දවසින් දවස අහස උසට ඉහළ යන බඩු මිල, පොඩි දරුවන්ගේ ආරක්ෂාව ගැන අද තියෙන ප්‍රශ්න, දරුවන්ගේ අධ්‍යාපනය එක්ක ගෘහණිය කියන්නේ අද දවසේ හරිම කාර්යබහුල කෙනෙක්. රැකියාවකට යන ගෘහණියන්ගේ තත්ත්වය අපිට පේන්නම තියෙද්දී රැකියාවක් නොකළත් ගෙදර දොර බලාගන්න ඇය ඊටත් වඩා කාර්‍යබහුලයි වෙලාවකට බැලුවම. කොහොම උනත් රැකියා කරන නොකරන දෙගොල්ලොම උපරිමයෙන් මහන්සි වෙන්නේ තමන්ගේ සැමියට, දූ දරුවන්ට, ගෙදරට යන එන හිතවතුන්ට ඉතාම ප්‍රියමනාප තැනක් විදිහට තමන්ගේ පුංචි මාලිගාව හැඩ වැඩට පිළිවෙලට පවත්වා ගන්නනේ. පිළිවෙලට වගේම අරපිරිමැස්මට ගෙදර වැඩ කරගන්න අන්න ඒ හැමෝටම මේ කාරණා හුඟක් වැදගත් වෙයි.
1. අනවශ්‍ය ලට්ට ලොට්ට
අපේ අම්මලාගේ, ආච්චිලාගේ පරම්පරාවල ඉඳන් අද අපේ පරම්පරාව වෙනකන්ම තියෙන නරක පුරුද්දක් තමයි මේ අනවශ්‍ය දේවල් ගේ පුරාම ගොඩ ගහගන්න එක. නිකමට වටේ පිටේ බලන්න ඔය ඉන්න ගමන්ම. පරණ කැඩිච්ච සපත්තු, කුඩ, හිස් බීම බෝතල්, පරණ ලිපිද්‍රව්‍ය ඕන තරම් තියෙනවා නේද අස් කරන්න කම්මැලිකමට හරි, විසි කරන්න ලෝභ කමට හරි අහුමුළු වල ගොඩගහල? අන්න ඒවා තමයි ගෙදරක පිළිවෙල මුලින්ම විනාශ කරන අනවශ්‍ය කුණු ගොඩවල්. අර ජපනා හපනා කරපු එස් 5 සංකල්පයේ උනත් මුලින්ම කියන්නේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න කියලයි. ඉතින් මුලින්ම බලන්න ඕනෙ මෙන්න මේ කාරණාව.
නිවාඩු දවසක් එහෙම්පිටින්ම වෙන් කරගන්න ගෙදර අනවශ්‍ය කුණු ගොඩවල් අස්කරගන්න. අද හෙට, එහෙම නැත්තම් අපිට තව මාස 6ක් ඇතුළත අවශ්‍ය නොවෙන, එහෙමත් නැත්තම් පහුගිය අවුරුද්දක් ඇතුළත පාවිච්චි නොවුන ඔක්කොම අත්‍යාවශ්‍ය නොවෙන දේවල්. මේවගෙනුත් විසිකරලම දාන්න පුළුවන් කුණු ගොඩවල් වර්ගය අනුව වෙන්කරල කුණු ලොරියට යවන්න. අත්‍යවශ්‍යම ලිපි ද්‍රව්‍ය ඒ කිව්වේ බිල් වර්ග වගේ ඒවා පිළිවෙලකට ෆයිල් කරලා අනවශ්‍ය පාවිච්චි කරපු පොත්, පරණ විෂය පොත් වගේ ඒවා අයින් කරන්න. කාටහරි ඕනවෙන දරුවෙක්ට දෙන්න.
පස්සේ ඕනෑවෙයි කියලා හිතෙන ලෝභකමෙන් මිදුනම අනවශ්‍ය කුණු ගොඩවල් වලින් නිදහස් වෙන එක හරිම ලේසි වැඩක්. මේ දේවල් අයින් කරගත්ත කියන්නේ ගෙදර පිළිවෙලින් බාගයක්ම හදාගෙන ඉවරයි දැන් අපි.
2. ගෙදරක හදවත
ඔන්න ඊළඟට යන්නේ ඕනේ හදවත හොයාගෙන. ගෙදරක හදවත කියන්නේ කුස්සිය. ගෙදරක වැඩිපුරම පාවිච්චි වෙන, වැඩිපුරම හැඩිවෙන තැන තමයි කුස්සිය. ඒකෙත් අයිතිකාරයා තමයි ගෘහණිය. කුස්සිය පිළිවෙලයි කියන්නේ ගෘහණියගේ හිතට පුදුම නිදහසක්.
ගෙදරක අනිත් හැමතැනකටම වඩා කුස්සියේ හැම අස්සක් මුල්ලක්ම හරිම වැදගත්. කුස්සියේ තනියම වැඩ පටන් ගත්ත දවසේ ඉඳලම උයල ඉවරවෙනකොටම කුස්සිය අස්කරගන්න පුරුදු වෙන්න. එළවලු, ළූණු කපද්දී එකපාර කපල ව්‍යංජන අනුව භාජන වලට දාගන්න. එතකොට එකපාරම කපන පිහිය ලෑල්ල හෝදලා අයින් කරන්න පුළුවන්. කපන එළවලු වල පොතු එහෙම දාන්න ඒ ලඟින්ම වෙනම භාජනයක් තියාගන්න. එතකොට ඒ අස් කිරීමත් එතැනින්ම ඉවරයි. තුනපහ මිරිස් බෝතල් ගත්තු ගමන්ම ගත්තු තැනින්ම තියන්න පුරුදු වෙන්න. ගෑස් ලිප දිනපතා උයල ඉවර උන ගමන්ම පිහදාල අස් කරන්න. නැත්තම් පස්සේ වතුරට ඉඳුල් වලට මලකඩ බැඳෙන්න පුළුවන්.
ඔන්න ඊළඟට දවස ඉවර කරන්න කලින් කොච්චර මහන්සි උණත් පුංචි වෙලාවක් අරන් ඉඳුල් භාජනයි සින්ක් එකයි හෝදලම දවස ඉවර කරන්න. ඒකෙ පහසුව දැනෙන්නේ පහුවදා උදේට තමයි.
3. නාන කාමරය
මේ තමයි ගෙදරක ඊළඟට ඉක්මනටම අපිරිසිදු වෙන තැන. ඒ වගේම විසබීජ ගොඩගැහිල ලෙඩරෝග පතුරවන්න පුළුවන් තැන. කොච්චර වැඩ තිබුනත් දිනපතා නින්දට යන්න කලින් විනාඩි 15ක් 20ක් අරගෙන බාත්රූම් එක හෝදන එක පුරුද්දක් කරගන්න. ඒකට අවශ්‍ය සෝදන දියර වර්ග, විෂබීජනාශක, එයාෆ්රෙශ්නර්ස් කියන හැමදේම බාත්රූම් එක ඇතුළෙම තියාගන්න. රෑ මහන්සි වෙලාවට ඒව හොය හොය ගේ වටේ දුවනවට වඩා එක ලේසියි.
සතියකට සැරයක් අනිවාර්යයෙන්ම බාත්රූම් එකේ ටයිල් බිත්ති, දොරවල් වගේ තැන් හොඳින් පිහදාල හෝදන්න. අපි වැඩිය නොහිතුවට කුණු බැඳුණු බිත්ති වලින් ලොකූ අපිළිවෙලක් එකතුවෙනවා බාත්රූම් එකට.
4. අස්කරන කාලසටහන්
ගෙදර අස්කරන වගකීම ප්‍රධානව ගෘහණියගේ උනාට අස්කරන රාජකාරිය හැමෝටම අයිතියි. හැමෝම හැඩිකරනවනම් අස් කරන්නත් එපැයි නේද? ඒ නිසා බය නැතුව ගෙදර අස් කරන වැඩ හැමෝටම බෙදල දෙන්න. කුස්සියයි, බාත්රූම් එකයි ඔන්න අපි අම්මගේ නැත්තම් ගෘහණියගේ කරටම දැම්මනේ. ඒ කියන්නේ වැඩිම කොටස එයාගෙ. ඊළඟට තියෙන්නෙ පොඩි පොඩි දේවල්. කාමර ඒ ඒ අයිතිකාරයන්ට, සාලය තව කාටහරි විදිහට අස් කරන්න බෙදල දෙන්න. ඒකට වෙලාවකුත් වෙන් කරන්න. හැමෝම රෑ එකම වෙලාවට අස් කරනව. මුලින් චුරු චුරු ගෑවට පිළිවෙලට පුරුදු උනාම එයාලටත් නොකර බැරිවෙයි. නැත්තම් හැඩිකරන්න විතරක් පුරුදු උණාමත් බැහැනේ. පොඩි ළමයින්ටනම් මුලින් මුලින් මේක හුරු කරන්න පොඩි සන්තෝසමක් දෙන්න. රස කෑමක්, සති අන්තේ පොඩි ගමනක් වගේ.
5. පිළිවෙල පවත්වාගෙන යන්න
ඔන්න ඊළඟට අර අස් කරපු ඔක්කොම පවත්වාගෙන යන්න ඕන. අන්න ඒකට දිනපතා වැඩට අමතරව සති අන්තයේ පැයක් දෙකක් වැය කරන්නම වෙනවා. කුස්සියේ තුනපහ බෝතල් හෝදන්න, කොට්ට මෙට්ට අව්වට දාන්න, බාත්රූම් එකේ බිත්ති හෝදන්න, වත්තේ තණකොළ ගලවන්න, කුණු රොඩු අයින් කරන්න වගේ සති අන්තේ වැඩ ඕනතරම්. මතක ඇතුව පොඩි සන්තෝසමක් දීල ගෙදර හැමෝම මේ වැඩ වලට එකතු කරගන්න. පවුලේ සමඟිය සහයෝගය වැඩිවෙන්නත් එකතුවෙලා වැඩ කරන එක ලොකු උදව්වක්.
6. මාසෙ බඩු ලිස්ට් එක
ඊළඟට යන්නේ අරපිරිමැස්ම ගැන කතා කරන්න. හුඟක් ගෙවල් වල මුදල් හොයන එක තාත්තගේ රාජකාරිය උනාට ඒ මුදල් පාලනය වෙන්නේ අම්මලාගේ අතින්. ඉතින් මෙතැනදී හරි සැලසුමකට වැඩ නොකළොත් මාසෙ අන්තිමට කාලත් හමාරයි. බැඳපු අලුත සැලසුමකට බඩු ගන්න තියා මාසෙට කන්න ඕන බඩු ප්‍රමාණ ගැනවත් අපිට අවබෝධයක් නැහැ තමයි. හැබැයි ටික ටිකනෙ ඉගෙන ගන්න ඕනෙ. කාලයක් යද්දි ඒ ගැන ඇස් පියාගෙන කියන්න පුළුවන් අවබෝධයක් එනවා. හැම වෙලාවේම එකපාර බඩු ගන්න එක පුරුද්දක් කරගන්න. ඒක හැම අතින්ම වාසියි. ලොකු ප්‍රමාණ ගනිද්දී ඩිස්කවුන්ට් ලැබෙන්න පුළුවන්. මාසෙ මැදදී හදිසි වියදමක් ඇවිත් අතේ සල්ලි වියදම් උනත් කලින් මාසෙටම බඩු ගෙනත් නිසා අවුලක් නැහැ. අනික දැන් තියෙන තත්ත්වයත් එක්ක හදිසි ඇඳිරි නීතියක් වගේ වැටුනත් කන්න බොන්න අඩුවක් වෙන්නෙ නැහැ.
හැබැයි මේ කෝකටත් කලින් තමන්ට මාසෙට අතට ලැබෙන මුදල හරියට බජට් කරගන්න. ඒ ඒ වියදම් වලට අවශ්‍ය ගානට මුදල් වෙන් කරගන්න. ගෙවල් කුලී, බිල් වර්ග, පාසල් ගාස්තු, ලෙඩරෝග වලට වෙනම, බස් ගාස්තු විදිහට ඒ මාසෙට එන්න පුළුවන් වියදම් කලින්ම තීරණය කරලා බජට් එකක් හදාගන්න. නැත්තම් අතේ සල්ලි මොනවට වියදම් උනාද කියල අපිවත් දන්නෙ නැහැ.
7. ගෙදර හැමෝගෙම සෞඛ්‍ය
අන්තිමට කතා කළත් මේකත් බොහොම වැදගත් කාරණයක්. ගෙදර හැමෝගෙම සෞඛ්‍ය ගැන වගකීම තියෙන්නේ ගෘහණියගේ අතේ, අම්මගේ අතේ. ඉතින් ගෙදර පිළිවෙල වගේම කන බොන දේවල් වල පිළිවෙල ගැන පවා ලොකු අවධානයක් දෙන්න ඕන. හැමවෙලාවෙම සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන දැනගෙන ඉන්න එක, ඒවා තෝරාගන්න එක විතරක් නෙමෙයි සැර කෑමක් කෑවම සීතල දේකින් ඒක බැලන්ස් කරන එක වගේ කන්න බොන්න දෙන එකත් වෙනමම කලාවක්. දවාලට ඉස්සෝ කන්න දුන්නොතින් ඩෙසට් එකට සව් පුඩිමක්, නැත්තම් හවසට සව් කැඳ කෝප්පයක් වගේ බොන්න දීලා ගෙදර හැමෝම හොඳ සනීපෙන් තියාගන්න එකත් පිළිවෙල, අරපිරිමැස්ම තරම්ම වැදගත්.
Leave a Reply