හෙක්ටයාර් 550ක් තනිවම වැවූ ඉන්දියාවේ ෆොරස්ට් මෑන්

ඉන්දියාවේ මිනිහෙක් හෙක්ටයාර 550ක් තරම් විශාල වනාන්තරයක් තනියම වවලා ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේක කරලා තියෙන්නේ බොහොම පොඩි මනුස්සයෙක්. ඒ කෙනාට සම්මාන නම්බු නාම කොපමණ ලැබුණත් එයා තාමත් ඉන්නේ ඒ තමා වවපු ගහකොළ එක්ක ඒ පරණ විදිහටම තමයි. අපි ඒ පුද්ගලයා ගැන විස්තර ටිකක් බලමු.

 

1. කොහේද මේ වවලා තියෙන්නේ? 

බ්‍රහ්මපුත්‍ර කියන්නේ දකුණු ආසියාවට තියෙන විශාලතම නදිය. ඒ නදිය සමහර තැන්වලදි කිලෝමීටර විස්සක්, තිහක් තරම් පළලයි. මේ නදියෙ තියෙන මජුලි කියන දිවයින ඉන්දියාවේ ඇසෑමයේ ජොරත් කියන නගරයට කිට්ටුව තමයි පිහිටලා තියෙන්නේ. මේ ජොරත් වල හිටපු ඡායාරූප ශිල්පියෙක් යනවා මජුලි දිවයිනේ පොටෝ ගහන්න. එතකොට අහම්බෙන් දකිනවා ලොකු වනාන්තරයක්. ඒ වනාන්තරය තමයි අපේ ජාදව් පයෙංග් කියන ප්‍රමාණයෙන් පොඩි, හදවතින් ලොකු මිනිහා වවපු වනය.

 

2. කොහොමද එච්චර ලේසියෙන් වැඩේ කළේ? 

මේ බ්‍රහ්මපුත්‍ර නදිය කිලෝමීටර විස්සක් තිහක් විතර පළල වුණාට මේ නදියේ සම්පූර්ණයෙන්ම වතුර පිරිලා ඉතිරිලා යන්නේ මෝසම් කාලයට විතරයි. අනෙක් කාලවලට ගඟේ පළලින් වැඩි කොටහක් ඉතිරි වෙන්නේ වැලි කඳු. මේ විදිහට මජුලි කියන දිවයිනෙත් මහා විසාල පදාසයක් වැලි කඳු තිබුණා. ඉතින් මේ වැලි කඳු ගංගාවේ ඉහළ කොටස් වලින් ගහගෙන එන හොඳ සරු පෝෂණ ද්‍රව්‍ය වලිනුත් සමන්විත වෙනවා. මේන්න මේ වැලි කඳු මත කෝටුවකින් හිලක් හදලා පැළයක් වලදැමීම අවුරුදු ගාණක් තිස්සේ ජාදව් පයෙන්ග් කළා. ඒකේ ප්‍රතිඵල විදිහට තමයි අද මජුලි දිවයිනේ හෙක්ටයාර 550ක මහ වනයක් හැදිලා තියෙන්නේ.

 

3. අලි, කොටි සහ මුවෝ

මේ වනය සම්පූර්ණයෙන්ම ජාදව් විසින්ම වැව්වාම නෙමෙයි. සමහර ගහ කොළ, වැල් ආදිය ඉබේම පැළ වෙන්නත් ඇති. කොහොම වුණත් මේ දූපතේ තියෙන වනාන්තරයට එක් කාලයකදි අලි රංචුවක් එනවා. ඇවිත් කාලා බීලා කෙළි කරලා යනවා. ඒ වගේම මුවෝ, කොටි වගේ සතුනුත් මේ වනාන්තරයට ගංගාවෙන් පීනාගෙන එනවා . කුරුල්ලනුත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. කෘත්‍රිමව නිර්මාණය වුණත් ආසන්න වනාන්තර වලින් සතුන් එන නිසා මේක ස්වාභාවික වනාන්තරයක් තරමටම වන සතුන් ගහන කැලෑවක් වෙලා තියනවා දැන්.

 

4. කොච්චර කල් හිටවලද ඉතින්? 

එක රැයකින් රෝමය හැදෙන්නෙ නෑ. රෝමය කියන නගරය ගත්තත්, රෝම කියන සිරුරේ රෝම කූප ගත්තත් ඒ දෙකම එක රැයකින් හැදෙන්නෙ නැහැ. ඒ වගේ ජාදව් පයෙන්ග් එක දවසක වෙහෙස නොබලා ගස් හිටවලා මේ කැලේ හැදුවේ නැහැ. එයා වෘත්තියෙන් ගොපල්ලෙක්. සතුන් ඇති කරන එක තමයි කරන්නේ. ඉතින් විවේක වෙලාවට පොඩි බෝට්ටුවකින් ගිහින් එයා හැමදාම පැළ කිහිපයක් වල දාලා එනවා. ඒ 1979 සිට පැළ වලදාලා ගස් හදන්න ගත්ත මහන්සිය අද වෙද්දි හොඳ සරු රූස්ස ගස් පිරුණ සුන්දර වනයකට මඟ පාදලා තියෙනවා.

 

5. කොහොමද ඉතින් අදහස ආවේ? 

බ්‍රහ්මපුත්‍ර නදිය ජූලි ආසන්න මාස වල ඇතිවෙන දැඩි මෝසම් වැසි වලින් උතුරා යනවා. උතුරලා ගිහින් වතුර මට්ටම අඩු වෙද්දි මේ මහා වැලි කඳු උඩට ගංවතුරෙන් ගහගෙන ආපු සර්පයෝ බුරුතු පිටින් එකතු වෙනවා. මේ සර්පයෝ වැලි කඳු උඩ මැරිලා තියෙනවා ජාදව් දකිනවා. අනේ කවදා හරි මේ දූපතේ ඉන්න මිනිස්සු ගහගෙන ගියොත් මේ විදිහටම වෙයි නේද කියලා ජාදව් හිතනවා. එහෙම හිතලා ඒ යාබද ගෝත්‍රික ජනතාවගෙන් පැළ හිටවන්න සහාය ජාදව් ඉල්ලනවා. මේ වැඩේ නිසා ගංගාවේ ඉවරු ඛාදනය අඩු වෙනවා. ඒ වගේම මජුලි දූපත ආරක්ෂා වෙනවා. ඉතින් ඒ විදිහට එදා ඉල්ලාගත් ඇට වලින් පටන් ගත්ත බීජ සිටුවීම ඔහු නොකඩවා කළේ වෙනත් කිසිම බාහිර පාර්ශවයක මැදිහත් වීමක් නැතුව තමුන්ගේම උත්සාහයෙන්.

 

6. ජාදව්ට වුණු හිරිහැර

“පූජාසනයේ ඔබ හිඳුවා ඔබම පුදන ඒ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ” කියලා නන්දා මාලනී ගායනා කරන ගීයක් තියෙනවා. ඒ ආකාරයෙන් එක්තරා කාලයක මිනිසුන්ගේ සුභ සිද්ධිය උදසො පැළ වවන්න ගත්ත ජාදව්ට දූපතේ වැසියන්ම විටෙක එරෙහි වෙනවා. ඔහුගේ වනාන්තරයේ දැව දකින ඔවුන්ට ඒ දැව වලට ආශාව ඇති වෙනවා. ඉන් පසු ජාදව් ඒ අයත් එක්ක රණ්ඩු කරලා අදාළ පාර්ශව එක්ක ගැටුම් ඇතිකරගෙන වනාන්තරය ආරක්ෂා කරගන්නවා. ඒ වගේම ජාදව්ගේ වන වගාවත් එක්ක දූපතට ආපු ව්‍යාඝ්‍රයෝ ජාදව්ගේ ජීවිකාව වුණු ගව පාලනය විනාශ කරන්නේ ගවයින් දෙදෙනකු රැගෙන යෑමෙන්. ඒත් ජාදව් ඒ කිසිවකින් සැලුනේ නැහැ. ඔහුගේ කාර්යය දේව කාර්යය සේ කරගෙන ගියා.

 

7. සම්මාන සහ පැසසුම්

ජාදව් පයෙන්ග් මේ කරපු කාර්යයට 2010න් පස්සේ ලොකු තැනක් ලැබුණා. ඔහුට එවකට ඉන්දීය ජනපති අබ්දුල් කලාම් මහතා අතින් නම්බු නාම සහ සම්මාන ලැබුණා. ඉන්දියාව පුරා තැන තැන තිබුණ සම්මාන සමුළු වලට ඇරයුම් ලැබුණා. හරිහමන් පාසැල් අධ්‍යාපනයක් නොලබපු ජාදව්, දරුවන් සහ තරුණයින් දිරිමත් කරන්න පෙනී සිටියා. ඒත් ජාදව් මෑතදී කියන්නේ ඒ යන හැම තැනම සිටින අය වනාන්තර සිටුවනවා යැයි, වනය වෙනුවෙන් කැපවෙනවා යැයි කිව්වත් ඇත්තටම එහෙම පෙනී සිටින අය අඩුයි කියලායි. ඉන්දියාව ගත්තාම පුරවැසියෙක්ට පොල් හිටවන්න ඕනි නම් ආධාර දෙන්න තැන් තියෙනවා. සත්ව පාලනය කරන්න ඕනා නම් ඒකට අනුග්‍රහයන් තියෙනවා. ඒත් කාටහරි වනාන්තරයක් වවන්න ඕනි වුණොත් ඒක බලධාරීන් විහිළුවකට ගන්නවා කියලා තමයි ජාදව් කියන්නේ.

 

අපි කරන ගොඩක් දේවල් වලට ලොකු පරමාර්ථ තියෙනවා. ඒ පරමාර්ථ ගොඩක් අපි හරහා දුවන ඒවා. සරලවම අපිට වාසියක් කොහෙන් හරි එන වැඩ තමයි අපි කරන්න උත්සාහ ගන්නේ. එහෙම නැති වැදගත් වැඩ තිබුණත් අපි ඒවාට අවධානය දෙන්නේ අඩුවෙන්. ජාදව් ඒ වගේ නෙමෙයි, ඇතැම් විට 2001දී ජාදව් ගේ ව්‍යායාමය ඡායාරූප ශිල්පියෙක්ට හසු නොවුණා නම් ඔහුත් ඔහුගේ වනාන්තරය එක්කම මේ ලොවෙන් සැඟවිලා යන්න ඉඩ තිබුණා. ඒත් ඔහු තවමත් ගස් සිටුවමින්, ඔහුගේ කටයුත්ත කරමින් ඉන්නවා. ඉතින් ජාදව් කියන්නේ අපි හැමෝටම ආදර්ශයට ගන්න වටින, වටිනා චරිතයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *