ටික් ටොක් එකේ ඉන්න අමුතුම තරු ජාති – 1 කොටස

මීට අවුරුද්දකට දෙහෙකට වගේ කලින් ටික් ටොක් කියන්නේ එක කොටසක් බැහැලම වීඩියෝස් දාමින්, වෙනම කමියුනිටි එකක් හදාගනිමින් පදිංචි වෙලා හිටිය, හැබැයි තව වැඩි කොටසක් බැණපු ප්ලැට්‍ ෆෝම් එකක්. දැන් ටික් ටොක් එක කියන්නේ හෙනම බොළඳ සීන් එකක් කියලා බර බරේ දාන්න සෙට් වුණේ ඔය තලත්තෑනි උදවිය විතරක් නෙවෙයි. ගොඩක්ම ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වල පැල් බැඳගෙන පදිංචි වෙලා හිටපු උදවියත් ටික් ටොක් එකට කෝචොක් දාන්න සෙට් වුණා. හැබැයි කොහොමින් කොහොම හරි අන්තිමට අද වෙනකොට ටික් ටොක් ඇප් එක හැමෝගෙම වගේ ෆෝන්ස් වලට ඇවිල්ලා. අර බැණ බැණ හිටපු සමහර උන්දැලත් ටික් ටොක් එකේ වීඩියෝස් කරන්න ගිහිල්ලා!

ඉතින් දැන් වගකීම් සහගතව ටික් ටොක් එකේ සැරිසරන පුරවැසියෝ විදියට, ඔය ටික් ටොක් එකේ ඉන්න එක එක හාදයෝ හාදියෝ කණ්ඩායම් වලට වෙන් කරලා අඳුනගන්න එක අපේ වගකීම. ආන්න ඒ ටික් ටොක් එකේ ඉන්න එක එක විදියේ ඩයල්ස් ගැන තමයි මේ කියන්නේ!

 

 

1. සෙක්සි නංකි

 

මේං නංකිලා. ආයෙ ඩාන්ස් නං ඩාන්ස්. හැබැයි කොච්චර ඩාන්ස් එක්ස්පර්ට්ල වුණත් අපේ හිත යන්නෙම නංකිගෙ සෙක්සි ගතියට කියන්ඩකෝ. මං හිතන්නේ ලංකාවෙ ටික් ටොක් එකේ වැඩියෙන්ම ඉන්නෙත් සෙක්සි නංකිලද මන්දා. ඒ තරම් බැලූ බැලූ අත ඉන්නවා. අපිටත් පුදුමයි මේ නංකිලා අපි ඉන්න ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ කියලා. ඇයි අප්පා අපි දැකලා නෑනේ මෙච්චර මේ රටේ ඉඳලා මේ නංකිලව මෙච්චර කාලෙකට! කොහොම වුණත් මේ ගොඩක් සෙක්සි නංකිලා එහෙම ලොකු ලයින් නං නෑ. ලස්සන ඩාන්ස් එකක් සෙක්සි විදියට දාලා, අපිවත් සතුටු කරලා, එයාලත් සතුටු වෙලා ඉන්නවා.

 

 

2. දැනුමට යමක්

 

මෙන්න ටික් ටොක් එකේ වටිනාම කියන කොටසක්. හැබැයි මේකෙත් කොටස් තුනක් ඉන්නවා. එක කොටසක් හෙනම සීරියස් විදියට යම් යම් සබ්ජෙක්ට් ගැන දන්න, ඒ දන්න සබ්ජෙක්ට් වලින් පොඩි පොඩි දේවල් සරල විදියට කියලා දෙන උදවිය. තව කොටසක් ඉන්නවා, ඒ තරම් දේවල් දන්නෙ නැතත්, වෙන තැන් වලින් හොයාගත්තු දේවල් තමන්ගේ වීඩියෝස් හරහා ෂෙයාර් කරන. ඇත්තටම වටින්නේ මෙන්න මේ කොටස් දෙක තමයි. මේ අයගෙන් ඇත්තටම අපිට ප්‍රායෝගික ජීවිතේ දේවල් වල ඉඳලා, සීරියස් සයන්ස්, ඉකොනොමික්ස් වගේ දේවල් දක්වා සෑහෙන්න පරාසයක දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට තුන්වෙනි කොටස තමයි, මෙලෝ අලබෝලයක් දන්නෙ නැති, හැබැයි දන්නවා වගේ රට පච අතාරින දැනුමට යමක් සෙට් එක. මුන්දැලව නං රිපෝට් කරලා දාන්න ඕන!

 

 

3. පොර සෝකේ!

 

ඔව්, ටික් ටොක් එකේ ඉන්නවා ඔය කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව හරි සෙට් කරගන්න කියලම බැස්ස උන්දැලා. ගෑණු පිරිමි දෙවර්ගෙන්ම ඉන්නවා. උන්දැලාගේ පරම චේතනාව තමන්ට කියලා කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගෑණියෙක් හරි මිනිහෙක් හරි සෙට් කරගන්න එක. සමහරු නං කෙලින්ම කියනවා මට ලව් කරන්න කෙනෙක් හොයල දෙන්න, මං ඒකටයි ටික් ටොක් ආවෙ කියලා. එහෙම මිනිස්සුන්ගෙන් හිංසාවක් නෑ. හැබැයි වටෙන් වටෙන් කෑලි හොයන, මිනිස්සු හොයන පොර සෝක ඩයල් නං දේව සාප. උන්දැලා ගොඩක් වෙලාවට තමන්ට සෙට් වෙයි වගේ කියලා හිතාගන්න උන්දැලාට ඩුවට් වීඩියෝ කරන එක එහෙම කරනවා. එතකොට තමන්ගෙ වීඩියෝස් බලලා කවුරුහරි සෙට් වෙයි කියලා කැටයං එහෙමත් දානවා. පොර සෝකෙ බේරෙනවා!

 

 

4. මෝටිවේෂන් සිරිපාලලා!

 

මෝටිවේෂන් සිරිපාලලා එහෙමත් දැන් ටික් ටොක් එකේ වැහිවැහැලා ආයිබෝං. ආයෙ මේ ගොඩක් මෝටිවේෂන් සිරිපාලලා වෙනමම තමන්ට බ්‍රෑන්ඩ් එකක්, අයිඩෙන්ටිටි එකක් එහෙමත් හදාගෙන තමයි වැඩේට බහින්නේ. උදාහරණයක් ගත්තොත්, එක්කෝ මං සරම විතරයි අඳින්නේ, දුවේ පුතේ කියලා කතා කරන්නේ කියලා පොඩි ලයින් එකක් හදාගන්නවා. ඔය වගේ එක එක විදියේ මෝටිවේෂන් බ්‍රෑන්ඩ්ස් දකින්න පුළුවන්. මෙයින් සමහර එව්වා කෙලින්ම ඩබල් බ්ලැක් ලේබල් වගේ. හැබැයි තවත් ගොඩක් ඒවා නං කටේ තියන්න බැරි හොරට පෙරපු අමු කසියා! ඇත්තටම ඔය සීරීයස්, ප්‍රැක්ටිකල් මෝටිවේෂන් ටෝක්ස් දෙන අයව අපි දාන්නේ “දැනුමට යමක්” කැටගරියට. හැබැයි නිකං කටට එනවට ගොං කතා මෝටිවේෂන් ටෝක්ස් කියලා දෙන, ලෝකේ වෙන කවුරුහරි කියපු මෝටිවේෂන් කතන්දර රැඟිල්ලක් දාලා තමන්ගෙ වගේ කියන උන්දැලා තමයි මෝටිවේෂන් සිරිපාලලා කියලා අපි වර්ග කරන්නේ.

 

 

5. පොෂ් සීන්!

 

මේකත් දැන් දැන් ටික් ටොක් එකේ ටිකක් වෙන් කරලා අඳුනගන්න පුළුවන් කොන්ටෙන්ට් ක්‍රියේටර් කාණ්ඩයක්. මේ කට්ටිය ඉන්නේ හෙනම පොෂ් ලයින් එකක. වරදවා වටහා ගන්න එපා. අපි මේ කියන්නේ ආයෙ පොෂ් කියලා අමුතුවෙන් මවා පෙන්නන්න අවශ්‍ය නොවෙන, ඇත්තටම පොෂ් ටික් ටොක් ඩයස්ල් ගැන නෙවෙයි. ඒ මිනිස්සුන්ගෙන් ඇත්තටම කරදරයක් නෑ. හැබැයි තව සෙට් එකක් ඉන්නවා වෙන්ඩ පොෂ් සහ පොෂ් කියලා මැරෙන්න හදන ඩයල්ස්. ආන්න උන්දැලාගෙ වීඩියෝස් වල ඉතින් වැඩිහරියක්ම තියෙන්නේ “අනී උයාලට මගේ වීඩියෝස් අල්ලන්නෙ නැති නං ඔයාලා ස්කිප් කරාන්ඩ, අපි උයාලට බලෙං වීඩියෝස් පෙන්නන්නෙ නෑ” වගේ ලයින්ස් දෙන එකයි, තමන් කොච්චර පොෂ්ද කියන එක හුවාදක්වන එකයි විතරයි!

 

 

6. නටන්න බැරි වුණාට අහිංසක මං!

 

මේ කැටගරිය ටික් ටොක් එකට ඇවිත් ගොඩක් කල් නැති වුණාට, දැන් සෑහෙන්න දකින්න පුළුවන්. දැන් ඔය සමහරු ඉන්නවා නටන්න සිංදු කියන්න එහෙම බෑ. හරි, ඒකේ අවුලක් නෑනේ. හැබැයි ඉතින් බැරි වුණාට පොඩ්ඩක් ඩාන්ස් එකක් දාන්න, සිංදුවක් කියන්න ආසයි. සමහර වෙලාවට ඩාන්ස් එක ගැරඬියෙක්ට බූමිතෙල් දැම්මා වගේ වෙන්න පුළුවන්. සිංදුව පූසෝ බෙරිහන් දෙනවා වගේ වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වුණාට හිත හොඳ අහිංසක ඩයල්. ආයෙ ටික් ටොක් එකේ ගේම් ගහන්න මොකටවත් ආපු අය නෙවෙයි, ආසාවට ආපු අය. ඒ අයට ඉතින් බණින්න යන්නෙ නැතුව දිරිමත් වෙන කමෙන්ට් එකක් එහෙම දාලා ආවට කමක් නෑ.

 

 

7. ඇඟ පෙන්නන ඩයල්ස්

 

ඔව්, ඇඟ පෙන්නන සීන් ටික් ටොක් එකේ තියෙනවා. සමහර බොඩි බිල්ඩින් අයියලා ඉන්නවා ආයෙ උඩට මොකක්වත් නැතුවම තමයි ටික් ටොක් වීඩියෝස් වල ඉන්නේ. පුළුවන් නම් යට එව්වත් ගලෝලා වීඩියෝ කරයි. ඇයි එතකොට අක්කලා නංකිලා? එයාලත් ඊට හපන්. බ්‍රා නැතුව, පෑන්ටි නැතුව ඇඟ පේන්න නොපෙනෙන්න වීඩියෝස් දාන අයගේ ඉඳලා, දැන් ගලවයි දැන් ගලවයි ලෙවල් එකට වීඩියෝස් දාන අයත් මෙතන ඉන්නවා. හැබැයි ඊට පස්සේ කවුරුහරි අනේ තව පෙන්නන්නකෝ කියලා කමෙන්ට් එකක් දාපු ගමන් ට්‍රිගර් වෙලා ඊලඟ වීඩියෝ එකෙන් ‘ලංකාවෙ ඉන්නෙ අසහනකාරයෝ’ කියලා බණිනවා!

 

 

8. ෆුල් මාර්කටින් ඩෑන්!

 

ටික් ටොක් කියන්නේ එක්සලන්ට් මාර්කටින් ප්ලැට්ෆෝම් එකක් තමයි. ඒ නිසා තමයි ඔය ගොඩක් බ්‍රෑන්ඩ්ස් එහෙම දැන් ටික් ටොක් එකේ මාකටින් වලට බැහැලා තියෙන්නේ. එතකොට මේ කියන මාකටින් ඩෑන් සාමාන්‍යයෙන් එහෙම වෙන කාගෙවත් බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන කෙනෙක් නෙවෙයි. ඊට වඩා තමන්ගෙම බිස්නස් එකක් වෙනුවෙන් තමයි පොර ටික් ටොක් එකට බහින්නේ. මේ සීන් එකේ අක්කිලා අයියලා දෙගොල්ලොම ඉන්නවා. දාන ඕනම කොන්ටෙන්ට් එකක ආයෙ බිස්නස් එක ප්‍රමෝට් කරන සීන් එක ගෑවිලා හරි තියෙනවා.

 

 

9. නංකියා, ඇයි නංකියා මාව දාලා ගියේ?

 

ටික් ටොක් එකේ වීඩියෝස් බලපු කෙනෙක්ට නං හෙඩින් එක කියවද්දි වොයිස් එක ඇහෙනවා ඇහෙනවා වගේ නේහ්? කෙලින්ම දුක් මියුසික් එකක් බැක්ග්‍රවුන්ඩ් එකට දාලා, විරහ වේදනාවේ දුක කියවන සීන් එක තමයි මේ. මේකට හැබැයි ගෑණු පිරිමි භේදයකුත් නෑ. සමහර විරහ සීන් උන්දැලගෙ කෙඳිරි අහගෙන ඉන්නකොට හොයාගෙන ගිහිල්ලා දෙකක් දෙන්න හිතෙන තරං. සමහර එව්වා නං හිනා වෙවී අහගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ටික් ටොක් එකේ කොච්චර ඔහොම විරහ වේදනාවෙන් වැළපුනත්, දාල ගියපු එකා හෝ එකීට ඕවා අහන්න ලැබුණොත් ආයෙ එන්න තියා ඉන්න රටකවත් ඉන්න එකක් නෑ!

 

 

දැන් ටික් ටොක් එකේ ඉන්න කට්ටිය මෙච්චරද? අපොයි නෑ. තව තව ජාති වල අය ඉන්නවා. මෙතන නැති ඔයාලා දන්න ඒ ටික් ටොක් තාරකා ඩයල්ස් ගැන කමෙන්ට් එකක් දාලා කියාගෙන යන්ඩලා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *