පොඩි කාලේ අපේ ප්‍රියතම සුපර්හීරෝ සීරීස් එක්ක වුණු X-men පරිණාමය!

ඔය X-men කියන්නේ 90’ දශකේ පොඩි එවුන් වුණු අපේ ප්‍රියතම සුපර් හීරෝ සීරීස් එකක්. ඇත්තටම ඉතින් ඒ කාලේ අපිට X-men කොමික් කියවන්න තැනක් තිබ්බෙ නෑනේ. කෙලින්ම ඇනිමේෂන් සීරීස් එකෙන් තමයි X-men අත්පොත් තිබ්බේ. ඊට පස්සේ ඉතින් ඔය කින්ග් ආතර්, හී-මෑන්, රොබින් හුඩ් බලලා කඩු, දුනු-ඊතල එක්ක නටපු නැටුං අමතක කරල කෙලින්ම සුපර් හීරෝ සීන් එකට ආවා. ඊට පස්සේ අපි ඉස්කෝලෙ ඕලෙවල් පංතියේ ඉන්නකොට වගේ ආපු පළවෙනි X-men ෆිල්ම් එක ඉතින් අපේ චිත්‍රපටි ජීවිතේ මං සලකුණක් වගේ. ඒකේ වුල්වරීන් මුලින්ම සීන් එකට එනකොට ආයෙ විසිලුත් ගැහුවා!

කොහොම කොහොම හරි තාමත් X-men ෆිල්ම්ස් ඉවර නෑ. ඔය මැද්දෙදී අපි X-men කොමික්ස් එහෙමත් බලන්න සෙට් වුණා. ඒ කාලේ අපේ කම්පියුටර් වල වෝල්පේපර්ස් වල හිටියෙත් X-men ලා තමයි. ඉතින් මේ කියන්න යන්නේ, කොමික් ඇරෙන්න ඔය කාටුන්, ඇනිමේෂන්, ෆිල්ම් ලෝකේ X-men ලාගේ පරිණාමය ගැන තමයි.

 

1. X-men ඉතිහාසයෙන් බිඳක්

X-men ආරම්භය ගැන කියනවා නං, හැමෝම දන්න විදියට කොමික් පොත් සීරීස් එකකින් තමයි X-men පටන් ගන්නේ. X-men අයත් වෙන්නේ මාවල් විශ්වයට. චිත්‍ර ශිල්පියෙක් සහ ලේඛකයෙක් වුණු ජැක් කර්බි සහ අපි හැමෝම දන්න ස්ටැන් ලී තමයි මුලින්ම X-men නිර්මාණය කරන්නේ. මේ X-men කොමික්ස් වල කතා කරන්නේ සුපර් හීරෝස්ලාට වඩා මියුටන්ට්ලා ගැන. ඒ කියන්නේ මෙහෙමයි. මියුටන්ට්ලා කියන්නේ ජාන වල සිද්ධ වුණු වෙනස්කම් නිසා විවිධ බලයන් තියෙන අය. මේ අය සුපිරි වීරයෝ වගේම සුපිරි දුෂ්ටයෝ වෙන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම මේ X-men සීරීස් පුරාවටම කතා වෙන ඇත්ත තේමාව වෙන්නේ, පොදු සමාජයෙන් යම් කණ්ඩායමක් වෙනස් වෙනකොට කොහොමද පොදු සමාජය ඒ අයව කොන් කරන්නේ. එතකොට ඒ කණ්ඩායම පොදු සමාජය එක්ක වෛර බැඳගන්නේ සහ පොදු සමාජයට එරෙහිව සටන් කරන්න උත්සාහ කරන්නේ කොහොමද, ඒ අතරේ ඒ කොන් වෙච්ච කණ්ඩායමේම තව කොටසක් මේ පොදු සමාජයත් එක්ක තියෙන අවිශ්වාසය සහ බය නැති කරලා සංහිඳියව ඇති කිරීම වෙනුවෙන් වැඩ කරන්නේ කොහොමද වගේ දේවල් බොහොම ගැඹුරෙන් X-men කතා වල සාකච්ඡා වෙනවා.

2. X-men ඇනිමේෂන් සහ කාටූන්

ඇත්තටම X-men සුපර් හීරෝ සෙට් එක ඇනිමේෂන් සහ කාටූන් විදියට ඉදිරිපත් වෙන්නේ 1966 වගේ ඉතාම ඈතක ඉඳලා. ඒ වගේම වෙනත් වෙනත් සුපර් හීරෝ ඇනිමේෂන් සහ කාටූන් වලත් අපිට X-men සෙට් එක විටින් විට දකින්න ලැබෙනවා. ඊලඟට 90 දශකයේ මුල ආපු X-Men animated series (1992) එක සෑහෙන්න ජනප්‍රිය වෙනවා. ඊට පස්සේ ඔය X-Men ඇනිමේෂන් වලින් නැගලම යන්නේ 2000 දී ආපු X-Men: Evolution සීරීස් එක. මේකෙදී ඇත්තටම පෙන්නන්නේ X-Men වීරයෝ ළමා කාලේ සහ තරුණ කාලේ කොහොමද කියන එක, ඒ අය ප්‍රොෆෙසර් චාර්ල්ස් එක්සේවියර්ගේ ඉස්කෝලෙට එන්නෙ කොහොමද කියන එක, X-Men විශ්වයේ ඉන්න යම් යම් දුෂ්ටයන්ගේ ආරම්භය සහ ඒ අය දුෂ්ටයෝ බවට පත්වෙන්න හේතු වගේ දේවල්. ඇත්තටම මේ සීරීස් එකේදීත් අපිට දකින්න පුළුවන් කළු සහ සුදු චරිත වෙනුවට සංකීර්ණ චරිත නිර්මාණය කිරීමක්. උදාහරණයක් විදියට ගත්තොත්, මේකේ ඉන්න සමහර දුෂ්ටයෝ සීරීස් එකේ මැදක් යනකොට ප්‍රතිවීරයෝ බවට පත් වෙනවා.

මේ ඇරෙන්න ඉතින් X-Men ඇනිමේෂන් සීරීස් සෙට් එකකුත් තියෙනවා. උදාහරණ තමයි  Astonishing X-Men: Gifted (2009), Astonishing X-Men: Dangerous (2012), Astonishing X-Men: Torn (2012), Astonishing X-Men: Unstoppable (2012) වගේ ඒවා.

 

3. X-men ඇනිමේටඩ් සීරීස් එක

X-men ඇනිමේටඩ් සීරීස් එක ගැන අපි වෙනම කියන්න හේතුවක් තියෙනවා. පටන් ගන්නකොටත් කිව්වා වගේ අපි ගොඩක් දෙනෙක් X-men අත්පොත් තිබ්බේ මේ සීරීස් එකෙන්. මේ සීරීස් එකේ තීම් එක පවා අදටත් අපි කොහේ ඇහුණත් අඳුනගන්නවා. FOX එකෙන් කරපු මේ X-men ඇනිමේටඩ් සීරීස් එක පටන් ගන්නේම ජුබිලීව මුල් කරගෙන. මේක පටන් ගන්නකොටම අපිට රෝග්, ස්ටෝර්ම්, ගැම්බිට්, සයික්ලොප්ස්, වුල්වරීන්, ජීන් ග්‍රේ, බීස්ට් සහ ප්‍රොෆෙසර් එක්ස් ව වගේම මේ සීරීස් එකේ ඔරිජිනල් චරිතයක් වුණු, මිස්ටීක්ට වගේම වෙස් මාරු කරගන්න පුළුවන් මෝර්ෆ්වත් අඳුන්වලා දෙනවා. හැබැයි සීරීස් එකේ මුල් හරියෙම මෝර්ෆ් මැරෙනවා. ඒ වගේම අපි දන්න කියන දුෂ්‍ටයන් වත් මේ සීරීස් එකේ මුණ ගැහෙනවා. ඒ වගේම ඇමරිකාවේ ඒ  කාලේ දැවෙන ප්‍රශ්න වුණු දික්කසාදය, සමාජ කොන් කිරීම්, යුදෙව් සංහාරය, ඒඩ්ස් භීතිකාව වගේ සමාජ ප්‍රශ්නත් මේ සීරීස් එක ඇතුළෙම විමසුමට ලක් කෙරෙනවා.

 

4. X-men ඔරිජිනල් ෆිල්ම් ත්‍රිත්වය

මේක තමයි අපි විසිල් ගහලා පිළිගත්තු, X-men ෆිල්ම්ස් කියලා මුලින්ම දැකපු ෆිල්ම්ස් සෙට් එක. මේකට අයිති වෙන්නේ X-Men (2000), X2 (2003) සහ X-Men: The Last Stand (2006) කියන ෆිල්ම් ත්‍රිත්වය. පළවෙනි ෆිල්ම් එක පටන් ගන්නේත් රෝග්ව සහ වුල්වරීන්ව පාදක කරගෙන. ඇත්තටම මේ ෆිල්ම් සීරීස් එක ඇතුළෙත් වුල්වරීන් බොහොම ප්‍රධාන චරිතයක් බවට පත් වෙනවා, ඇනිමේටඩ් සීරීස් එකට එහෙම සාපේක්ෂව ගත්තත්. ලෝගන් සහ රෝග් අතර ලොකු සම්බන්ධයක් නිර්මාණය කරමින් එන මේ පළවෙනි ෆිල්ම් එක ඉවර කරන්නේ ජීන් ග්‍රේ තමන්ගේ අඳුරු පාර්ශවය, ෆීනික්ස් විදියට නැවත නැගිටීමත් නැතිවීමත් පෙන්නමින්. ඇත්තටම ෆිල්ම් සීරීස් එක ඉවර වෙන්නේත් වුල්වරීන්ගෙන් තමයි. අපි වුල්වරීන්ට සෑහෙන්න බැඳෙන්නෙත් මේ ෆිල්ම් සීරීස් එකත් එක්ක තමයි.

 

5. X-men වුල්වරීන් ෆිල්ම් ත්‍රිත්වය

X-men පළවෙනි ෆිල්ම්ස් තුනෙන් ප්‍රධාන චරිතයක් විදියට ගේන වුල්වරීන්ව මේ ෆිල්ම් ට්‍රිලොජි එකෙන් සම්පූර්ණයෙන්ම වගේ නිර්වචනය කරනවා. මේ ෆිල්ම් ට්‍රිලොජි එකට අයිති වෙන්නේ X-Men Origins: Wolverine (2009), The Wolverine (2013) සහ Logan (2017) කියන ෆිල්ම්ස් තුන. මේ පළවෙනි ෆිල්ම් එකෙන් වුල්වරීන්ගේ ආරම්භය සහ වුල්වරීන්ට ඇඩමැන්ටියම් සැකිල්ලක් ලැබීමත් කතා කරනවා. හැබැයි වුල්වරීන් අන්තිම ෆිල්ම් එක නම් වුල්වරීන් ෆෑන්ස් ලට දුක හිතෙන අවසානයක් තමයි ගේන්නේ.  එතකොට මේ සීරීස් එකේ දෙවෙනි ෆිල්ම් එක අර කලින් කතා කරපු ඔරිජිනල් X-Men ත්‍රිත්වයට සම්බන්ධකමක් ලබාදෙනවා විතරක් නෙවෙයි, ඊලඟට අපි කතා කරන X-Men ආරම්භක ෆිල්ම් සෙට් එකේ X-Men: Days of Future Past චිත්‍රපටියටත් ආරම්භයක් ලබාදෙනවා.

 

6. X-men ආරම්භක ෆිල්ම්ස් හතර

මේ ෆිල්ම් සෙට් එක පටන් ගන්නේම X-men ටීම් එක ආරම්භ වෙන්නේ කොහොමද කියන එකත්, මිස්ටීක් සහ ප්‍රොෆෙසර් එක්ස් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකත්, ප්‍රොෆෙසර් එක්ස් සහ මැග්නීටෝ අතර පැරණි මිත්‍රත්වය ඇතිවෙන්නේ කොහොමද කියන එකත් පෙන්වලා දෙමින් තමයි. එතනදී අපිට පේනවා පස්සෙ කාලෙක එකිනෙකා එක්ක ගැටුණත්, ඒ ගැටුම් අතර පවා තමන්ගේ මිත්‍රත්වය ප්‍රොෆෙසර් එක්සේවියර් සහ මැග්නීටෝ හෙවත් එරික් අතර පවතින්නේ කොහොමද කියන එකත්. ඒ වගේම, X-men විශ්වයේ විකල්ප කාල රේඛාවක් නිර්මාණය කරන මේ ෆිල්ම්ස් හතරේ දෙවෙනි ෆිල්ම් එකෙන්ම පෙන්නලා දෙනවා කොහොමද ඒ විකල්ප කාල රේඛාව ඇතිවෙන්නේ කියන එකත්. ඒ නිසා, අර X-men පළවෙනි ෆිල්ම් ට්‍රිලොජි එකේදී අහිමි වෙන අය ගැන අපිට දුක් වෙන්න දෙයක් නැතිවෙනවා.

හැබැයි මේ ෆිල්ම් සීරීස් එක අර කලින් ඒවටත් වඩා සමහරුන්ට නම් සීරියස් කියලා තමයි අහන්න ලැබෙන්නේ. මේ සෙට් එකට X-Men: First Class (2011), X-Men: Days of Future Past (2014), X-Men: Apocalypse (2016) සහ Dark Phoenix (2019) කියන ෆිල්ම්ස් තමයි අයිති වෙන්නේ.

 

7. X-men වෙන වෙන ෆිල්ම්ස්

X-men විශ්වයම පදනම් කරගත්තු වෙනත් ෆිල්ම්ස් එහෙමත් ඇවිත් තියෙනවා ඒකෙන් ජනප්‍රියම ෆිල්ම්ස් දෙක තමයි Deadpool (2016) සහ Deadpool 2 (2018) ෆිල්ම්ස් දෙක. සම්පූර්ණයෙන්ම කොමඩි සහ ඇක්ෂන් ලයින් එකකින් යන මේ ෆිල්ම්ස් දෙකේදී, අපිට මුලින්ම මතක් වෙනවා අර X-Men Origins: Wolverine (2009) එකේ දකින්න ලැබෙන ඩෙඩ්පූල්ව. හැබැයි ආතල් එක කියන්නේ, ඒ වෙන ටයිම් ලයින් එකක ඉන්න වෙන ඩෙඩ්පූල් කෙනෙක්ය කියන එකත් මේ ෆිල්ම් දෙක ඇතුලෙම නිර්මාණය කරන එක. ඒ වගේම, මේකේ X-men ලාගේ මූලස්ථානය වෙන ප්‍රොෆෙසර් එක්ස්ගේ මන්දිරය එහෙම පෙන්නුවට, නෙගසොනික් ටීනේජ් වෝර්හෙඩ් සහ කොලෝසස් ඇරෙන්න වෙන X-men චරිත එකක්වත් පෙන්නන්නෙ නෑ. ඒකට බජට් නෑ කියලත් ෆිල්ම් එකේම කියනවා!

 

ඒ ඇරෙන්න X-men විශ්වය පාදක කරගෙන ආපු තව ෆිල්ම් එකක් තමයි The New Mutants (2020) කියන්නෙත්. එහෙමට කියන්න තරම් අවුලක් නැතත්, මේ ෆිල්ම් එක අනික් X-men එව්වා තරම් නැගලා යන්නෙ නෑ.

 

8. X-men අනික් එක එක මීඩියා වල

අපි මේ ආටිකල් එක ඇතුළේ X-men අතීතය ගැන පොඩ්ඩක් සඳහන් කළත්, X-men මූලාරම්භය වුණු X-men කොමික්ස් ගැන කතා කරන්නෙ නෑ. මොකද, ඒ ගැන කතා කරන්න ගියොත් වෙනම ආටිකල් දහයක් විතර ලියන්න සිද්ධ වෙන නිසා. හැබැයි අපි අමතක කරන්න නරකයි X-men වීඩියෝ ගේම්ස් සහ X-men පොත් පවා ඇවිත් තියෙන බව. පළවෙනි X-men වීඩියෝ ගේම් එක එන්නේ X-men ෆිල්ම්ස් එහෙම හදන්න හිතලවත් නැති කාලෙක, 1989 කාලේදී වගේ. ඊට පස්සේ X-men වීඩියෝ ගේම්ස් ගණනාවක් ආවත්, ඇත්තටම එහෙම ලොකුවට සඳහන් කරන්න තරම් අතිවිශේෂ X-men ගේම්ස් හැදෙන්නෙ නෑ. ඒකත් පුදුමයි ඇත්තටම.

X-men පොත් ගැන කිවුවොත්, X-men පොත් හතළිස් ගාණක් වගේ ඇවිත් තියෙනවා. හැබැයි මේවා එන්නේ අර X-men කොමික් වලට පරිබාහිරව හරිද. 

 

දැන් ඇයි මෙව්වා කිව්වේ? සරලයි. X-men ලට තාමත් ආස අපි වගේ අය ඕනතරම් ඉන්නවා. ආන්න ඒ අයට ආයෙමත් මේ ෆිල්ම්ස්, ඇනිමේෂන්, කාටූන් හොයාගෙන බලලා මොහොතකට අතීතෙට ගිහින් එන්න පුළුවන්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *