ධනාත්මකව හිතන්න ඔබ කියවිය යුතුම පොත් හතක්

පොත් කියවන එක කොහොමත් හොඳ පුරුද්දක් තමයි. ඒත් මේ හොඳ පුරුද්දත් එක්ක අපි කියවන පොත් වලින් සාහිත්‍යමය රසයකට අමතරව අපේ ජිවිතේටත් ගොඩක් දේවල් ගන්න තියනවනම් එයත් වඩාත් හොඳ කාරණයක් වෙයි නේද? අද අපි ධනාත්මක චින්තනය ගැන සරලව ලියවුණු කෘති හතක් ගැන කතාකරමු.

 

1. පොලියානා

මේක ලියන්නේ එලීනර් එච්. පෝටර් කියන ඉංග්‍රීසි කතුවරියයි. අපේ රටේ දක්ෂ ලේඛිකාවක් වන කත්‍යානා අමරසිංහගේ අතින් ඒ කෘති තුනම අපූරුවට සිංහලයට පරිවර්තනය වුණා. පොලියානා කියන පුංචි කෙල්ලගේ චරිතය වටා තමයි කතාව ගෙතෙන්නෙ. ඇගේ පියාගේ වියෝවත් එක්ක කාත් කවුරුවත් නොමැති වන ඇයට තම පුංචි අම්මාගේ ගෙදරට යන්න වෙනවා. ඉන් පස්සෙත් නොයෙකුත් දුෂ්කරතාවයන්ට පොලියානාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පොලියානා කතාවේ තියෙනවා එක අපූරු සෙල්ලමක්. ඒ තමයි අපිට වෙන නරක දේක හොඳ පැත්ත ගැන සතුටු වෙන සෙල්ලම. සතුට උතුම් ධනය කරගෙන ජීවිතේට ධනාත්මකව මුහුණ දෙන්නට අපිව පොළඹවන පොලියානා පොත් කීපය ඔබ කියවලා නැත්නම් අනිවාර්යයෙන්ම කියවන්න. 

 

2. සන්තාපයට තිත ජීවිතයට සෙත 

මේක පරිවර්තනය කරන්නේ ලීලානන්ද ගමාච්චි මහතා. ධනාත්මක චින්තනය ගැන ඉතාමත් විශිෂ්ට කෘති රචනා කරපු අමෙරිකානු ලේඛක ඩේල් කානගී මහතාගෙ “How to Stop Worrying and Start Living” නම් කෘතියේ සිංහල පරිවර්තනය තමයි සන්තාපයට තිත ජීවිතයට සෙත නමින් සිංහලට හැරවෙන්නෙ. ගොඩාක් හොඳ ප්‍රායෝගික මනෝවිද්‍යා පොතක් වෙන මෙයින් ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි. ඒ වගේම ලීලානන්ද ගමාච්චි මහතා තවත් ගොඩාක් වටිනා මනෝවිද්‍යාත්මක පොත් පරිවර්තනය කර තිබෙන බවත් කිව යුතුයි. 

 

3. ආලෝකවත් ජීවිතයකට

මෙහි මුල් පොත වන The Power of Positive Thinking පොත ලිව්වේ ආචාර්‍ය නෝමන් වින්සන්ට් පීල් මහතායි. අපේ රටේ දක්ෂ පරිවර්තකයෙක් වන ගාමිණී කුමාර විතාන මහත්මයා මේක ආලෝකවත් ජීවිතයක් නමින් පරිවර්තනය කළා. අපේ හිතේ තියෙන ධනාත්මක චින්තනය අවදි කරගන්න හැටි සහ ඒත් එක්ක ඉලක්ක සපුරා ගන්න හැටි මේ පොතේ තියෙනවා. අනිවාර්යයෙන් කියවන්න ඕනෙම පොතක්.

 

4. සැබෑ මිනිසකුගේ කතාවක්

 මේ පොතත් ගොඩාක් අයගෙ හිතේ රැඳුණු පොතක් බවට සැකයක් නෑ. ඒ තරම්ම ජනප්‍රිය විශිෂ්ට පොතක්. රුසියානු ලේඛක බරීස් පලවොයි අතින් ලියැවුණු මේ පොතේ සිංහල පරිවර්තන කිහිපයක්ම තියනවා. සිය පාද දෙකම අහිමි වුණු රුසියානු ගුවන් නියමුවෙක්ගේ ජීවන කතාවක් වන මේ පොත ගොඩක් දෙනෙක් කියවලත් ඇති.  මානසිකව වැටුණු කෙනෙක්ව වුණත් දිරිමත් කරවන්න පුළුවන් විදිහේ වටිනා පොතක්.

 

 

5. ලිට්ල් හවුස් කතා මාලාව 

මේ පොත්පෙළ නම් නොකියවපු කෙනෙක් නැති තරම්. ධනාත්මක චින්තනය කෙලින්ම නැති වුණත්, තැනින් තැන ජීවිතයට ධනාත්මකව සිතන්න පොළඹවන තැන් මේ පොතේ තියෙනවා. ලෝරාගේ පවුල විවිධ බාධකවලට දිරියෙන්, සතුටින් මුහුණ දෙන හැටි මේ පොත් පෙළ අවසන් වෙනකන්ම තියෙනවා. ලෝරා ඉංගල්ස් නම් ලේඛිකාව විසින් රචිත මේ පොත සිංහලට පරිවර්තනය කළේ අපේ රටේ දක්ෂ පරිවර්තිකාවක් වන ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද මහත්මියයි.

 

6. මිනිස් හිතේ හාස්කම්

මේකෙත් පොත් පෙළක්ම තියෙනවා. කෙනෙක්ගේ ජීවිතයක් වුණත් වෙනස්කරන්න පුළුවන් ගොඩාක්ම හොඳ පොත් පෙළක් හැටියට මිනිස් හිතේ හාස්කම් පොත් හඳුන්වන්න පුළුවන්. සුමනදාස සමරසිංහ තමයි මේ පොත් පෙළ රචනා කරන්නෙ. යාළුවෙක්ට, ආදරය කරන කෙනෙක්ට වුණත් දෙන්න පුළුවන් ගොඩාක් හොඳ තෑග්ගක් වෙයි මේ පොත. 

 

7. සන්තියාගෝ නම් සැරිසරන්නා

 මේකත් ගොඩාක් ජනප්‍රිය පොතක්. පාවුලෝ කොයියෝගේ කෘතීන් වලින් විශිෂ්තම කෘතිය හැටියට ගොඩාක් අය හඳුන්වන්නෙත් මේ පොතයි. එක පිටුවක වුණත් ගන්න තියෙන දේවල් ගොඩයි. අවුරුදු දහඅටක කොල්ලෙක් වන සන්තියාගෝගේ ජීවිතේ වෙනස් කරන අපූරු චාරිකාවක් ගැනයි මේ පොතේ කතාව පදනම් වෙන්නේ. විශ්ව ශක්තිය ගැන කියවෙන, ජීවිතේ ජයගන්න උනන්දු වන අය කියවන්න ඕනෙම පොතක්….

 

මේ වගේ ඔයත් දන්න ධනාත්මක චින්තනය ගැන ලියවුණු පොත් ගැන අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා…

 

 

ශශින් ප්‍රබෝද්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *