීය දේශපාලනයේ විශිෂ්ට අගමැතිවරුන් කියන එක ගැන නම් විවාදයක් නෑ.

 

4. පරම්පරා තුනක විද්‍යාඥයෝ

Image Source – en.wikipedia.org

ඔබට මාරි කියුරි සහ පියරි කියුරි ගැන විශේෂ හැඳින්වීමක් කිරීම අවශ්‍යයි කියලා අපි හිතන්නේ නෑ. විකිරණශීලීතාවය සහ රේඩියම් පිළිබඳව ඔවුන් කළ පර්යේෂණ රසායන විද්‍යාව වගේම භෞතික විද්‍යාව නව මානයකට ගෙන යාමට සමත් වුණා. ඒ වෙනුවෙන් නොබෙල් ත්‍යාගයත් ඔවුන්ට හිමි වුණා. ඔවුන් දෙදෙනාගේ දියණිය වන අයරින් සහ ඇයගේ සැමියා කෘත්‍රීම විකිරණශීලීතාවය පිළිබඳව කළ පර්යේෂණ නිසා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වුණා. මේ අනුව පරම්පරා දෙකක අඹුසැමි යුවළවලට නොබෙල් ත්‍යාගය හිමිකරගැනීමට අවස්ථාව ලැබුණා. අයරින්ගේ පුතා සහ දියණිය වුණු පියරේ සහ හෙලන් දැනට ප්‍රංශය තුළ ජීවත්වන ජ්‍යෙෂ්ඨතම භෞතික විද්‍යාඥයින් දෙදෙනෙක් ලෙස පිළිගැනීමට ලක් වෙනවා.

 

5. ඉන්දීය සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගිය ශංකර්වරු

Image Source – npr.org

සිතාරය කියන ඉන්දීය සංගීත භාණ්ඩය සමග එකිනෙකට බද්ධ වෙලා තියෙන්නක් තමයි පණ්ඩිත් රවිශංකර් කියන නම. එතුමා තරම් බටහිර සංගීත රසිකයින් අතර ජනප්‍රිය වුණ වෙනත් සංගීතඥයෙක් නැහැයි කිව්වොත් වැරැද්දක් නැහැ. රවි ශංකර් මහතාගේ කුඩා කාලය තරමක් අර්බුදකාරී සමයක්. ඊට හේතුව වුණේ ඔහුගේ පියා වුණු ශ්‍යාම් ශංකර් චෞද්‍රි ලන්ඩනයේදී වෙනත් විවාහයක් කරගෙන එහිම පදිංචි වීම. නමුත් “ශ්‍යාම් ශංකර් චෞද්‍රි” ඉන්දීය සංගීතය සහ නර්තනය බ්‍රිතාන්‍ය ප්‍රේක්ෂකයින්ට හඳුන්වාදීමට පුරෝගාමී කර්තව්‍යයක් ඉටු කළා. ඒ වෙනුවෙන් ලන්ඩනය තුළ ප්‍රසංග සංවිධානය කිරීමට ඔහු මැදිහත් වුණා. යම් විදියකට කිව්වොත් ඔහු දැමූ අඩිතාලම නිසා රවි ශංකර් මහතාට වේදිකාව දැනුනා කිව්වොත් යම්තාක් දුරකට හරි. අද වන විට තම සීයාගේ සහ පියාගේ උරුමය සුරකිමින් එය ඉදිරියට ගෙන යන්නේ “අනුෂ්කා ශංකර්”.

 

6. ඔස්කාර් සම්මානයේ පරම්පරා උරුමය

Image Source – en.wikipedia.org/imdb.com

ඇන්ජලිකා හියුස්ටන් 1985 දී හොඳම සහාය නිළියට හිමි ඔස්කා සම්මානය දිනා ගත්තා. ඒ “ප්‍රිසීස් ඔනර්” වෙනුවෙන්. ඒ සමගම ඇය ඔස්කාර් සම්මාන ඉතිහාසයට අලුත්ම වාර්තාවක් එකතු කිරීමට සමත් වුණා. ඒ තමයි ඔස්කා සම්මානය දිනාගත් පවුලක තුන්වැනි පරම්පරාව බවට පත්වෙමින්. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේත් ඇයගේ පියා වූ ජොන් හියුස්ටන්. 1948 ඇන්ජලිකා හියුස්ටන්ගේ සීයා වූ වෝල්ටර් හියුස්ටන් ද හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගන්නවා. ඒ “ට්‍රෙෂර් ඔෆ් සියරා මද්‍රෙ” චිත්‍රපටිය වෙනුවෙන්. විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ද ඔහුගේ පුතා වුණු ජොන් හියුස්ටන් විසින්. ඒ වගේම ඒ සම්මාන උළෙලේදී ජොන් හියුස්ටන් හට හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඔස්කාර් සම්මානයද ලැබෙනවා.

 

7. ග්‍රීසියේ පරම්පරා දේශපාලනය

Image Source – en.wikipedia.com

ලංකාවේ ඉන්න සමහර අයගේ මතයක් තියනවා, ආසියාතික රටවල විතරයි පවුල් දේශපාලනය තියෙන්නෙ කියලා. නමුත් දියුණු යැයි සම්මත බටහිර රටවල වුණත් පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දේශපාලන උරුමය ගැන ඕන තරම් උදාහරණ තියෙනවා. උදාහරණයක් විදිහට ග්‍රීසියේ ‘පපන්ද්‍රෙ’ සඳහන් කරන්න පුළුවන්. ‘පපන්ද්‍රෙ’ ග්‍රීසියෙහි දේශපාලනයට පිවිසි පළමුවැන්නා විදිහට සැලකෙන්නේ “ජොර්ජ් පපන්ද්‍රෙ”. ඉංග්‍රීසි දේශපාලන ඉතිහාසය වෙනස් කළ පුද්ගලයෙකු ලෙස සැලකෙනවා. ග්‍රීසියේ අගමැතිවරයා බවට පත්වන ඔහු හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කරනවා. 1968 දී ඔහු නිවාස අඩස්සියේ සිටියදී මිය යනවා. ඔහුගේ පුතා වුණු “ඇන්ඩ්‍රියස් පපන්ද්‍රෙ” හමුදා පාලනයට එරෙහිව අරගලයක නිරත වෙනවා. අවසානයේ ඔහුත් ග්‍රීසියේ අගමැතිවරයෙක් බවට පත්වෙනවා. නමුත් ඔහු ග්‍රීසියේ ණය බර වැඩි කිරීමට මුල්වු අගමැතිවරයෙක් විදිහට දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඉන්පසුව ඉතා මෑතකදී ඔහුගේ පුතා වුණු “ජෝර්ජ් ඒ පපන්ද්‍රෙ” අගමැති ධූරයට පත්වෙනවා. ඔහු ග්‍රීසියට යම් යම් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උත්සහ කළත් එය සම්පූර්ණයෙන් සාර්ථක වන්නේ නැහැ.

හරි එහෙනම් වෙනදා වගේම අදත් මේ ආටිකල් එක ගැන ඔයාට දැනෙන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ෂෙයාර් කරන්නත් හිත හිත ඉන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *