චීනය කියන්නේ ලෝකේ වැඩිම ජනගහණයක් ඉන්න රට. ඒ වගේම චීනය මේ වෙද්දි ලෝකයේ දෙවැනි බලවතා වෙලා ඉවරයි. 1990ට පෙර චීනය කියන්නෙත් අපි වගේම සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒත් වේගයෙන් දියුණු වෙච්චි චීනය අද වෙද්දි ඇමරිකාව සමඟ වෙළඳ යුද්ධයකට පවා පැටලී සිටිනවා. ඉතින් චීනය වෙනස් කරපු නායකයින් ගැන අපි දන්නේ ටිකයි. ඒ ටිකට තව දැනුම ටිකක් මේ හරහා එකතු කරගමු.
1. මාඕ සේතුං
කොමියුනිස්ට්වාදය ලොව පුරා රජයපු 1950 දශකයේදී මාඕ ලොකු වෙනසක් චීනයට කරයි කියලා මිනිස්සු විශ්වාස කළා. එත් මාවෝ ෆේල් වුණා. මිලියන ගණන් මිනිස්සු මාවෝගේ සමාජවාදී අත්හදාබැලීම් නිසා සාගතයෙන් පීඩා වින්දා. ඒත් මහජන චීනය කියන රට අඛණ්‌ඩව රැක ගන්න මාවෝ සමත් වුණා. ඒ වගේම මාවෝගේ කොමියුනිස්ට්වාදයේ නෂ්ඨාවශේෂ අදත් චීනයේ දකින්නට තියෙනවා. මාවෝට ඔහුගේ ජීවිත කාලය තුළ රට යම් තැනකට ගේන්නට බැරි වුණා. ඒත් මාවෝගෙන් පස්සේ ආපු ඩෙන් ෂියාඕපෙන්ලට ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් කමියුනිස්ට් හර පද්ධතියක් මාවෝ විසින් චීනයට දායාද කළා. යම් යම් පසුබෑම් තිබුණත් අදටත් චීනයේ ගැලවුම්කාරයා විදිහට මාවෝ සේතුං දැක්වෙනවා.
2. ඩෙන් ෂියාඕපෙන්
“බළලා සුදු වුණත් කළු වුණත් ඌ මීයෝ අල්ලනවා නම් ඌ වැදගත් බළලෙක්” ඒ ඩෙන්ගේ සුප්‍රසිද්ධ කියමනක්. ඩෙන් ගේ වැඩත් ඒ වගේ. ඩෙන් චීනයේ ජනාධිපතිවත් අගමැතිවත් නෙමෙයි. ඔහු චරිතයට බලය ආරෝපණය කර නොගත්, එහෙත් පාලනයේ විධික්‍රම අනුව චීනය පාලනය කළ දක්ෂයෙක්. ඔහු චීනයේ තිබෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා බවට මාවෝගෙන් පස්සේ පත්වුණා. ඔහු ඇමරිකාව සහ යුරෝපය සමග චීනයේ සම්බන්ධතා වැඩිදියුණු කරගත්තා. සෙන්ශෙන් කියන්නේ ඩෙන් ෂියාඕපෙන් බලයට එද්දි පොඩි ධීවර ගම්මානයක්. අද වනවිට ඩෙන්ගේ ආර්ථික වැඩපිළිවෙළ නිසා සෙන්ශෙන් වගේ අලුත් නගර චීනයේ බිහිවෙලා, ලෝකයට අභියෝග කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. පසෙකින් කොමියුනිස්ට් සැකැස්ම තියාගෙන එහි බලය බෙදාහැරලා, ඉන් පසු විශේෂ ආර්ථික කලාප හරහා ලෝකයට චීනය විවෘත කරන්න ඩෙන් ෂියාඕපෙන් කටයුතු කළා. මාවෝ ගේ කාලයේ කඩාවැටිලා තිබුන චීන අධ්‍යාපනය නගා සිටුවලා විදෙස් රටවල චීනයේ අධ්‍යාපනය නංවන්නත් ඩෙන් කටයුතු කළා.
3. ෂි ජින්පින්
ෂි ජින්පින් හොඳද නරකද කියන්න තාම ඉක්මන් වැඩියි. චීනයේ අධිරාජ්‍යවාදී මුහුණුවර වඩාත් පැහැදිළිව ඉස්මතු කලේ ජින්පින්. 2012 දී බලයට ආපු ජින්පින් තම පක්ෂ නායකකම වගේම චීනයේ හමුදාවේ අධිපතිකමත් තමාටම පවරාගත්තා. වසර තිහක් තුළ චීන ආර්ථිකය පහළට වැටුණු එක් අවුරුද්දක් ලෙස 2019-2020 කාල සීමාව දැක්වුණා. ඒ වගේම ජින්පින් කරන්නට යෙදුන විදෙස් ව්‍යාපෘති බොහොමයක් හිතුව තරම් ආර්ථිකමය අතින් චීනයට වාසි අත් කළේ නැහැ කියලා මැදිහත් විචාරකයින් කියනවා. එතෙක් ඇමරිකාව සහ යුරෝපය සමග තිබුණ හොඳ හිතත් ජින්පින්ගේ කාල සීමාව තුළ යම් කඩාවැටීමකට ලක් වුණා. කෙසේ වෙතත් චීනය තුළ අභ්‍යන්තරයේ පැන නැගුණු දූෂණ වංචා පසුබිම අවම කරලා දූෂණ වංචා නිසා ඉහළම පෙළේ කිහිප දෙනෙක්ම සිපිරිගෙට සහ එල්ලුම් ගහට යවන්නට ජින්පින් කටයුතු කළා. විශාල බලය යෙදවීමක් තිබුණත් ජින්පින්ගේ කාලය තුළ චීනය ඉස්සරහට යයිද කියන ප්‍රශ්නාර්ථය මේ වනවිට එල්ල වෙලා තියෙනවා.
4. හූ ජින්තාවෝ
2002-2012 කාලය තුළ රට පාලනය කළ හූ ජින්තාවෝ කියන්නේ ඉංජිනේරු උපාධිධාරියෙක්. චීන දේශපාලනය තුළ දැන් සිටින ජින්පින් වගේම ඊට පෙර සිටි ජියෑන්ග් සෙමින් සහ හූ ජින්තාවෝ කියන තුන් දෙනාම ඉංජිනේරු විද්‍යාව හැදෑරු අයවළුන් වුණා. හූ ජින්තාවෝ චීනයේ සංවර්ධනය චීනයේ ඈත ගම් රටවල් වලට ව්‍යාප්ත කරන්නට උත්සාහ කළා. චීනයේ නගර සහ ආර්ථික කලාප වලට කොටුවෙලා තිබුණ ආර්ථිකය චීන රට පුරාම පතුරුවන්නට ඔහු මැදිහත් වුණා. ඔහුගේ කාලය තුළ චීනයේ අධිවේගී දුම්රිය ඇතුළු ප්‍රවාහන පහසුකම් සීග්‍රයෙන් වර්ධනය වුණා. 2000 වනවිට අධිවේගී දුම්රිය තාක්ෂණය අතින් මෙලෝ හසරක් නොදැන සිටි චීනය මේ වනවිට අධිවේගී දුම්රිය මාර්ග කිලෝමීටර 35,000ක් පමණ හිමි රටක් වෙනවා. කමියුනිස්ට් පාලනයක් දියුණු වනවිට ඇතිවන අල්ලස සහ දූෂණ වටපිටාව නැතිකරන්නට හූ ජින්තාවෝ කටයුතු කළත් එය එතරම් සාර්ථක වුණේ නැහැ.
5. හූ යෝබාන්
කොමියුනිස්ට් රටක ආර්ථිකමය කොටස පමණක් ලෝකයට නිරාවරණය කරන විට එහි එන්නට පුළුවන් අවුල් චීනයෙත් ඇති වුණා. හූ යෝබාන් කියන්නේ චීන ඉතිහාසයෙන් මකා දැමූ චරිතයක්. හූ යෝබාන් කොමියුනිස්ට් ක්‍රමයට වඩා වඩාත් මානුෂවාදී වූ සමාජ ක්‍රමයකට කැමති වුණා. ඩෙන් ෂියාඕපෙන් ගේ චීනය පරිවර්තනය කිරිමේ කටයුතු වලට දකුණු අත වගේ දායක වුණු ඔහු 1982 දී චීන ජනාධිපති වුණා. ඒත් හූ ගේ වැඩපිළිවෙළ මිනිසුන්ගේ සිත් ගත්තත් චීනයේ කොමියුනිස්ට් රෙජීමයට හූ සිත් ගත් චරිතයක් වුණේ නැහැ. ටිබෙට් රටටත්, දැනටත් ප්‍රශ්න තිබෙන උයිගර්වරුන්ටත් වෙනමම පාලනයක් ගෙන යෑමට නිදහස තිබෙන බව හූ විශ්වාස කළා. එසේම කොමියුනිස්ට් පාලකයින්ගේ බලතල සීමාවෙන, ඔවුන්ගේ ඉපැයීම්, දරුවන්ගේ ඉපැයීම් ප්‍රශ්න කරන පසුබිමක් හූ විසින් ඇතිකළා. ඉදින් කොමියුනිස්ට් රටක මෙවැනි වෙනස්කම් ඇතිකරන පාලකයෙක්ට විය යුතු පරිද්දෙන්ම ඔහුට 1987 දී සිය තනතුරෙන් ඉවත් වෙන්නට සිදු වුණා. 1989 ඔහු හදිසි හෘදයාබාධයකින් මරණයට පත් වුණා. ඔහුගේ දේහය රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කරන්නට ඩෙන් ෂියාඕපෙන් ඇතුළු කමියුනිස්ට් පක්ෂය අදිමදි කළා. එසේම එතෙක් චීනය තුළ මතුවෙමින් තිබුණ ශිෂ්‍ය උද්ගෝෂණ හූ ගේ මරණයත් සමගම ටියන්මන් චතුරශ්‍රයේ උද්ගෝෂණ ලෙස තවත් උත්සන්න වුණා. 2012 දී හූ ගේ 100 වන ජන්ම දිනය වනතෙක්ම හූ ගේ නම චීනයේ ඉතිහාසයෙන් පසකට කළ අවුල් චරිතයක් විදිහට චීනයේදී සැළකුණා.
6. ජියාන් සෙමින්
ටියන්මාන් චතුරශ්‍රයේ 1989 දී ඇතිවුණු උද්ගෝෂණ මැඩපවත්වන්න පුළුවන් වුණත්, ඩෙන්ගේ කමියුනිස්ට් පක්ෂයට යම් විරෝධයක් සමාජයේ තිබෙන බව චීන පාලකයින් කල්පනා කළා. ඒ අනුව වඩාත් තරුණ නායකත්වයක් චීනයට ලබාදිය යුතු බවට එවකට චීනයේ පාලක ඩෙන් ෂියාඕපෙන් කල්පනා කළා. ඒ අනුව ෂැන්හයි හි වඩාත් සාමකාමී ලෙස 1989 දී උද්ගෝෂණ සංවිධානය කළ ජියාන් සෙමින් වේගයෙන් කොමියුනිස්ට් පක්ෂයේ ඉහළට ගන්නට ඩෙන් කටයුතු කළා. චීනයේ පළමු හමුදා නොවන පාලකයා ලෙස ජියාන් සෙමින් දැක්වෙනවා. ෂැන්හයි වලින් පැමිණි අයෙක් වූ නිසාදෝ ජියාන් සෙමින් ෂැන්හයි හි ඔහුගේ හිතමිතුරන්ට දේශපාලනය තුළ වැඩි වාසි ලබා දුන්නා. ජාත්‍යන්තරය සමගින් ගනුදෙනු වැඩිදියුණු කළ ජියාන් සෙමින්, සෙන්ෂන්, ක්ෂියාමන්, ශාන්ටෝ සහ සුහයි යන නව විශේෂ ආර්ථික කලාප ඇතිකරන්නට මූලික වුණා.
7. චීනයේ නායකත්වය
චීනයේ වර්තමානයේදී නම් ෂි ජින්පින් බොහෝ බලතල ඔහු සතු කරගෙන තිබෙනවා. එත් චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයින්ට තවමත් චීන දේශපාලනය තුළ විශාල හැකියාවක් තියෙනවා. මාවෝ සේතුං සියළුම බලතල ඔහු සතු කරගෙන අත්හදාබැලීම් කළත් ඉන් පසු පැමිණි සාර්ථක නායකයා වූ ඩෙන් ෂියාඕපෙන් එසේ තමුන් දෙවියන්ය යන මතයෙන් කටයුතු කළේ නැහැ. ඩෙන් ෂියාඕපෙන් පක්ෂ නායකත්වය පමණක් තබාගෙන ඔහුගේ වැඩකටයුතු වෙනත් අය ලවා කරගන්නට උත්සාහ ගත්තා. ඒ නිසාම ඔහු ටියන්මාන් චතුරශ්‍රය වැනි අවස්ථාවලදී යම්පසුබෑමකට ලක් වුණා. චීන දේශපාලනයේ සාධක ලෝකයේ අනෙක් රටවල වගේ ලෝකයට විවෘත නැහැ. එහෙත් බිලියනයකට වඩා ජනතාවකට වඩාත් සුවපහසු ආර්ථික සමාජ වටපිටාවක් හදා දෙන්න චීන කොමියුනිස්ට් ක්‍රමය අද සමත් වෙලා තියෙනවා. එහිදී වෙනස්වන ලෝකයට සරිලන ලෙස ඉක්මනින් චීනයට වෙනස් වෙන්නට පුළුවන් වුණා.
චීනයට යාබද සුවිශාල රටක් ලෙස පැවති ඉන්දියාව නිදහසින් පසු කැබලි වුණා. අදටත් මිලියන තුන්සියයකට වැඩි ඉන්දියානුවන් අන්ත දුප්පත් අඩියක ජීවත් වෙනවා. ඒ හා සමගාමීව බැලූ කළ ජාතිවාදී කළබල නැතිව විශාල රාජ්‍යයක් ලෙස ශක්තිමත් තත්ත්වයකට එන්න චීනය සමත් වුණා. වඩාත් කැපවීමෙන් වැඩකරන චීන්නු වගේම වඩාත් කැපවීමෙන් කටයුතු කළ චීන පාලකයොත් වසර තිහ හතළිහක් ඇතුළත චීනය ලංකාව වැනි දුප්පත් රටවලට හිතාගන්නවත් බැරි වේගයෙන් දියුණු තත්ත්වයට පත් කරන්නට සමත් වුණා.
Leave a Reply