නිකමට හිතන්න ඔයා කාගෙන්හරි “කොල්ලොද කෙල්ලොද වැඩිපුර ලස්සන?” කියලා ඇහුවොත් 99.9999% ක් ලැබෙන්න පුළුවන් උත්තරේ ඉතින් “කෙල්ලෝ” කියලා තමයි. “කෙල්ලොත්’ හිතන් ඉන්නවා එයාලා හෙණ ලස්සනයි කියලා. ඒ වගේම අපේ සමාජයෙත් මුල් බැස ගත්ත මතය තමයි කොල්ලන්ගේ “ලස්සන” වැදගත් නෑ හැඩිදැඩි වෙන්න ඕන සහ කෙල්ලෝ අනිවාර්යයෙන්ම “ලස්සන” වෙන්න ඕන කියලා. හැබැයි මේ ලස්සන කියන්නෙත් සාපේක්ෂ දෙයක්. සමාජයෙන් සමාජයට කාලෙන් කාලෙට “ලස්සන” කියලා හිතන දේවල් වෙනස් වෙලා තියෙනවා. මේ මිනිස් ලෝකේ කතාව. හැබැයි සත්ව ලෝකෙදි මේ කතාව වෙනස් වෙනවා. කෙල්ලන්ට වඩා කොල්ලෝ ලස්සන වෙලා ඉන්න අවස්ථා වැඩියි. දැන් ඔයා හිතයි ගෙදර බලාගන්න බව්වගෙයි එයාගේ කෙල්ලගෙයි ලොකු වෙනසක් නෑනේ, පූස් හාමිගෙයි මිසිස් පූස් හාමිගෙයිත් ලොකු වෙනසක් නෑනේ කියලා. ඔව් ඔයා හිතපු දේ ඇත්ත. හැබැයි එයාලා ඇරුණම තවත් සත්තු මේ ලෝකේ ඉන්නවා කියලා මතක් කරගෙන මේ ලිපිය කියවන්න. අන්තිම වෙනකන් කියවද්දි ඔයාටම තේරෙයි “කොල්ලෝ තමයි ලස්සන” කියලා.
ප.ලි: හැබැයි එහෙම හිතුවයි කියලා සබ්ජෙක්ට් මාරු කරගන්න නම් එපා, ඒවලට අපිට වග කියන්න බෑ.
1. මොනරා

Image Source – wikipedia.org
මොනරා කියන්නේ ලස්සන නිසාම අපේ රටේ අතිශය ජනප්‍රිය වුණ සතෙක්. මොනරා පිල් විදහාගෙන නටද්දි කොහොමද ගැම්ම. එහෙම නටද්දි මොකද්ද එළියේ කියලා සමහරු කුප්ප කතා කියනවා. ඒවා බලන්න යන්නේ මොකටද අප්පා දෙයියනේ කියලා උගේ ලස්සන බලන්නේ නැතුව. දෙයියනේ කිව්වම මතක් වුණේ මොනරා කියන්නේ අපේ කතරගම දෙයියන්ගෙත් වාහනේ. මොනරා ලස්සන වුණාට අපේ අය මොනරගේ හඬ සලකන්නේ මූසල හඬක් විදිහට. සමහරු කියන විදිහට නයින්ගේ බිත්තර පුපුරනවලු ඒ සද්දෙට. හැබැයි මොනරා කෑගහන්නේ වැස්ස ළං වුණාම කියලත් කතාවක් තියෙනවා. ඒ වගේම මොනරා තමන්ගේ සහකාරිය ඒ කිව්වේ සෙබඩ එක්ක රති කෙළියේ යෙදෙන්නෙත් වැස්ස කාලෙටලු. හැබැයි මිත්‍රවරුනි සෙබඩ නම් මොනරා වගේ ලස්සන නෑ. කොටින්ම කියනවා නම් මෙලෝ රහක් නෑ.
2. සිංහයා

Image Source – what-your-sign.com
අපි පැවතගෙන එන්නේ සිංහයෙක්ගෙන් කියලායි අපේ රටේ වැඩිදෙනෙක් විශ්වාස කරන්නේ. අපේ කොඩියෙත් ඉන්නේ සිංහයෙක්. ඒ වුණාට අපේ රටේ සිංහයෝ නෑ දැනට. සමහර මතවලට අනුව අවුරුදු දසදහස් ගණනකට කලින් ලංකාවේ සිංහයෝ ඉඳලා තියෙනවා. හැබැයි ලංකාවේ නැතිවුණාට සිංහයෝ වෙන රටවල්වල ඉන්නවා. විශේෂයෙන් අප්‍රිකා මහද්වීපය ආශ්‍රිතව. සිංහයාට කියන සමාන පදයක් තමයි “කෙසරිඳු”. සිංහයගේ මූණ වටේ තියෙන “කේසර” විදිහට හඳුන්වන ලෝම ගැන සඳහන් කරලා තමයි ඒ සමාන පදේ හැදිලා තියෙන්නේ. මේ කේසර නිසාම සිංහයට ගාම්භීර පෙනුමක් වගේම ලස්සනකුත් ලැබිලා තියෙනවා. ඒ වුණාට කියන්න කණගාටුයි සිංහ ධේනුව නම් ඒ වගේ කිසිම කැපිලා පේන ගතියකට නෑ.
3. මැන්ඩරීන් තාරාවා

Image Source -abc7chicago.com
මෙයාලා චීනය, ජපානය, කොරියාව වගේ රටවල ජනප්‍රිය කුරුල්ලෝ විශේෂයක්. චීන භාෂාවෙන් ආදරෙන් කපල් එකක් ගැන කියද්දී කියන්නේ “එයාලා දෙන්නා මැන්ඩරීන් තාරාවෝ” දෙන්නෙක් වගේ කියලා. මොකද කියනවා නම් මැන්ඩරීන් තාරාවෝ ඉතාමත් ආදරෙන් ඉන්න සත්තු. හැබැයි මෙහෙමයි, මැන්ඩරින් තාරාවන්ගෙන් පිරිමි සතා දැක්කම හිතෙන්නේ මොකට මේ වගේ ලස්සන කොල්ලෙක් කිසිම ලස්සනක් නැති කෙල්ලෙක්ට කැමැති වුණාද කියලා. හැබැයි මනුස්ස ලෝකේ වගේම කෙල්ලෝ කොච්චර කැත වුණත් කොල්ලා බොක්කෙන්ම ආදරේ කරනවා කියලයි මැන්ඩරින් පිරිමි තාරාවා අපිට කියන්නේ.
4. ඔරංඔටං

Image Source -nationalzoo.si.edu
ඔයාටත් කවුරුහරි ඔරංඔටං කියලා තියෙනවා නම් ඔයා තේරුම් ගන්න ඕන ඔයා, ඔයාගේ කෙල්ලට වඩා ලස්සනයි කියලා. මොකද පිරිමි ඔරංඔටං කෙනෙක්ගේ කම්මුල විශාල විදිහට වැඩෙනවා වගේම ඒ හින්දම පිරිමි ඔරංඔටංට ගෑණු ඔරංඔටංට වඩා ලස්සන පෙනුමක් ලැබෙනවා. ඔරංඔටං රංචුවක ප්‍රධානත්වය ලැබෙන්නේ ලොකුම කම්මුල් තියෙන ඔරංඔටංට. ඉතින් අපි කලින් කිව්වා වගේ කවුරුහරි ඔයාට ඔරංඔටං කිව්වොත් ඔයා ඔයාගෙ කෙල්ලව දැනුවත් කරන්න මේ ගැන. එයා බලාගනියි එයාට අපහාස කරපු කෙනා ගැන.
5. වළි කුකුළා

Image Source -blogger.com
අපේ රටේ ජාතික පක්ෂියා කවුද කියලා ඇහුවානම් ඕන පොඩි එකෙක් කියන්නේ “වළි කුකුළා” කියලා. පහුගිය දවස්වල පාර්ලිමේන්තුව ගැන හිතද්දිත් හිතෙන්නේ ජාතික පක්ෂියා තෝරපු කෙනා නම් හරිම තේරීම කරලා තියෙනවා කියලා. ඒ කතාබතා පැත්තක තියමුකෝ. වළි කුකුළා කියලත් වෙනසක් නෑ, අර ප්‍රශ්නෙම තමයි. කොල්ලාගේ බලන්න එපැයි ලස්සන. ඒත් කෙල්ල තමයි පොඩ්ඩක් අවුල්. එක අතකට උන් දෙන්නා කැමැති නම් අපිටත් මොකෝ නේහ්? ඒත් කියන්නම ඕන දෙයක් තියෙනවා, ඒ තමයි වළි කිකිළියගේ ඒ වර්ණ සහ හැඩය හින්දම බිත්තර රැකබලාගනිද්දි සතුරන්ට අඳුනගන්න අපහසු වෙනවා. අන්න ඒක ඉතාමත් වැදගත් වාසියක්.
6. ඔරේන්ජ් ටිප් බටර්ෆ්ලයි

Image Source -en.wikipedia.org
මේ සමනලයෙක්,සමනල්ලු කිව්වම ඔයාට වෙන වෙන අයව මතක් වෙන්න පුළුවන්. ඒත් මෙයා මල් පැණි බොන, පියාඹන සමනලයෙක් මෙයා වැඩිපුර යුරෝපයේ හිටියට ආසියා කලාපයෙත් සැරිසරනවා. මෙයාලගේ නමෙන්ම කියන විදිහට පියාපත්වල තුඩු අග තැඹිලි පාට පැල්ලමක් වගේ කොටසක් තියෙනවා. ඒත් මෙයාගේ කෙල්ලට නම් එහෙම කිසිම ආකර්ෂණීය පෙනුමක් නෑ, හරියට සුදු පාට බිත්තියක දිය සෙවල පැල්ලම් බැඳිලා වගේ.
7. එලිෆන්ට් සීල්

Image Source -jaymiheimbuch.com
සීල්ලා ගැන දන්නවනේ, අපි පොඩි කාලේ බලපු කාටුන්වලත් හිටියේ. මේ සීල්ලා අතරින් එලිෆන්ට් සීල්ලා විශේෂයි. නමෙන්ම කියනවා වගේ මෙයාලා “අලි සීල්ලා”. මේ ශරීරයෙන් විශාල සීල්ලාගේ පිරිමි සතාට ලොකු සහ උස්ව පිහිටුණු නාසයක් තියෙනවා. මේ නාසය නිසා එයාට කෙල්ලෝ පස්සෙන් යන කාලෙට කෙල්ලක්ව ආකර්ෂණය කරගන්න තියුණු ශබ්දයක් ඇති කරන්න පුළුවන්. මේ නාසය හින්දම කොල්ලා ලස්සන වෙලා තියෙනවා. කෙල්ල නම් එච්චර ලස්සන වෙලා නෑ.
මේ ලස්සන පිරිමි සත්තුන්ට ස්වභාවධර්මයෙන් ලබා දීලා තියෙන්නේ තමන්ගේ වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගන්න ගෑණු සතුන්ව ආකර්ෂණය කරගන්න. හොඳයි දැන් ඔයාලා දැනගත්තනේ “කොල්ලො තමයි ලස්සන” කියලා. නිකන් ඉන්න එපා ඒ බව කෙල්ලන්ට දැනගන්නත් එක්ක ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්න, වට්ස් ඇප් ගෘප්වල ෂෙයාර් කරන්න, හැමතැනම ෂෙයාර් කරන්න.
Leave a Reply