අන්තර්ජාලය කියන්නේත් දැන් හොඳ රේස් එකක්. මිනිස්සු අන්තර්ජාලය තුළ ජනප්‍රිය වෙන්නට නොකරන දෙයක් නැහැ. සාමාන්‍ය මාධ්‍යවලදී වැඩිපුර හමු නොවුණ දේවල් පවා අන්තර්ජාලයේ කිසිම අමාරුවක් නැතුව දැන් සොයාගන්නට පුළුවන්. ඉතින් මේ අන්තර්ජාලයේ ඔබට ගෙදරම කරගන්න පුළුවන් දේවල් (Do it yourself) විදිහට දක්වන ඇතැම් දේවල තියෙන සෞඛ්‍යමය අවදානම සුළුපටු නැහැ. අපි එවන් අවදානම් අවස්ථා කිහිපයක් ගැන විමසා බලමු.
1. පැරණි දේ අලුත්වැඩියා කිරීම
පරණ කාමරයක්, තැනක් ලැබුණාම අපි ඒක අලුත්වැඩියා කරගන්නවා. දැන් යූ ටියුබ් තියෙන නිසා ඒ තැන තියෙන ලී බඩු පාට කරලා, ඒ තැන්වල පැරණි තීන්ත ආදිය ඉවත්කරලා අපි ඒ තැන අලුත් විදිහට සකසා ගන්නවා. දැන් ඒ විදිහේ වැඩ කරද්දි අපි අද පාවිච්චි කරන තීන්ත සහ ආලේපන බොහොමයක පැරණි තීන්ත වල තිබුණු බැර ලෝහ ආදිය නැහැ. ඒත් පැරණි තීන්ත වර්ග, පැරණි ආලේපන වල තියෙන ඒ තීන්ත කොටස් වල බැර ලෝහ සහ වෙනත් සිරුරට අහිතකර දේවල් තියෙන්නට පුළුවනි. එය සිරුරට අහිතකර ලෙස බලපාන්නත් ඉඩකඩ තියෙනවා.
2. නාසයට, පෙනහළු වලට අහිතකර ලී වැඩ
ලී වැඩ වෘත්තීය වශයෙන් කරන අය අනිවාර්යයෙන් මුඛවාඩම් සහ ෆේස් ෂීල්ඩ්ස් පාවිච්චි කරන්නට ඕනා. මොකද ඒ ලීකුඩු අපේ පෙනහළු සහ ශ්වසන පද්ධතියට කරන්න පුළුවන් හානිය විශාලයි. ඒ වගේම ලීකුඩු වලට ආසාත්මිකතා ආදියත් ඇතිවන්නට පුළුවන්. ඉතින් අන්තර්ජාලයේ තියෙන මෝස්තරයට ගෙදරම වැඩක් කරගන්න මැෂින් සෙට් එකත් අරගෙන ලෑස්ති වෙනවා වගේම අපි අපේ ආරක්ෂාව ගැන හිතලා ඒ ආවරණ ආදිය පළඳින්නටත් උනන්දු වෙන්නට ඕනි.
3. වගා වලට කෘමිනාශක වල් නාශක යෙදීම
වෘත්තීය වශයෙන් වගා කරන උදවියත් ලංකාවේදි නම් එච්චරම ආවරණ ගැන උනන්දු නැහැ. කෘමිනාශක, වල් නාශක පොහොර ආදිය යොදන විටත් ඒවායෙන් සිරුර ආරක්ෂා කරගන්න අපිට උත්සාහ කරන්නට ඕනි. කුඩා ඇන්තූරියම් ආදී මල් වගාවන්ට වුණත් යොදන කෘමිනාශක, දිලීර නාශක ආදිය තියෙනවා. ඒවා නොයොදා ඇතැම්විට වගාව දිගටම කරගෙන යන්න අපහසුයි. පොහොර සහ දියර වර්ග ඉසින්නට කියා අන්තර්ජාලයේ තිබුණත් ඒවා නිසි ආරක්ෂිත වටපිටාවක් යටතේ කිරීම වඩාත් යෝග්‍ය වෙනවා.
4. අපිම ලෙඩ බලනවා… අපිම බේත් ගන්නවා
අපිට ලෙඩක් තියෙනවා කියලා අපි කිව්වට පමණක් දොස්තර මහත්මයෙක් බෙහෙත් නියම කරන්නේ නැහැ. ඔහු ඔහුගේ දැනුම සහ පළපුරුද්ද අනුව අපිව පරීක්ෂා කරලා බලනවා. ඒ කරලා ඔහුට ලෙඩේ ගැන තීරණයකට එන්නට බැරි නම් රුධිර පරීක්ෂා කිරීම්, ප්‍රෙෂර් බැලීම්, ස්කෑන් කිරීම් ආදී පරීක්ෂණ වලට යනවා. ලෙඩක් කාලාන්තරයක් තිස්සේ තියෙන කෙනෙක්ට වුණත් දොස්තර මහත්වරු පරීක්ෂා කරලා තමයි ඔසු නියම කරන්නේ. අන්තර්ජාලයේ පැතිරීමත් එක්ක ලෙඩ රෝග සහ බේත් හේත් ගැනත් විස්තර තියෙන තැන් ගොඩක් තියෙනවා. කොපමණ තේරුම් යන විදිහට තිබුණත් ඒ තොරතුරු බලලා අපි බෙහෙත් නියම කරගන්න එක කිසිසේත්ම සෞඛ්‍යය පැත්තෙන් හොඳ වැඩක් නෙමෙයි.
5. වෙබ් අඩවි සහ වීඩියෝ බලලා අපිම එක්සයිස් කරනවා
ගෙදර ගෙනත් විනාඩි ගාණක් එක්සයිස් කරලා ඇඟ ලස්සන කරගන්න ආකර්ෂණීය යන්ත්‍ර සුත්‍ර තියෙනවා. ඇඟ ලස්සන කරගැනීමත් හුදෙක් ව්‍යායාමම නෙමෙයි. එතනින් එහා ගිය ආහාර පාලනය, සෞඛ්‍ය තත්ත්වය ආදී අංශ ගණනාවක් සිරුර නිරෝගීව පවත්වාගන්න අපිට උදව් වෙනවා. ඇතැම් ව්‍යායාම ආදිය අන්තර්ජාලයේ වීඩියෝ වල තිබුණත් ඒවා අපිට උගන්වන අය ව්‍යායාම ආදිය ගැන හොඳින්ම දැනුවත්ද? ඔවුන් කියන දේ අනුව අපි නිසිපරිදි ව්‍යායාම කරනවාද කියා දැනගන්නට අපිට තියෙන්නේ අඩු ඉඩක්. අන්තර්ජාල වීඩියෝ දෙස බලා වැරදි ඉරියව් වලින් දිගු කලක් ව්‍යායාම කළොත් එන සමහර ආබාධ මගහරවාගන්නට අපට ව්‍යායාම කළාටත් වඩා ලොකුවට මහන්සි වෙන්න වනවා. ඒ නිසා සරළ ඇඟ උණුසුම් ව්‍යායාම හැර තදබල යෝගා සහ එවැනි ව්‍යායාම ආදියේදී අන්තර්ජාලය මත පමණක් යැපීම සෞඛ්‍ය අවදානම වැඩි කරනවා.
6. ටැටූ ගැසීම
පසුගිය කාලේ බටහිර රටවල මේ කොරෝනා නිසා ටැටූ ගැසීම වැනි කටයුතු වලට බාධා වුණා. ඒ එක්ක අපිටම ගෙදර ඉඳන් කිට් එකක් ගෙනත් ටැටූ ගහගන්න හැටි ගැන කියාදෙන අන්තර්ජාල කන්ටෙන්ට් බිහි වුණා. ඉතින් සමහර අය ගෙදර ඉඳන් ටැටූ ගහගන්නත් හුරු වුණා. ඒත් මේක කිසිසේත්ම හොඳ දෙයක් නෙමෙයි, සම තුවාල කරමින් කරන ටැටූ ගැසීම් වලදී ඒ කටු ආදිය පිරිසිඳු නොවුනොත් ඒ හරහා ආසාදන ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම අපි යොදාගන්නා තීන්ත ආදිය නියම තත්ත්වයන්ට නැති වුණොත් ඒවා හරහාත් යම් යම් අවුල් අපේ සමට වෙන්නට පුළුවන්.
7. මේකප් සහ රූපලාවන්‍ය
ලංකාවෙත් ෆේස්බුක් හරහා කාන්තා ගෲප් වල බහුලව කතාවෙන දෙයක් තමයි රූපලාවන්‍යය. ලොව ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රීම් ආදිය වෙළඳපොලට එන්නට කලින් ඒ අය සපුරන්න ඕනි සෞඛ්‍ය නිර්දේශ තියෙනවා. අපේ සමට ගැළපෙන විදිහට අහිතකර බවින් අඩු වෙන විදිහට තමයි ඒවා නිපදවලා තියෙන්නේ. ඒත් මේ සංවෘත්ත ගෲප් ඇතුළේ එක් එක් අය ගෙදරදී හදන ක්‍රීම් ජාති වලට එහෙම අනුමැතියක් නැහැ. ඔවුන් ඇතැම්විට නිවසේ හදන රසායනික වල සංයුතිය ඔවුන්වත් හරියට දන්නේ නැහැ. ඉතින් මේ වගේ ගෙදර හදන බේත්හේත් රූපලාවන්‍ය කටයුතු වලට පාවිච්චි කළොත් එයිනුත් සෞඛ්‍යයමය හානි වෙන්නට ඉඩකඩ තියෙනවා.
යම් දෙයක් කරන වෘත්තිකයෙක් ඒ විෂයය ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඔහුට ඒ සම්බන්ධ පළපුරුද්දකුත් තියෙනවා. ඒ දේවලට යොදාගන්න උපකරණ, ආරක්ෂාව වගේම ඔහු භාවිතා කරන දේවල් ගැනත් හොඳ අවබෝධයක් ඔහුට තියෙනවා. ඉතින් අපි දෙයක් අලුතින් කරන්නට පටන් ගත්තට පස්සේ අපිටත් ටිකෙන් ටික තමයි ඒ දේවල් ඉගෙනගන්න වෙන්නේ. සමහර නොදන්න සංවේදී දේවල් ඉන්ටනෙට් එක බලාගෙන තනියම කරගන්න ගිහින් අමාරුවේ වැටෙන්න කළින් ඒ ගැන විෂයෙහි ප්‍රවීණ දෙතුන්දෙනෙකුගෙන් වත් අහලා බලන්න පුළුවන් නම් මේ අන්තර්ජාල තොරතුරු වල තියෙන ගෙදරදීම කරගමු වැඩ වලින් අපිට එන සෞඛ්‍ය අවදානම නවතාගන්නට පුළුවන්.
Leave a Reply