රත්නපාල විතානගේ රසකතා

රත්නපාල විතාන කියන්නේ අපේ රටේ හිටිය ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක්. අද වෙනකොට පුවත්පත් කලාවේදියෙක් කිව්වම අපිට මතක් වෙන්නේ  හුදු ප්‍රවෘත්ති වාර්තා කරන්නන් විතරයි. නමුත් එතුමන්ගේ පරම්පරාවේ පුවත්පත් කලාවේදීන් අතිශයින් බහුශ්‍රැත පුද්ගලයන්. ඔවුන්ගේ සෑම ලිපියක්ම කුඩා විශ්වකෝෂයක් වගේ. අපි අද කතා කරන්න යන්නේ එතුමාගේ පුවත්පත් කලා ජීවිතයේ රසමුසු අත්දැකීම් කීපයක් පිළිබඳවයි.

 

1. වැස්ස වස්සපු මන්තරේ 

1969 වර්ෂයේදී මුළු ලංකාවටම බලපාන මට්ටමේ දැඩි නියං කාලගුණයක් ඇති වුණා. ජල සම්පාදන මණ්ඩලය හරහා ජලය ලබාදීමේ කටයුතු ඒ කාලය වෙද්දී දියුණු මට්ටමක පැවතුණේ නැහැ. මේ නිසා ඇතැම් පළාත් වල බොන්නට වතුර පවා හිඟ තත්ත්වයක් ඇති වුණා. ඉරිදා ලංකාදීප පුවත්පතේ සංස්කාරක විදිහට වැඩ කරපු ජෝර්ජ් රණසිංහ දවසක් රත්නපාල විතානට අපූරු යෝජනාවක් කරනවා. ඒ තමයි සුප්‍රකට මේඝදූත කාව්‍යයේ ශෛලියට ගද්‍ය කාව්‍යයක් ලියන්න කියලා. ඒ ඉල්ලීම ඉටුවෙනවා. දින කීපයක් ගත වෙන්න කලින් මුළු ලංකාවම බලාපොරොත්තු වෙන ආකාරයේ වැස්සක් ලැබෙනවා විතරක් නෙමෙයි, කොළඹ ආශ්‍රිත ප්‍රදේශත් යට වෙනවා. එවකට හිටපු පුවත්පත්කලාවේදීන් වගේම සාමාන්‍ය ජනතාව අතරින් බොහෝ පිරිසකුත් විශ්වාස කරන්නේ මේ ආශ්චර්ය සිදුවුණේ රත්නපාල විතානගේ ලිපිය හින්දා කියලා.

 

2. ඔරුවල යකඩ කම්හල 

ඔරුවල ප්‍රදේශයේ තමන්ගේ මුල් ගම්බිම් කරගත්ත රත්නපාල විතාන ඔරුවල යකඩ කර්මාන්ත ශාලාව ආරම්භ වන කාලයේ ඒ පිළිබඳව මුල්ම පුවත්පත් ලිපිය රචනා කරනු ලබනවා. තමන්ගේ ගම් ප්‍රදේශයට පමණක් නොව මුළු  ලංකාවටම එම කම්හල නිසා ඇතිවන යහපත පිළිබඳව ඔහු බොහෝම ආශ්වාදයෙන් එම ලිපියෙන් කතා කරනවා. නමුත් කර්මාන්ත ශාලාව ස්ථාපිත වීමත් එක්ක ගමේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. නමුත් යථාර්ථය මෙය බව දන්නා ඔහු තමන්ගේ හදවතේ දුක තුනී කරගන්නේ ඒ පසුබිම් කරගෙන “හදවතක් තිබුණු ගැහැණියක්” නවකතාව රචනා කරලා.

 

3. පාර්ලිමේන්තුවෙන් එළියට විසි වුණු හැටි

ලංකාදීප පුවත්පතේ දක්ෂ පුවත්පත් කලාවේදියකු (නම හෙළි වී නෑ) හැම අයවැයකටම කලින් පොඩි අමුතු වැඩක් කරන්න පුරුදු වෙලා තිබ්බා. ඒ මුදල් අමාත්‍යාංශයේ තමන්ගේ මිතුරෙක් හරහා අයවැය කතාවට ඇතුළත් වන අය වැය  ඇස්තමේන්තු ලබාගෙන අයවැයට කලින් පුවත්පතේ පළ කිරීම. සමගි පෙරමුණු රජයේ ආචාර්ය ඇන්. ඇම් පෙරේරාගේ මංගල අයවැය කතාවට කලිනුත් මේ දේම කරන්න ගිහිල්ලා ඔහුට වැඩේ වරදිනවා. මේ සිදුවීමෙන් කෝපයට පත් වෙච්ච ආචාර්‍ය පෙරේරා අයවැය කතාව අවස්ථාවේදී ලංකාදීප පුවත්පතේ පත්‍රකලාවේදීන් පාර්ලිමේන්තුවෙන්  නෙරපා හැරිය යුතු බවට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහි ප්‍රතිඵලය වුණේ එදා පාර්ලිමේන්තු වාර්තා කරන්න ගිහිල්ලා හිටපු රත්නපාල විතානටයි තවත් පුවත්පත් කලාවේදියෙකුටයි සභාවෙන් එළියට යන්න සිද්ධ වීම.

 

4. බණ්ඩාරනායක ඝාතනය 

බණ්ඩාරනායක ඝාතනය එක්ක මුළු රටම කැළඹෙද්දී රටේ ජනතාවට තොරතුරු දැනගැනීමට තිබ්බ එකම මාර්ග දෙක වුනේ පුවත්පත් සහ ගුවන් විදුලිය විතරයි. බණ්ඩාරනායක මහතාට ශල්‍යකර්මයක් සිදු කළා කියන ආරංචිය මත රෝහලට ගිය රත්නපාල විතානට ශල්‍යාගාරයේ වැඩ කරන යාළුවෙක් මුණගැහෙනවා. ඒ යාළුවගෙන් ශල්‍ය කර්මය පිළිබඳව තොරතුරු ලබා ගන්නවාට අමතරව බණ්ඩාරනායක මහතාගේ සිරුරට වෙඩි උණ්ඩ ඇතුළු වීම පෙන්වන එක්ස් රේ සටහන ඔහු මඟින් ලබාගන්න රත්නපාල විතාන සමත් වෙනවා. පහුවෙනිදා පුවත්පත පිටවෙන්නේ මේ ඒක්ස් රේ සටහනත් එක්ක.

 

5. දුටුගැමුණු රජුට සාධාරණය ඉෂ්ට කිරීම

දක්ෂිණ ස්ථූපයේ කැණීම් කටයුතු සිද්ධ කරපු සෙනරත් පරණවිතාන මහතාට  එම ස්ථානයේ තැන්පත් කරලා තිබ්බ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ හම්බ වෙනවා. නමුත් අවාසනාවකට වගේ මේ භෂ්මාවශේෂ කොටස් මුල් කාලේ අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් වෙලා තිබිලා රජයේ බඩු ගබඩාවකට යනවා. ඊට වසර විස්සකට විතර පස්සෙ 1978 දී මේ පිළිබඳව තොරතුරු හොයාගෙන යන රත්නපාල විතාන මේ ගැන රටට හෙළි කරනවා. ඒ පුවත්පත් වාර්තාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි  අදාල භෂ්මාවශේෂ ප්‍රංශය වෙත යවලා විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් තහවුරු කරගැනීම සිද්ධ වෙන්නේ.

 

6. පුවත්පත් ජීවිතයේ සිදුකරගත් මහා පිංකම 

මාලිගාවිල බුදු පිළිමය කැබලි වලට කැඩී තිබියදී එම පිළිමය යළිත් ප්‍රතිස්ථාපනය කළ යුතු බවට ලිපි පෙළක් ලියන ලද්දේ රත්නපාල විතාන විසින් බව අද බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. එසේම ඊට අදාළ අරමුදල් රැස් කිරීම සඳහා ප්‍රමුඛත්වය ගන්නා ලද්දේ ද ලංකාදීප පුවත්පත විසින්. ඒ සඳහා සුප්‍රකට පුවත්පත් කලාවේදී නොයෙල් පීරිස්ගේ දායකත්වයත් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. පළමු වතාවේදී ඒ පිළිමය එසවීමේ කටයුතු සාර්ථක නොවුණු තැන දී එවකට ලංකාවෙන් සිදුවුණු මදි පුංචිකම් නිසා  විදේශ ගතව සිටී එස්. එන් කුලසිංහ මහතා පවා ලංකාවට ගෙන ඒමට මෙම පුවත්පත් ලිපි වල ප්‍රතිඵලයක් ලෙස රජයට සිදුවුණා.

 

7. පාහියන්ගල මරණ පරීක්ෂණය

පාහියන්ගල ගල්ගුහාවෙන් හඳුනාගත් කාන්තා මානව ඇටසැකිල්ලක් පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා පැමිණි දේශීය සහ විදේශීය පුරාවිද්‍යාඥයන් පිරිසකගේ කතාබහක් ඇසීම සඳහා බොහෝ පිරිසක් පාහියන්ගල ගල්ගුහා අසල එක්රැස්ව තිබුණු මොහොතක අදාළ විද්වතුන් අතර විවිධ තර්ක විතර්ක ගොඩනැගෙමින් තිබුණා. මේ සියල්ලම සාවධානව අසා සිටි ගැමියෙක් “ඔය මහත්තුරු මොනා කිව්වත් මේ බවලතා සංසාරේ ලොකු පිනක් කරපු කෙනෙක්. නැත්තන් මේ ඇටකටු බලන්න ඇමරිකාවෙන් එයිද” කියලා ඇහල තියෙන්නේ සියළු දෙනාම හිනා ගන්වමින්.

 

මේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියාගේ හපන්කම් පිළිබඳව කෙටි තොරතුරු කිහිපයක් හෝ මේ ලිපිය මගින් ඔබ වෙතට කිරීමෙන් පුළුවන් වුණා කියලා අපි හිතනවා. එහෙමනම් මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *