ලංකාවේ කටකාරම දේශපාලඥයා කවුද? මේ අයගෙන් කෙනෙක්ද?

Loudspeaker Politicians

දේශපාලනයට කට විතරක් තිබුනට මදි. ඒත් කට තියන අයට ලොකු තැනක් අපේ රටේ දේශපාලනයේදී ලැබෙනවා. අපි මේ කටකාර දේශපාලකයින් ගැන පොඩ්ඩක් හොයලා බලමු.

 

1. අනුර කුමාර

Loudspeaker Politicians

Source – youtube.com

සහෝදරවරුනි, ඔබ අප මුහුණ පා සිටින මේ තීරණාත්මක අවස්ථාවේ… කියා කාලයකට පෙර කතාව පටන් ගත් අනුර කුමාර සහ රතු සහෝදරවරුන් අද වනවිට නම් ඒ තීරණාත්මක අවස්ථාව සලකුණු කරනවා අඩුයි. රටේ දූෂණ භීෂණ වංචා ගැන බොහෝ ඉදිරිගාමීව කතා කරන අනුර කුමාර විකල්ප සැපයීමට වඩා තිබෙන දේවල් හි වැරදි පෙන්වීමට සමතෙක්. වර්තමානයේදී නම් යටිබිම්ගතව යූ ඇන් පිය හා සම්බන්ධ යැයි චෝදනා ඉදිරිපත් වුනත්, පාර්ලිමේන්තුවට පැමිණි දින සිට මේ දක්වා සක්‍රියව, හරවත්ව පාර්ලිමේන්තුවේ සිය හඬ අවදි කල දේශපාලකයෙකි අනුර කුමාර. පාර්ලිමේන්තුවෙන් පිට පංසල් වල, දේශපාලන වේදිකාවල, රූපවාහිනී විවාදවල කෙස් පලන තර්ක ගේන ඇතමුන් පාර්ලිමේන්තුව තුළ නිහඬයි. ඒත් අනුර කුමාර සිය අදහස් සෑම කාලයකදීම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන සක්‍රිය දේශපාලකයෙකි.

 

2. රාජිත සේනාරත්න

Loudspeaker Politicians

Source – srilankamirror.com

වාමාංශික මූලයන්ගෙන් පැවත එන දේශපාලකයින් දෙස බැලූවිට ඔවුන්ට ඉතා හොඳ ඇමතීමේ හැකියාවක් හෙවත් රබර් දිවක් සහ සද්ද කටක් හිමිව ඇති බව පෙනී යනවා. රාජිත සේනාරත්න මහතාත් කලක් වාමාංශික මූලයකින් ශිෂ්‍ය සංගම් හරහා පැනනැගී දේශපාලනයට ආවෙකි. ඔහුට කියා ස්ථිරසාර වැඩපිළිවෙලක් තිබේදැයි හරිහැටි නොපෙනෙන මුත් රජයේ ඇතැම් පාර්ශව කර අරින බොහෝ දේට කෙලින් පිළිතුරු දීමට රාජිත සමත්. හරිහැටි දේශපාලන පක්ෂයක් හඳුනාගත නොහැකි ලාංකික ප්‍රධාන දේශපාලන වේදිකාවේ දෙපැත්තටම කතා කළ, දෙපැත්තෙන්ම නියෝජනය කල වෛර්ණ දේශපාලකයෙක් ලෙසද රාජිත හැඳින්විය හැකිය.

 

3. විමල් වීරවංශ

Loudspeaker Politicians

Source – youtube.com

“සිරිසේන… සිරිසේන… කෝ මේ සිරිසේන” යැයි දේශපාලන වේදිකාව 2015 ජනවාරියට පෙර දෙදරවූ විමල් සෑම කලකදීම පුවත් මවන්නෙක්. ඉතා සුලු කාරණාවක් පවා වඩාත් ඉස්මතු කොට පැතිරවීමට විමල් සමත්.

“මේ රජය තරුණයින්ගේ ප්‍රශ්න වලට දීල තියෙන උත්තර මොනවද? මම දැක්ක මේ පහුගිය දවසක කොන්ඩම් මැෂින් සවිකරලා ඒවා රටපුරා ව්‍යාප්ත කරන්න යනවාලු. මෙන්න අපේ රනිල් වික්‍රමසිංහ මහත්තය දකින තරුණ ප්‍රශ්න” ආදී ලෙසින් කොන්ඩම් මැෂින් වැනි ඉදිරිගාමී ප්‍රවේශයන් වුවද අනෙක් පසට කැරකීමට තරම් විමල් ගේ කට බලවත්. වරක් මහල්ලා සහ මුහුද ගැන කතාකරන්නට ගොස් යම් කරදරයකට මුහුණ පෑවද බොහෝ උගතුන් අදාළ නැති දේ කතාකරන සමයක යම්තාක් දුරකට හෝ ආකර්ශනීයව සිය දේශපාලන සගයින් ගේ නහර ඉලිප්පෙන ලෙස ඇමතිය හැකි අයෙකි විමල්. ආණ්ඩුවේ සිටියත් විපක්ෂයේ සිටියත් රටේ දේශපාලනයට ඔහුගේ ඇති දායකත්වය සඟවන්නට බැහැ.

 

4. පවිත්‍රා වන්නි ආරච්චි

Loudspeaker Politicians

Source – srilankamirror.com

සනත් නන්දසිරි ප්‍රසංගයකට පැමිණෙනවා නම් රුපියල් ලක්ෂයක්ද, මල්කාන්ති නන්දසිරි එනවානම් එම මුදල රුපියල් අසූදාහකට අඩුවෙන බවට වූ විහිළු කතාවක් මේ දිනවල තරුණයින් අතර පැතිර යනවා. එයින් මල්කාන්ති නන්දසිරි ගේ වොයිස් එකට ඇති අකමැත්ත නිරූපණය වෙනවා. කොහොම වුනත් කාන්තා දේශපාලනය ගැන කතා කරද්දී මල්කාන්ති සිංදු කියනවා වැනි රැව්දෙන හඬක් ඇති පවිත්‍රා ගැන කතා නොකර බැහැ. ඇය මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. ඇගේ අභීත හඬ දේශපාලන වේදිකාව තුළ මියුරු ටකරං නාදයක් මෙන් රැව් පිළිරැව් දෙන්නට සමත් වුනා. දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට නිර්දේශ එන කලෙක දේශපාලනයේ සිටින කාන්තාවන් අතර ඉහළින්ම සිටින, මීළඟ රජයක වුවද ඉහල කැබිනට් ඇමති ධූරයකට හිමිකම් කියන පවිත්‍රාවන් ලංකාවේ කටකාර දේශපාලකයින් අතර අමතක කරන්නට බැරි කාන්තා නියෝජනයකි.

 

5. රනිල් වික්‍රමසිංහ

Loudspeaker Politicians

Source – youtube.com

ප්‍රවාහයට කිසිසේත් නොගැලපෙන ලක්ෂණ වලින් සමන්විත වුවත් වර්තමාන දේශපාලනයේ අර්ථවත් කතාව හිමි අය අතරින් රනිල්ට ලැබෙන තැන ඉහළයි. ඔහු විද්‍යාලයක, පංසලක, යම් සංවිධානයක ආරාධනයට ගියත් එහි ඉතිහාසය, පසුබිම සහ අවට කරුණු ගැන මනා අධ්‍යනයකින් පසු සිය කතාව සකසා ගන්නවා. ඇතැම් විහාරස්ථාන වල උත්සව ආදියට ගොස් ඔහු කියූ ඇතැම් දහම් සහ ඉතිහාස කරුණු ඒ විහාරවල මහානායක හිමිවරුන් පවා පුදුමයට පත්කරන තරම් නිවැරදි සහ දුර්ලභ ඒවා වුනා. සිංහල කතාවේදී යම් කිසි නොගැළපෙන වාක්‍ය රටාවන් තිබුනත්, සම්පූර්ණ අර්ථය ගත් කල පෑ බාගයක කතාවකින් යම් දෙයක් ඉගෙන ගැනීමට ඇතිනම් වර්තමාන දේශපාලනයේ සිටින එවැනි අතලොස්ස අතරින් සෑම විටම රනිල් ඉදිරියෙන් සිටිනවා.

 

6. රන්ජන් රාමනායක

Loudspeaker Politicians

Source – facebook.com

විජයගේ සහායෙන් සිනමාවට යාන්තමින් පිවිසි රන්ජන් පසුකලෙක විකට නළුවෙක් ලෙස ජනප්‍රිය වුනා. ප්‍රධාන දහරාවෙන් අමතක කරන විදෙස් රැකියා කරන කාන්තාවන්ගේ ගැටළු, අසාධාරණයට ලක්වන අසරණ ජනයාගේ කුඩා ගැටළු පවා රන්ජන්ගේ සංවේදී හිතට නතුවූ අවස්ථා තිබෙනවා. ඇතැම්විට ඔහුට දේශපාලනයේ ඇති ගැඹුර ගැන එතරම් වැටහීමක් නොමැති ලෙසට පෙනී ගියත්, ඕනෑම දෙයක් නොබියව පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් පැවසීමට රන්ජන් සමත්. නළුවෙක් වුවත් රංජන් ගේ දේශපාලන රංගන දේශපාලන ලෝකය කලඹන්නට විටින් විට සමත් වී තිබෙනවා. හුදෙක් රංගනයෙන් සහ සද්ද කතාවෙන් පමණක් රටේ වෙනස් කල හැකි විශාල දෙයක් නොවන බවට ජීවමාන උදාහරණයක් ලෙසද රංජන් රාමනායක චරිතය ගත හැකිය.

 

7. හරීන් ප්‍රනාන්දු

Loudspeaker Politicians

Source – infotel.lk

තමුන්ට ඩිජිටල් අමාත්‍යාංශය ලැබෙන විට ඒ ඩිජිටල් යන වදන වත් නොදන්නා බවට පිළිගැනීමට හරීන් අවංක විය. විපක්ෂයේ සිටියදී හරීන් බදුල්ලේ අල ගොවීන් ගැන කියන්නට පටන් ගෙන රටේම ප්‍රශ්න පාර්ලිමේන්තුවේදී කියා නැවතත් අල ගැටළුවෙන්ම සිය කතාව කිහිප වතාවක්ම අවසන් කලේය. හරීන් දයාසිරි සමග රූපවාහිනී විවාදයකදී යම් ආරෝවක් යෑමද කලෙක උඩ ආ පුවතක් විය. දේශපාලන පක්ෂයක් ලෙස යූ ඇන් පියේ රනිල් වටා සිටින කථිකයින් මහින්ද රාජපක්ෂ වටා සිටින කථිකයින්ට වඩා ගණනින් මෙන්ම ප්‍රබලතාවයෙන්ද අඩුය. එහෙත් පහළ ගැලරියට ඇමතීමට හැකි යූ ඇන් පී කටවල් අතර හරීන්ට රූපවාහිනී විවාද සහ ප්‍රසිද්ධ වේදිකාවල යම් කිසි ඉඩක් වෙන්වී තිබේ.

මීට අමතරව චතුර සේනාරත්න, දයාසිරි, සුජීව සේනසිංහ, සමන්ත විද්‍යාරතන, පාඨලී රණවක, ආදී කටවල් රැසක් අප දේශපාලනයේදී නිතර නිතර කතාකරනු අසන්නට ලැබේ. දශක ගණනාවක් පුරා දේශපාලනයේ සිටිමින් ඇතැම්විට කලක් බලයේ ද සිට තිබේ. ඇතැමුන් සිය දිව සහ කට කදිමෙට පාවිච්චි කර අනාගත සිහින සුරපුරයක් පෙන්වා ජනතාවගේ ඡන්දය බා ගැනීමට සමත් දේශපාලකයෝ වෙති.

 
Cover Image Source – youtube.com / srilankamirror.com/ infotel.com / faceboook.coms
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *