නෙත් සිත් පැහැරගන්​න ලෝකේ ලස්සනම ගම්මාන

ලෝකේ වටේ සංචාරය කරන අය සමහරක් මේ තැන් වලට ගිහිල්ලත් ඇති. නොගිය අය ඉන්නවනම් ඔන්න යන්න ලෝකේ දැනට සුන්දරයි කියලා නම්ලත් ගම්මාන ටිකක් තමයි මේ. ඒ වගේම මේ රටවල් වල පදිංචි වෙලා ඉන්න උදවියටත් දැනගන්න මෙන්න මේ වගේ ලස්සන ගම් ටිකක් තියනවා කියලා.

 

1. ශිරකාවා ග​ම (Shirakawa) – ජපානය

ජපානයේ උතුරු ගිෆු ප්‍රාන්තයේ ඕනෝ දිස්ත්‍රික්කයේ තියන සුන්දර කඳුකරයක පිහිටි ගමක් තමයි මේ. මේක ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නෙ ගෂා – සුකුරි කියලා කියන ගොඩනැගිලි ​ශෛලියක් පෙන්වන සම්ප්‍රදායක් නිසයි. යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් එකක් විදිහටත් නම් වෙලා තියනවා.

2019 ජනවාරි 1 වෙනකොට මේ ගම්මානේ ජනගහනය 1630ක් වගේ ඉන්නවා පවුල් 588කට වගේ. මේ ගමේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 356.55ක් වෙනව. මේ ගම තියන කඳුකරයේ උස මීටර් 2,172ක් වගේ වෙනවා. ගම්මානයක් උනාට 95.7%ක් වගේම වනාන්තරය තමයි තියෙන්නෙ. මේ ගමේ තෙත් දේශගුණයක් තමයි තියෙන්නෙ. ඒ වගේම ජපානයේ වඩාත්ම හිම වැටෙන ගම හැටියටත් මේ ශිරකාවා ගම්මානය ප්‍රසිද්ධයි. මෙහි හිම පතනය සාමාන්‍ය​යෙන් මීටර් 10කට වඩා වැඩියි. මීටර් 2කට වැඩිය උස හිමබෝල හැදෙනවා කියලයි අපිට ආරංචි උනේ. මේ ගම සංචාරකයින්ගේ පාරාදීසයක් වෙලා තියෙන්නෙ

 

2. හොබිට් ග​ම (Hobbit) – නවසීලන්තය

නවසීලන්තේ උතුරු මටමාටා ප්‍රදේශ​යේ පිහිටලා තියන අති සුන්දර ගමක් තමයි මේ හොබිට් විලේජ් එක. දැක්කම යන්න ආස හිතෙන පරිසරයක තියන මේ ගම මූවි ලොකේශන් එකක් විදියට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. 1978 ඉඳලා ඇලෙක්සැන්ඩර් පවුලට අයිති වෙලා තිබුණු මේ භූමි ප්‍රදේශය හෙක්ටයාර 500ක් පමණ විහිදිලා තියනවා. ඒ කාලේ බැටළුවන් 13,000ක් හා ගවයින් 300ක් විතර හිටපු ගොවිපලක් තමයි මේ ගම්මානේ. ඒ කාලේ හැටියට එළු මස්, ලොම්, හරක්මස් මේ ගොවිපළේ ආදායම් මාර්ග වෙලා තියනවා. කාලයත් එක්ක මේ ගමේ සුන්දරත්වය දැකපු පීටර් ජැක්සන් නම් සිනමාවේදියා 1998 දි Lord of the Rings චිත්‍රපට මාලාව හදන්න ලොකේශන් එකක් විදියට මේ ගම යොදා ගන්නවා. ඒ මේ ගමේ තිබුණු අති සුන්දරත්වය ඒ ෆිල්ම් එකට මනාව ගැළපුන නිසා. එයා මේ ගම දැක්කේ පරණ එංගලන්තය වගේ. හොබිට්ස් හෝල්ස්, ආරුක්කු පාලම් වගේ ගොඩක් ලස්සනට හදලා තිබ්බ මේ ගම ෆිල්ම්ස් වලට ගත්තට පස්සෙ දැන් නවසීලන්තේ ප්‍රධානම සංචාරක කේන්ද්‍රස්ථානයක් වෙලා තියනවා.

 

3. රොන්ඩා (Ronda) – ස්පාඤ්ඤය

ස්පාඤ්ඤයේ මලාගා නගරයේ තියන කඳුවැටි වලින් සමන්විත ගමක් තමයි රොන්ඩා කියන්නේ. මලාගා නගරයට බටහිරින් කි. මි. 100ක් වගේ දුරින් තියන මේ ගමේ ජනගහනය 35000ක් වගේ වෙනවා. මේ වෙනකොට මේ ගම සියෙරා ඩි ලාස් නීව්ස් ජාතික වනෝද්‍යානයට ඇතුළත් කරලත් තියනවා. මෙ​ය වටේ නව ශිලා යුගයට අයත් ප්‍රාග් ​ඓතිහාසික ජනාවාස වල නටබුන් තියනවා. මේ වෙනකොට නම් රොන්ඩා ගම රෝමානු සම්භවයක් තියන ගමක් විදියට තමයි ප්‍රසිද්ධ .ජූලියස් සීසර්ගේ කාලේ මේ ගම්මානයට නගර නාමයක් ලැබිලා තියනවා. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 750ක් වගේ උසින් පිහිටලා තියන මේ ගම්මානය කඳු වලින්ම වට වෙලයි තියෙන්නෙ. ග්වාඩලෙවින් ගඟ මේ ගම හරහා තමයි ගලාගෙන යන්නේ. පුවෙන්ටෝ නියුවෝ පාලම, රොන්ඩා ට්‍රේන් ස්ටේශන්, ප්ලාසා ඩෙල් සොකොර් වගේ ස්ථාන රාශියක් රොන්ඩා ගමේ බලාගන්න පුළුවන්. පින්තූර බැලුවම පෙනෙයි කොච්චර සුන්දර භූ විෂමතාවලින් හෙබි ගමක්ද කියලා.

 

4. පාවෙන හාලොං ගම (Halong bay floating village) – වියට්නාමය

හාලොන්ග් බේ ධීවර ගම්මානය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙනවා. මේක ලෝකේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්. Ha Long  යන නමේ තේරුම බැස යන මකරා යන්නයි. මේ ප්‍රදේශයේ හුණුගල් හා දූපත් විශාල ප්‍රමාණයක් තියනවා. සාමාන්‍ය​යෙන් වඩදිය බාදිය පද්ධතියක් තියන මේ ග​මේ උණුසුම් හා ශීතල දෙකම තියනවා. මෙහෙ පාවෙන ධීවර ගම්මානයේ කට්ටියගේ ප්‍රධාන ජීවිකාව වෙන්නෙ මාළු ඇල්ලීම. මසුන් වගා කිරීමත් එයාලාගෙ එක කර්මාන්තයක්. සංචාරක ව්‍යාපාරය දියුණු වීමත් එක්ක දැන් හාලො​ං ගමේ වැසියන්ගේ ජීවන තත්ත්වෙ දියුණු වෙලා තියනවා. බෝට්ටු චාරිකා, සංචාරක නිවාස කුලියට දීම් වගේ ව්‍යාපාර වලත් මේ අය නියැලෙනවා.

 

5. ඉන්ලේ වැව ආශ්‍රිත ගම්මාන (Inle lake) – මියන්මාරය

මියන්මාරයේ ශැන් ස්ටේටස් වල තියන ඉන්ලෙ ලේක් ගම දැක්කම නොයා ඉන්න හිතෙන්නේ නැති තරම් සුන්දර එකක්. ඉන්ලේ ලේක් එක වර්ග කි​ලෝමීටර් 116ක් පුරාවට විහිදිලා තියනවා. සංචාරකයින් අතර අති ප්‍රසිද්ධ නිසාම දැන් දැන් ඒ පැත්තේ සංචාරක හෝටල් නිර්මාණය වෙමින් පවතිනවා. ආසන්නම එයාපෝට් එක තියෙන්නෙ ඉන්ලේ වල ඉඳලා කි.මි.35ක් වගේ දුරින්. මේ ඉන්ලේ ලේක් එකට මායිම්ව තියන ගම් වල 70,000ක් ජනතාව පදිංචි වෙලා ඉන්නවා. ගොවිතැන එයාලගෙ ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් බෞද්ධයන් තමයි මේ පැත්තේ ඉන්නෙ. එයාලා ලී හා උණ බම්බු වලින් හදපු ගෙවල් වලයි වාසය කරන්නෙ. මේ පැත්ත කෘෂිකාර්මික හා සංචාරක පැත්තෙන් වැඩි දියුණු වෙනකොට ඉන්ලෙ වැවටනම් ඒකෙන් ලොකු හොඳක් වෙලා නෑ වගේ. යන අය ඒ සුන්දර පරිසරයට හානියක් නොකර ඉන්නවනම් මේ වගේ ලස්සන ගම්මාන ලෝකයට තවත් ඉතිරි වේවි.

 

6. ඉතාලියේ ඩොලමයිට්ස් ගම්මා​න (Dolomites Villages)

ඉතාලියේ ඇල්ප්ස් කඳුවැටියේ  පිහිටි සුන්දර ගම්මානයක්. කඳු නැගීම, පාපැදි චාරිකා වගේ දේවල් වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඩොලමයිට් වල කඳු 7ක් ආවරණය  වන පරිදි වාර්ෂිකව පාපැදි තරඟයක් පැවැත්වෙනවා. පළවෙනි ලෝක යුද්ධේ කාලේ ඉතාලි හා ඔස්ට්‍රෝ – හංගේරියානු හමුදා මේ ඩොලමයිට් හරහා තමයි ගිහින් තියෙන්නෙ. එහෙ යන අයට Dolomio Bellunesi ජාතික වනෝද්‍යානය බලන්නත් පුළුවන්.

 

7. මෝලින්නොන් (mawlynnong) – ඉන්දියාව

මෝලින්නොන් ගම සුන්දර ගමක් වෙලා තියෙන්නේ ඒ ගමේ පිරිසිදුකම නිසාමයි. ඉන්දියාවේ පිහිටි, ආසියාවේ පිරිසිදුම ගම හැටියට විරුදාවලිය ලත් මෝලින්නොන් ගැන අපි වෙනමම ලිපියක් ගෙන ආවා. ඒ ලිපිය මේ ලින්ක් එක ක්ලික් කරලා කියවන්න පුළුවන්.

 

මේ වගේම ලංකාවේත් සුන්දර ගම්මාන රාශියක් තියනවා. ඒ අතරින් මීමුරේ ගම්මානේ ප්‍රසිද්ධයි.අපි ඒ ගැනත් ලඟදිම ආටිකල් එකක් අරගෙන එන්නම්කෝ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *