දවස් පහක් වැඩ කරලා සති අන්තේ ආතල් එකේ ගෙවන්න උපදෙස් මෙන්න!

සාමාන්‍යයෙන් වැඩ කරන පංතියේ අපි ජොබ් එකක් කළත්, බිස්නස් එකක් කළත්, සතියේ දවස් පහක් එක දිගට වැඩ කරන එක තමයි කරන්නේ. සති අන්තේත් වැඩ කරන්න වෙන අවස්ථා තිබුණත් සාමාන්‍යයෙන් නම් සති අන්තේ කියන්නේ සාමකාමී නිදහස් දවස් දෙකක්. එතකොට වැඩි දෙනෙක් මේ නිදහස් සෙනසුරාදා ඉරිදා දවස් දෙක ගත කරන්නේ කොහොමද? කිසිම පළක් නැති විදියට. ඕන නම් මුළු දවසම නිදාගනී. හැබැයි නිදහසේ ඉන්න තියෙන නිවාඩු දවස් කියන්නේ නාස්ති කරලා දාන්න ඕන දවස් නෙවෙයි. ආන්න ඒ නිසා තමයි අපි මේ කියන්න හදන්නේ නිවාඩු සති අන්තය හරි විදියට ගත කරන්නේ කොහොමද කියලා.

 

1. උදෑසනින් අවදි වෙලා…

ඔව්, නිවාඩු දවස කියන්නේ පශ්චාත් භාගය එළිය කරන්න අව්ව වැටෙනකල් නිදාගන්න දවස නෙවෙයි. පුළුවන් නම් නිවාඩු දවසටත් වෙනදා ඇහැරෙන වෙලාවටම ඇහැරෙන එක තමයි හොඳම දේ. දැන් ඔය සමහරු නිවාඩු දවසට දවල් දොළහ විතර වෙනකල් නිදාගන්නවා නේද. එහෙම ඕනවට වඩා වෙලාවක් නිදාගෙන ඇහැරුනාට පස්සේ ඉතින් ඇඟ රිදෙනවා, ඔලුව රිදෙනවා, මාරම කම්මැලියි. කොටින්ම කිවුවොත් එතනින් එහාට රෑ වෙලා ආයෙ නිදාගන්නකල් වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ආන්න ඒ නිසා නිවාඩු දවසේදී අනිවාර්ය දෙයක් තමයි වෙනදා වගේම උදේට අවදිවෙන එක. ඒකේ තවත් ආතල් එකක් තියෙනවා. වෙනදා උදේට අවදි වෙන්නේ වැඩට යන්න වුනත්, නිවාඩු දවසේ උදේට අවදි වෙන්නේ රාජකාරි කටයුතු වලට නෙවෙයි, අපේ වැඩක් කරගන්න කියලා අපි දන්නවනේ. ඒක වෙනම ආතල් එකක් මචං!

 

2. සෝෂල් මීඩියා වල කාලේ කන්න එපා!

මේක නිවාඩු දවසට විතරක් අදාළ දෙයක් නෙවෙයි තමයි. හැබැයි වැඩ කරන දවසකදී සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා භාවිතයට පොඩි හරි සීමාවක් තියෙනවනේ. ඒත් නිවාඩු දවසට එහෙම සීමාවක් නෑ. සමහර වෙලාවට පැය ගණන් වුනත් සෝෂල් මීඩියා වල ඔහේ පහළට ස්ක්‍රෝල් කර කර, ලයික් දදා, කමෙන්ට් දදා ඉඳී. අන්න ඒ නිසා පුළුවන් නම් නිවාඩු දවසේ සම්පූර්ණයෙන්ම වගේ සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා ඉන්න. ඒකෙන් හිතනවට වඩා සෑහෙන්න වෙලාවක් නිවාඩු දවස එන්ජෝයි කරන්න ඉතුරු වෙයි.

 

3. ස්පෙෂල් කෑමක්!

ගෙදර ඉන්න නිවාඩු දවසේ ස්පෙෂල් කෑමක් කන එකේ අමුතු ගතියක් නැද්ද හා. හැබැයි ඉතින් ස්පෙෂල් කෑමක් නිවාඩු දවසට කනවා කියන්නේ ගෙදර වයිෆ්ට හරි අම්මට හරි උයන්න කියලා කොල්ලෝ ආතල් එකේ ටීවී බල බල ඉන්න එකට නෙවෙයි. එක්කෝ ගෙදර හැමෝම එකට එකතු වෙලා ෆන් එකේ උයන්න සෙට් වෙන්න ඕන. එහෙම නැතිනම් නිවාඩු දවසේ ගෙදර උයන්නේ නැතුව පිටින් ගේන්න ඕන. 

මේ ස්පෙෂල් කෑම ගැන කියනකොට තව දෙයක් තියෙනවා. ගෙදර ඉන්න නිවාඩු දවසටවත් ගෙදර හැමෝම එකට එකතු වෙලා කෑම කන එකේ තමයි ආතල් එක තියෙන්නේ.

 

4. වැඩ වැඩ ඉවරයක් නෑද?

ගොඩක් අය ගොඩක් වෙලාවට ඔය ගෙදර වැඩ කාරිය තියාගන්නේ සති අන්තෙට කරන්න. ඒ කියන්නේ රෙදි සෝදන එක, රෙදි මදින එක, බිම මොප් කරන එක වගේ රාජකාරි. හැබැයි ඉතින් සම්පූර්ණ සති අන්තෙම එහෙම ගෙදර වැඩ වලට ඉවර වෙනවා කියන්නේ, ඒක නිවාඩු දවස් දෙකක් වෙන්නෙ නැහැයි කියන එකනේ. ආන්න ඒක මග හරවා ගන්න ක්‍රමයක් තියෙනවා. එදිනෙදා පුළුවන් තරම් තමන්ගේ වැඩ ඉවර කරගන්න බලන එක තමයි ක්‍රමේ. හැම වැඩක්ම එහෙම එදිනෙදා ඉවර කරන්න බැහැ තමයි. හැබැයි පුළුවන් වැඩ තියෙනවනේ. අන්න ඒවා නිවාඩු දවසටම තියාගන්නේ නැතුව ඉවර කළා නම් හරි.

 

5. ගෙදර අය එක්කත් වෙලාව

දැන් තියෙන කාර්ය බහුල ජීවිතෙත් එක්ක ගෙදර අයගේ මූණ හරියට බලන්නවත් කෝ වෙලාවක්? හැබැයි ඉතින් එහෙම කියලා හරියන්නෙ නෑ. ඉතින් ගෙදර අය එක්ක වෙලාව ගත කරන්නත් හොඳම දවස තමයි නිවාඩු දවස. හැබැයි මේ කාලය ගත කරනවා කියන්නේ මොකද්ද? එක්කෝ එකට එකතු වෙලා මොකක් හරි ක්‍රියාකාරකමක නිරත වෙන එක. අර ස්පෙෂල් කෑම එක හදන එක, වත්තේ පිටියේ වැඩක් එකට එකතු වෙලා උදේ වරුවේ කරන එක වගේ ඕන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් හවස් වරුවේ සාලෙට වෙලා කතාබහ කරන එකත් ගෙදර අයත් එක්ක ඵලදායීව වෙලාව ගත කරන්න හොඳ ක්‍රමයක්.

 

6. තමන් වෙනුවෙන් වෙලාවක්

දැන් අපි ආස විනෝදාස්වාද මාර්ග තියෙනවනේ. ෆිල්ම් බැලීම, සිංදු ඇහීම, ගිටාර් ගැසීම, පොත් කියවීම වගේ විවිධාකාරයේ එව්වා. හැබැයි ඉතින් ඔය වැඩ කරන දවස් පහේදී යන එන ගමනකදී සිංදුවක් ඇහුවත්, පොතක් කියෙව්වත් ඒක නිස්කලංකේ ඉඳගෙන කරන්න අමාරුයි. ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් බලනවා වගේ වැඩක් වුනත් යන එන ගමන් තමයි. ආන්න ඒ නිසා නිවාඩු දවසේ වැඩ පල ඉවර කරලා, අර හදපු ස්පෙෂල් කෑමත් හොඳට කාලා බීලා නිස්කලංකේ වාඩි වෙන්න පුළුවන් තමන් වෙනුවෙන් වෙලාව ගත කරන්න. ඕන නම් පොප් කෝන් ටිකක් එහෙමත් හදාගෙන ෆිල්ම් එක බලන්න වාඩි වෙන්න පුළුවන්. කෝපි එකක් කාරිය හදාගෙන පොත කියවන්න වාඩි වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි වෙන කිසිම දේකින් ඩිස්ටර්බ් වෙන්නේ නැති තමන්ගේම වෙලාවක් විදියට මේ මොහොත ගත කරන එක.

 

7. කරන්න හිටපු දෙයක් පටන් ගන්නත් පුළුවන් 

අපේ එදිනෙදා රාජකාරි වැඩ වලට අමතරව අපි ජීවිතේ කරන්න හිතාගෙන ඉන්න වැඩ තියෙනවනේ. පොතක් ලියන්න, ගිටාර් ගහන්න ඉගෙන ගන්න, මල් නර්සරියක් පටන් ගන්න වගේ නොයෙකුත් දේවල්. මේවා විනෝදාංශ කියනවට වඩා, ජීවිතේ ආසාවල් කියලා හඳුන්වන්න පුළුවන්. දැන් ඔය දේවල් වල තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි, එව්වා කරන්න පටන් ගන්න අතිශයින්ම අමාරු වීම. ඒ කියන්නේ මේවා පටන් ගත්තට පස්සේ කොහොම කොහොම හරි ඇදිලා යයි. හැබැයි පටන් ගන්න එක හරිම අමාරුයි. ආන්න ඒ නිසා, එහෙම වැඩක් පටන් ගන්න තියාගන්න පුළුවන් මේ නිවාඩු දවස් දෙකෙන් එකක්. ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන දේවල් ඔක්කොම සූදානම් කරගෙන, කාලා බීලා, හිත නිදහසේ වාඩි වෙන්නයි තියෙන්නේ. ඒක මාර ආතල් එකක් මචං!

 

මේ කිව්වේ සති අන්තේ නිවාඩු දවස් දෙක ගෙදර ඉන්නවා නම් ගත කරන්නේ කොහොමද කියලනේ. ඕන නම් නිවාඩු දවස් දෙක අල්ලලා ට්‍රිප් එකක් එහෙම යන්න දාගන්නත් පුළුවන්. ඒකත් වෙනම ආතල් එකක් තමයි ඉතිං.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *