මෑත කාලෙදී ඇවිල්ලා ගියපු, දැනටමත් අමතක වුණු සමාජ රැළි කීපයක්!

දැන් ඔය සමාජේ හැමෝම රැල්ලට කරන්න පටන් ගන්න දේවල් තියෙනවනේ. එහෙම රැල්ලට කරන දේවල් වල දකින්න පුළුවන් වැදගත් කාරණයක් තමයි, එන වේගෙන්ම මේ රැළි නැතිවෙලා යනවා කියන එක. ඒකට ඉතින් හේතු තියෙනවා. ගොඩක් දෙනෙක් ඔය ගොඩක් රැළි වලට සෙට් වෙන්නේ ඇත්තටම මොකක් හරි තිරසාර දැක්මක් හරි වෙනසක් කරන්න සැබෑ වුවමනාවක් හරි එක්ක නෙවෙයිනේ. ගොඩක් දෙනෙක් දුවන්නන් වාලේ දුවලා රැළි වලට සෙට් වෙනවා. තවත් සමහරු ප්‍රසිද්ධිය තකා රැළි වලට සෙට් වෙනවා. සමහරු දේශපාලන අරමුණු, ආර්ථික අරමුණු වගේ එව්වා නිසා විතරක් නෙවෙයි, ඔය කෙල්ලෙක්ව සෙට් කරගන්න වගේ අරමුණු වලටත් මේ රැළි වලට සෙට් වෙනවා. හැබැයි ඒ කොහොම වුණත් මේ රැළි ගොඩක් වෙලාවට තියෙන්නේ බොහොම කෙටි කාලයයි. ආයෙ රැළි පටන් ගන්නකොට ගැම්මෙන් ෆේස්බුක් එකේ ෆොටෝස් දාගෙන බැහැලා වැඩකරපු උන්දැලාට වුණත් රැල්ලක් අමතක වෙලා යන්න සමහර විට සති කීපයක් ඇති.

ඉතින් එහෙම රැළි ගැන ෆේස්බුක් එකේ එහෙම පත හෑලි ලියාගෙන, රැල්ලට සෙට් වෙන්නෙ නැති එවුන්ටත් බැණගෙන හිටපු උන්දැලට මතක් වෙන්නත් එක්ක අපි හිතුවා ඒ වේගෙන් ඇවිත් වේගෙන් නැතිවෙලා ගියපු රැළි ගැන පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න.

 

 

1. වගා සංග්‍රාම රැල්ල

 

ආයෙ ඉතින් මේ වගා සංග්‍රාම රැල්ල ආවට පස්සේ අපේ හැමෝම දූලා පුතාලා, අයියලා අක්කලා, නැන්දලා මාමලා මොඩ් ගොයියෝ වුණා. වෙන එකක් තියා ආණ්ඩුවෙන් බීජ ඇට වර්ග එහෙමත් බෙදලා දුන්නා. ගෙවතු වගාව ගැන උපදෙස් තියෙන රජයේ වෙබ්සයිට් හැදුනා. කෙලින්ම රටේ පළවෙනි පුරවැසියගේ ඉඳලා යුවරජවරු, කුමාරවරු, සිටුවරු වගේ හැමෝම වගා සංග්‍රාමෙට ගෙවතු වගා කරලා ෆොටෝ ෆේස්බුක් එකේ, ඉන්ස්ටග්‍රෑම් එකේ, ට්විටර් එකේ දාලා හෙනම රැල්ලක් හදලා ගත්තා. ඒකට සෙට් වුණු අනික් හැමෝමත් ආයෙ ගෙවතු වගා කරලා ගත්තු එළෝලු ජාත්‍යන්තරේට අපනයනය කරනවා කියන ලෙවල් එකෙන් තමයි වැඩේට බැස්සේ. හැබැයි ඉතින් මාසයයි දෙකයි, හිටෝපු එළෝලුත් අමතකයි, වගා සංග්‍රාමෙත් අමතකයි!

 

හැබැයි ඉතින් මේ රැල්ල එහෙම්මම යට ගියපු එක හෙනම අපරාදයක්!

 

 

2. තාප්ප වල චිත්‍ර අඳින රැල්ල

 

මේං නියම පොලිටිකල් රැළි. මේකත් අලුත් ආණ්ඩුවත් එක්ක නැගලා ආපු රැල්ලක්. ආයෙ පටන් ගත්තේ ලස්සන රටක් හදන්න අපේ නායකයෝ බලය අරගෙන වෙහෙසෙනකොට, තරුණ පරම්පරාව වුණු අපිත් රට ලස්සන කරන්න අඩු ගාණේ තාප්ප වල චිත්‍ර ඇඳලවත් බලන්න ඕන කියලා තමයි. ඒ දවස් වල ආයෙ තාප්පයක් පේන්න තිබ්බත් තරුණ කොල්ලො කෙල්ලො ගැන්සිය තීන්ත බාල්දි පින්සල් උස්සගෙන බැහැලා ආයෙ තාප්පෙ ෆුල් රොක් කරලා ගන්න ලෙවල් එකක් තිබ්බේ. හැබැයි මොන දේශපාලන වුවමනාවට පටන් ගත්තත්, ඒ රැල්ල පටන් ගැන්මෙදි හොඳයි. ගොඩක් තැන්වල ඇත්තටම බලන්න ලස්සන චිත්‍ර ඇඳුණා. මෙලෝ රහක් නැතුව තිබුණු බිල්ඩින් තාප්ප වලට අමුතු ආලෝකයක් ලැබුණා. හැබැයි ඉතින් ඊලඟට මෙලෝ මොළයක් නැති මී හරක් වැඩේට බැහැලා ෆ්ලයිඕවර් වල ආරක්ෂාවට වාහන වලට පේන්න තිබුණු රේඩියම් ස්ට්‍රිප් උඩිනුත් චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඊට පස්සේ මෙලෝ රහක් නැති මැන්ටල් ශිල්පීන් වැඩේට සෙට් වෙලා, දැක්කහම බල්ලො බත් කන්නැති ලෙවල් එකේ චිත්‍ර වලින් තාප්ප පුරවන්න පටං ගත්තා. ඇත්තටම චිත්‍ර රැල්ල අන්තිමට තිබුණු තැන එක්ක බලනකොට, ඔය රැල්ල නැති වෙලා ගියපු එකමයි හොඳ!

 

 

3. රුක් රෝපණ රැල්ල

 

අනික් රැළිත් එක්ක සාපේක්ෂව බලනකොට මේක නං ටිකක් පරණයි. ඒ වගේම, ඇත්තටම හරියට කරනවා නම් ඉතාම වටිනා කියන රැල්ලක්. පටන් ගත්තේ පැළ සීයක්, පැළ දාහක් හිටෝමු වගේ සීන් වලින්. ඇත්තටම මුල්ම කාලේ ඒක හොඳට නැගලා ගියා. මිනිස්සු සද්භාවයෙන් රුක්‍ රෝපණයත් එක්ක එකතු වුණා. හැබැයි වැඩේ අල වෙන්න පටන් ගත්තේ, සමහර රුක් රෝපණ පුරෝගාමීන් වගේම අලුතින් රුක් රෝපණේට බැස්ස සෙට් එකත් වැඩේ ජාවාරමක් කරගන්න ගියාට පස්සේ.

 

ඊට පස්සේ රුක් රෝපණ රැල්ලට කෙලවෙන්නම ගියේ, ජාති ආලෙන්, දේශපාලන ආලෙන් චූන් වුණු රුක් රෝපණ උන්දැලා සෙට් වෙලා ඔය විල්පත්තුව වගේ රක්ෂිත වලට එහෙම ගිහිල්ලා, ආයෙ අතට අහුවෙන අහුවෙන රුක් රෝපණය කරලා එව්වා රොක් කරලා ගන්න ගියාට පස්සෙ තමයි. වනවගාව ගැන එක්ස්පර්ට් ලෙවල් එකට ඉගෙන ගත්තු මිනිස්සු අනතුරු හැඟෙව්වා වන වගාව කියන එක විද්‍යාවක්, ඔහොම අතට අහුවෙන අහුවෙන පැළ හිටෝලා තියෙන වනේටත් කෙලෝගන්න තමයි හදන්නේ කියලා. ඇත්තටම රටේ ඉතුරු වෙලා තිබුණු වනාන්‍තර වල වාසනාවට හරි රුක් රෝපණ රැල්ලත් එහෙම්මම අමතක වෙලා ගියා!

 

 

4. පාරවල් වල නම් වෙනස් කරන රැල්ල

 

මෙව්වත් ඉතින් තනිකරම දේශපාලන ඇන්දිලි එක්ක ක්‍රියාත්මක වුණු නාටක රැළි තමයි. වැඩේ පටන් ගත්තේ මෙහෙමයි. දැන් මේ සිරිලංකාවේ ඕනම ගමක නගරෙක අඩි පාරකට පොඩ්ඩක් කොන්ක්‍රීට් ටිකක් දැම්මත් ආයෙ පාර වගේ දෙකක් පළල බෝඩ් ලෑලි ටිකක් ගහලා, ගමේ පක්ෂෙ සංවිධායකගේ ඉඳලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා, පළාත් සභා මන්ත්‍රීලා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා, ඇමතිලා, අගමැති, ජනාධිපති වගේ හැටහුටාමාරකගේ ෆොටෝ දාලා පිං අනුමෝදන් කරනවනේ. අලුත් ආණ්ඩුවත් එක්ක එව්වා වානා කියලා ඔන්න කොල්ලො කෙල්ලො පටන් ගත්තා පාරවල් වල එක එක අමුතු අමුතු නං, පරදේසක්කාර නං, දේශපාලන නං තිබ්බ ඒවා වහලා බොහොම නියුට්‍රල් නං ගහන්න. ආයෙ රාජ්‍ය ලාංඡනෙත් දාලා, යටින් වවනවත්ත පාර, නාමල් උයන පාර වගේ නං ගහලා බොහොම ආඩම්බරෙන් හිටියා මතකයි. හැබෑටම ඒ සති දෙක තුනෙන් පස්සෙ ඒ රැල්ලට මොකැයි වුණේ? දැන් ආයෙමත් පාරවල් වල තියෙන්නේ පරණ නංම තමා!

 

 

5. දහම් වරුසා රැල්ල

 

ඔව්, මේ කියන්නේ අර වැලන්ටයින් ඩේ එකටත් පන්සල් යන්න එහෙම පටන් ගත්තු රැල්ල ගැන තමයි. ඇත්තටම ඒක සංකල්පයක් විදියට ගත්තහම වැරැද්දකුත් නැහැ. ආගම ධර්මයට තරුණ පරම්පරාව ලැදි වෙන එක ගැටළුවක් ඇති දෙයක් නෙවෙයිනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකත් එහෙම්මම ගහගෙන ගියපු රැල්ලක් විතරක් වුණු එක තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, ඒ කාලේ සුදු ඇඳගෙන ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ අතින් අල්ලගෙන පන්සල් ගියපු කොල්ලෝ කෙල්ලෝ අවුරුද්දක් දෙකක් යනකොට ෆේස්බුක් එකේ විතරක් ධර්මය වපුරන ලෙවල් එකට ආවා. තාමත් ඉතින් ඒ දහම් වරුසා රැල්ලෙන් අපේ තරුණ පරම්පරාව හෙනටම සංවර, දහම්ලැදි පරපුරක් වුණා කියලා කියන්න බෑනේ. එහෙම කිව්වහම ජෝක්ස් වගේ නේ!

 

 

6. යක්ඛ පුත්තු රැල්ල

 

මේ රැල්ල නං බාගෙට බාගයක් දේශපාලන වුවමනාවකට ආපු එකක්. ඒ කියන්නේ අර “අපි යක්කු බොලව්” කියන සීන් එක තමයි මේ යක්ඛ පුත්තු රැල්ලේ ස්ලෝගන් එක වුණෙත්. ඒකෙන් කියන්නේ සරලවම සිංහල ලේ තියෙන උන්දැලා කෙලින්ම යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතගෙන එන, ලෝකේ වෙන කිසිම ජාතියකට පදිරි නොවෙන ජාතියක්ය, එහෙව් ජාතියක යක්ඛ පුත්තු එක්ක හැප්පිලා ඇණගන්න එපාය කියන කාරණාව තමයි. බැලූබැල්මට ඉතින් තමන්ගේ රට ජාතිය ගැන අභිමානයක්, ජාතික මාමකත්වයක් තියෙන එක වැරැද්දක් නෙවෙයි. හැබැයි ප්‍රශ්නේ වුණේ යක්ඛ පුත්තුලා යක්ඛ දූලා මේ රැල්ල පාවිච්චි කළේ ඔය අනික් වාර්ගික ආගමික කණ්ඩායම් වලට ෂොට් එක දෙන්න කියලා හිතාගෙන. ආයෙ ඔය යක්ඛ පුත්තු යක්ඛ දූලා රැල්ල එක්ක ළමයි හදන රැල්ලකුත් ආවා නෙව. හැබැයි ඉතින් එහෙම අනික් අයට ළමයි හදන්න කියලා දේශනා කළේ හාමුදුරුවෝ සෙට් එකයි කිරි මයිල් ආවේ නැති පොඩි සෙට් එකයි නිසා එහෙමට ජනගහණේ වැඩි වුණෙත් නැහැල්ලු!

 

 

7. පෙරණ රැල්ල

 

රැළි නං මේං රැළි! මේ කියන පෙරණ රැල්ල ඇත්තටම ආවේ පළවෙනි දෙවෙනි ලොක් ඩවුන් කාලේ. ඉතින් ගිය අවුරුද්දේ ලොක් ඩවුන් කිව්වහම ආයෙ ඇරලත් නෑ වහලත් නෑ තත්ත්වයක් නෙවෙයි තිබ්බේ. ලොක්ම ලොක් ඩවුන්! ඉතින් ඕකත් එක්ක ගෙවල් වල හිරවෙලා හිටපු අපේ අයියලට ලොකුම ප්‍රශ්නයක් වුණේ වෙනදට වගේ සතියකට සැරයක් දෙසැරයක් අනුමත වෙන්න තිබ්බ චාන්ස් එක නැතිවුණු එක. ආයෙ මත්පැන් ගෙදරට ඩිලිවරි කරන්නෙ නෑනේ. ඉතින් එහෙම සතියක් දෙකක් විරෝපට්ටං ගහගෙන හිටපු අපේ අයියලා පටන් ගත්තා තමන්ම ගෙදර පෙරන්න. ආයෙ සීනියි, යීස්ටුයි, පළතුරු මික්ස් එකයි දාලා හොඳට පැසවලා ගත්තු සමහර දේශීය බඩු ඉන්ටර්නැෂනල් කොලිටියට තිබ්බා කියලා තමයි තතුදත්තෝ කියන්නේ. වාසනාවට ඇල්කොහොල් විස වෙලා එකෙක්වත් මැරුණෙ එහෙම නෑ.

 

කොහොම වුණත් ඉතින් අනික් හැම රැල්ලක්ම වගේ ඔය රැල්ලත් අභාවයට ගියා. ගොඩක්ම හේතුව වුණේ ආයෙමත් බඩු ලබාගන්න පුළුවන් වුණු නිසා, ගෙදර පෙරන්න දඟලන්න අවශ්‍ය නොවීම.

 

 

 

මේ එක්කම තව දෙයක් මතක තියාගන්න ඕන. උඩ කියපු සමහර දේවල් තාමත් බොහොම සද්භාවයෙන් කරන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ මිනිස්සුන්ට රැළි අදාළම නෑ. උදාහරණයක් විදියට ගත්තොත් හැමදාමත් ගහට කොළට ආදරේ කරන මනුස්සයෙක්ට ගහක් කොළක් හිටවන්න අමුතුවෙන් කැටයං දාලා පෙන්නන්න ඕන නැහැ. එහෙම මිනිස්සු සද්ද නැතුව තමන් කරන වැඩේ හැඟීමෙන් කරනවා. අපි මේ උඩ කතා කරලා තියෙන්නේ රැල්ලට දේවල් කරලා ඊලඟ රැල්ලට ගහගෙන යන උන්දැලා ගැන විතරයි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *