මේ දවස් වල ඔය සයිබර් අවකාශයේ එහෙම තියෙන ප්‍රධානතම මාතෘකාවක් තමයි ‘හතේ අපේ පොත’. මේ පොත ගැන හැමෝම මත පළ කරන්න ගත්තේ ස්වාමීන්වහන්සේ නමක් මේ පොතේ තියෙන ඇතැම් කරුණු කාරණා හතේ පංතියේ පොඩි දරුවන්ට කියලා දිය යුතු/හෙළිදරවු කළ යුතු දේවල් නොවේය කියලා කරපු ප්‍රකාශයකට පස්සේ. හැබැයි අහන්න ලැබෙන විදියට ස්වාමීන් වහන්සේට කලින්ම වග කිව යුතු තැන්වලින්ම මේ පොත පාසැල් වලින් වාරණය කරලලු තියෙන්නේ. හරි, අපිට හතේ අපේ පොත ගැන හෝ, පොත වාරණය කරපු අය ගැන හෝ පොත ගැන කියපු හාමුදුරුවෝ ගැන හෝ කියන්න කිසිම දෙයක් නෑ. ඒත් මේ කතන්දරයත් එක්ක එළියට එන දෙයක් තමයි, අපේ හත අට වසර වල ඉන්න පුංචි දරුවන්ට ලෝකේ ගැන, ලිංගිකත්වය ගැන, ලිංගික අපයෝජනයන් ගැන, ප්‍රජනනය ගැන සහ කොටින්ම පාසැල් වල ඉන්න ඇතැම් සෞඛ්‍ය ගුරුවර ගුරුවරියන් පවා, ගෙදර ඉන්න අම්මලා තාත්තලා පවා දරුවන්ට කියලා දෙන්න පැකිළෙන සංවේදී කාරණා ගැන ඇත්තටම ඉගැන්විය යුතු දේවල් තියෙනවාය කියන එක. ඉතින් අපි හිතන විදියට මේ වයසේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතු උඩ කියපු විදියේ කරුණු කාරණා ගැන තමයි මේ කතාකරන්න යන්නේ!
1. තමන්ගේ නව යොවුන් විය ගැන
මේක නව යොවුන් වියේ එලිපත්තේ ඉන්න දරුවන්ට ඇත්තටම කුතුහලාත්මක දෙයක්. මෙතනදී අම්මලා තාත්තලා කියලා දෙන්න ඕන ලිංගික කාරණා ගැන විතරක් නෙවෙයි. නව යොවුන් වියත් එක්ක ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් ගැන, මානසිකව සිද්ධ වෙන වෙනස්කම් ගැනත් කියලා දෙන එක වටිනවා. මොකද විශේෂයෙන්ම ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් ගැන සමහර දරුවෝ කුතුහලයට පත් වෙලා නවතින අතරේම, තවත් දරුවෝ බයටත් පත් වෙනවා. ආන්න ඒ නිසා නව යොවුන් විය සහ ලිංගික පිබිදීම සම්බන්ධයෙන් සරලව, ඒත් පූර්ණ වශයෙන් දරුවන්ට කියලා දෙන එක යහපත්.
2. ස්ත්‍රී පුරුෂ ප්‍රජනන පද්ධති ගැන
සමහර දරුවෝ ඉන්නවා ඒ අයට අට නවය වසරවලට එනකල්ම හරි හැටි වැටහීමක් නැහැ ස්ත්‍රී පුරුෂ ප්‍රජනන පද්ධති වල තියෙන වෙනස්කම් ගැන සහ ප්‍රජනනය ගැන. හැබැයි මේ කාලයේ දරුවන්ට සෞඛ්‍ය පාඩමටත් මේ සම්බන්ධයෙන් විෂය නිර්දේශයේ සඳහන් වෙන නිසා, ඉස්කෝලේ ගුරුතුමා/ගුරුතුමී මේ ගැන ඉගැන්නුවා හෝ නැතා හෝ හොඳ දැනුමක් දරුවන්ට ලබාදීම දෙමාපියන්ගේ වගකීමක්. හැබැයි මතක තියාගන්න ඕන ඔය සාමාන්‍ය භාවිතයේ තියෙන ලිංගිකත්වය සම්බන්ධ එක එක විදියේ දුර්මත සහ මිත්‍යා මත දරුවන්ගේ ඔලුවටත් නොදාන්න. සරලව කිවුවොත් ස්ත්‍රී පුරුෂ ලිංගික පද්ධති වල තියෙන වෙනස්කම්, ප්‍රජනනය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණා සරලව, විද්‍යානුකූලව කියා දුන්නා නම් ඇති.
3. මාසික ඔසප් වීම ගැන
මාසික ඔසප් වීම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙක්ට ගෙදරින් යම් තාක් දුරකට අවබෝධයක් ලැබෙනවා. හැබැයි සමහරුන්ට නම් මල්වර වෙන්න කලින් මේ ගැන දැනගන්න වෙන්නේ නැති තරම්. අන්න ඒ නිසා හොඳම දේ තමයි මල්වර වියේ ඉන්න දැරියකට මාසික ඔසප් වීම කියන්නේ මොකද්ද, ඒකේදී කරන්න ඕන මොනවද, ඔසප් කාල සීමාවේදී තියෙන්න ඕන සෞඛ්‍ය පුරුදු මොනවද කියන හැම කාරණාවක් ගැනම කියලා දෙන එක. ඒ වගේම තමයි පිරිමි ළමයින්ට වුනත් මේ කාලේදී මාසික ඔසප් වීම් ගැන කියලා දෙන්න ඕන. මොකද, එහෙම හරි හැටි දැනීමක් නැති නිසා තමයි සම වයසේ ගෑණු ළමයෙක්ගේ ගවුමක ලේ පැල්ලමක් දැක්කොත් පිරිමි ළමයි එක්කෝ බය වෙන්නේ හරි උඩ පැන පැන හිනාවෙන්නේ හරි. මේ දෙකම හොඳ නෑ. අනෙක් අතට පුංචි කාලෙදීම කාන්තාවකට සිදුවන ඔසප් වීම කියන්නේ ස්වභාවික සංසිද්ධියක් කියලා තේරුම් ගත්තොත්, ලොකු වෙලා තමන්ගේ බිරිඳට පෑඩ් පැකට් එකක් ගේන්න ලැජ්ජ වෙන පිරිමි නිර්මාණය වෙන්නේ නෑ.
4. හස්ත මෛථූනය ගැන
මේක නම් සෑහෙන්න විවාදාත්මක කාරණාවක්නේ. සමහරු කියනවා හස්ත මෛථූනය ගැන කිසිසේත්ම දරුවන්ට කියා දිය යුතු නැතිය, ඒකෙන් වෙන්නේ හස්ත මෛථූනයට දරුවෝ පෙළඹෙන එකය කියලා. හැබැයි එහෙම කියන අය අමතක කරන කාරණාව තමයි, දරුවන්ට ලිංගික කාරණා ගැන දැනගන්න තියෙන එකම ක්‍රමය දෙමාපියන් නොවේය කියන එක. අඩු ගාණේ දෙමාපියන්ගෙන් අහලා කරලා දේවල් දැනගත්තොත් ඔය අසභ්‍ය චිත්‍රපට, අසභ්‍ය පත්‍රිකා වලින් හරි යාලුවන්ගෙන් අහලා හරි දේවල් දැනකියාගෙන වැරදි මත ඔලුවේ තියාගන්න එක සිද්ධ වෙන එකක් නැහැ. මෙතනදී දෙමාපියෝ කියලා දෙන්න ඕන දරුවන්ට හස්ත මෛථූනය කරන්නේ කොහොමද කියන එක නෙවෙයි. හස්ත මෛථූනය කිරීමේ හෝ නොකිරීමේ කිසිම වැරැද්දක් නැති බව කියලා දීම වුවමනායි. හැබැයි ඒකට ඇබ්බැහි වීමෙන් තමන්ගේ දැන් ජීවිතේට වගේම ඉදිරි ජීවිතේටත් ප්‍රශ්න ඇති වෙන බවත් කියලා දීම වුවමනායි. අන්න ඒක තමයි ඇත්තටම අවධාරණය විය යුතු කාරණාව.
5. යහපත් සෞඛ්‍ය පුරුදු ගැන
යහපත් සෞඛ්‍ය පුරුදු අම්මලා තාත්තලා විසින් දරුවන්ට කියලා නොදෙනවා කියන්න බෑ. ඒත් යහපත් සෞඛ්‍ය පුරුදු කියලා කියන්නේ දත් නිය පිරිසිදුව තියාගැනීම, දිනපතා නාලා කරලා ශරීරය පිරිසිදුව තබාගැනීම ගැන විතරක් නෙවෙයි. ලිංගික ප්‍රදේශ පිරිසිදුව තියාගැනීම වගේ දේවල් ගැනත් කියලා දෙන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම යහපත් ආහාර පුරුදු, ශරීරයට ගුණදායී ආහාර, ව්‍යායාම වල වැදගත්කම ගැන එහෙමත් දරුවන්ට කියලා දෙන්න ඕන. දැන් කාලේ ඇත්තටම හොඳ පෝෂ්‍යදායී ආහාර සහ ව්‍යායාම දරුවන්ට ලැබෙන්නේ නැති තරම්. ඒත් පුංචි කාලේ ඉඳලම ඒවා ගැන අවධානය යොමු කරන්න පුළුවන් වුනොත්, තරුණ කාලය වෙනකොට හොඳ හැඩ ශරීරයක් සහ වයස්ගත කාලය වෙනකොට තරුණ කම රැකිලා තියෙන ජීවිතයක් ලබාගන්න පුළුවන් කියන එක දරුවන්ට උගන්නන්න ඕන.
6. ආදරය සහ සෙනෙහස ගැන, ලිංගික බැඳීම් ගැන
ආදරය සහ සෙනෙහස වගේම ලිංගික ආකර්ෂණයන් වුනත් නවයොවුන් වියේ ඉන්න දරුවන්ට අත්විඳින්න සිද්ධ වෙන දේවල්. ආන්න ඒ නිසාම ඒ දේවල් ගැන කලින්ම හොඳ අවබෝධයක් දරුවන්ට ලබාදීම අත්‍යාවශ්‍ය දෙයක්. උදාහරණයක් විදියට කියනවා නම්, තවත් කෙනෙක්ට ආකර්ෂණය වීම ස්වභාවික දෙයක් බවත්, ඒත් එහෙම ආකර්ෂණය වුණු පළියට ලිංගිකත්වයේ සුව විඳින්න ඉක්මන් නොවිය යුතු බවත් කියා දීම වැදගත්. ගොඩක් වෙලාවට අම්මලා තමන්ගේ ගැහැණු දරුවන්ට කියා දෙන දෙයක්නේ කන්‍යාභාවය ආරක්ෂා කර ගැනීම ගැන. කන්‍යා භාවය ආරක්ෂා කර ගැනීම ගැන කියා දුන්නා හෝ නැතා හෝ කියා දිය යුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීම ගැන. ඒක ගැහැණු පිරිමි දෙපාර්ශවයේම දරුවන්ට කියා දෙන්න පුළුවනි නම්, පහුකාලෙකදී තවත් කෙනෙක්ව පාවිච්චි කරලා හිතක් කඩන්න කලින් දෙපාරක් හිතයි.
7. අනෙකාට ගරු කිරීම ගැන
මෙන්න මේකත් ලිංගික අධ්‍යාපනය හා සමානවම අතිශයින්ම වැදගත්, දරුවෝ කුඩා අවදියේම කියලා දිය යුතු දෙයක්. ඒ තමයි අනෙකාට ගරු කිරීම, සමානව සැලකීම සහ පිළිගැනීම කියන එක. දැන් උදාහරණයකට කිවුවොත් ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ වෙනත් රටවලත් කාන්තාව කොන් කිරීම දරුණුවටම සිද්ධ වෙන තැන් තියෙනවා. “ගෑණු මොළේ හැඳිමිටේ” වගේ කියමන් ඊට උදාහරණ. ඒ වගේම පාරේ යන කෙල්ලෙක්ට කොල්ලෝ ටිකක් සූව දැම්මහම ඒක කොලු ගතියනේ කියලා සාධාරණීකරණය කිරීමත් සෑහෙන්න දකින්න ලැබෙනවා. මෙන්න මේ දේවල් තමයි නොවිය යුත්තේ. මෙන්න මේ දේවල් ගැන තමයි අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට කියා දිය යුත්තේ. කොටින්ම කියනවා නම් ස්ත්‍රී පුරුෂ භේදයකින්, ජාති භේදයකින්, ආගම් භේදයකින්, වර්ණ භේදයකින් හෝ වෙනත් කිසියම් හෝ භේදයකින් තොරව හැමෝටම සමව සැලකීම සහ ගරු කිරීම ගැන අම්මලා තාත්තලා දරුවන්ට කියලා දෙන්න ඕන.
අපිට මෙන්න මේ දේවල් සාර්ථකව අපේ දරුවන්ට කුඩා අවදියේම කියලා දෙන්න පුළුවන් වුනොත්, අනාගත පරම්පරා වලට වඩා ලස්සන ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි.
Leave a Reply