ලාංකිකයන් තැබූ ගිනස් වාර්තා 7ක්

අපි අද ඔබට කියන්න යන්නේ ගිනස් වාර්තා පොතට යන්න සමත් වෙච්ච ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් සහ ඔවුන් විසින් තබන ලද වාර්තා කිහිපයක් ගැනයි. මේ ලිපිය සඳහා අපි විසින් හිතාමතාම ක්‍රිකට් සම්බන්ධ වාර්තා ඉවත් කරලා තියෙනවා. මොකද ක්‍රිකට්වලට ලැදි ජනතාවක් විදිහට අපේ රටේ බොහෝ දෙනෙක් ක්‍රිකට් සම්බන්ධව ගිනස් වාර්තා පිළිබඳව දන්න නිසා. එහෙමනම් අපි වැඩිදුරටත් කතා කරන්නේ නැතුව ගිනස් වාර්තා පොතට යන්න සමත් වෙච්ච අපේ රටේ අයව හොයාගෙන යමු.

 

1. සනත් බණ්ඩාර

ධාවන ශූරයෙකු විදිහට ප්‍රකට වෙලා හිටිය සනත් බණ්ඩාර 2011 දෙසැම්බර් 22 වැනි දින පැයක් ඇතුළත වැඩිම ටී ෂර්ට් ගණනක් ඇඳලා ගිනස් වාර්තා පොතට ඇතුළත් වුණා. ඔහු එම කාලය තුළ අඳින ලද ටී ෂර්ට් ගණන 257 ක්. ඒ වන විටත් ඔහු ගිනස් වාර්තා කීපයක් තැබීමට උත්සාහ කර තිබීම නිසා ‘ගිනස් බණ්ඩාර’ යන නමද පටබැඳී තිබුණා.

 

2. වසන්ත සොයිසා

මීට වසර කීපයකට කලින් සිද්ද වුණු වසන්ත සොයිසා ඝාතනය රටම කළඹන්න සමත් වෙච්ච සිදුවීමක්. කරාටේ ශූරයකු වූ ඔහු 2009 අගෝස්තු 23 වැනි දින අඩි හතරක් දිග, අඩියක් පළල, අඟල් තුනක විශ්කම්භයක් සහිත කිලෝ අනූවක් බර කොන්ක්‍රීට් කුට්ටි 12ක් හිසෙන් පහරදීලා බිඳ දාලා ගිනස් වාර්තා පොතට ගිය කෙනෙක්. අද වෙනකල් වැඩිම කොන්ක්‍රීට් කුට්ටි ගණනක් හිසෙන් පහරදී බිඳ දැමීමේ මේ වාර්තාව බිඳ හෙළීමට කිසිවෙක් සමත් වෙලා නැහැ.

 

3. රාජ් රාජරත්නම්

මේ ගිනස් වාර්තාව නම් එච්චර හොඳ ගිනස් වාර්තාවක් නම් නෙමෙයි. රාජ් රාජත්නම් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකික බිලියනපතියෙක්. ඒ රටේ ඉහළ පෙළේ දේශපාලනඥයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන ඔහු කොටි හිතවාදියෙක් විදිහටත් කුප්‍රකට පුද්ගලයෙක්. මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව අත්අඩංගුවට ගන්න ඔහුට 2009 ඔක්තෝම්බර් 16 දින ඇමරිකානු අධිකරණය විසින් ඇප ලබාදීම සඳහා ඇපය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන සීයක මුදලක් නියම කරනු ලබනවා. මෙය ලෝකයේ එතෙක් මෙතෙක් අධිකරණයක් මගින් සැකකරුවෙකු සඳහා නියම කළ විශාලතම ඇප මුදලට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියනවා.

 

4. ටෙරන්ස්  රණසිංහ සහ මාලනී රණසිංහ

එදිරිවීර සරච්චන්ද්‍රගේ සිංහබාහු වේදිකා නාට්‍යයේ පොතේ ගුරුගේ චරිතය රඟපෑ ටෙරන්ස් රණසිංහ සහ සුප්පා දේවියගේ චරිතය රඟපෑ ඔහුගේ බිරිඳ වූ මාලනී රණසිංහ වැඩිම කාලයක් එකම චරිතය වේදිකාව මත නිරූපණය කළ නළු නිළි යුවළට හිමි ගිනස් වාර්තාවට උරුමකම් කියනවා. ඔවුන් 1961 සිට 1991 දක්වා වසර 30ක කාලයක් මෙම චරිතය නිරූපණය කළා.

 

5. සිරිමාවෝ බණ්ඩාරනායක

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලෝකයේ  පළමු කාන්තා අගමැතිවරිය වගේම වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ කාන්තා අගමැතිවරිය ද වනවා. 1960  ජූලි 21 සිට 1965 මාර්තු 27 දක්වා සිය පළමු ධූර කාලය ගතකළ කළ ඇය 1970 මැයි 29 සිට 1977 ජූලි 23 දක්වා දෙවැනි ධුර කාලය නියෝජනය කළා. යළිත් සිය දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියව සිටියදී අගමැතිනිය ලෙස ඇය 1994 නොවැම්බර් 14 සිට 2000 අගෝස්තු 10 දක්වා කටයුතු කළා.

 

6. තුහාෂිනී සෙල්වරත්නම්

ලෝකයේ ලාබාලතම ගොල්ෆ් ජාතික ශූරිය බවට තුෂානි සෙල්වරත්නම් පත් වෙද්දී ඇයට වයස අවුරුදු දොළහයි දවස් තුන්සිය විසිහතරයි. අදාළ තරගය පැවැත්වුණේ එක්දාස් නවසිය අසූ නමය වසරේදියි. ඉන් පසුවත් ඇය ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළා.

 

7. තනුවන සේරසිංහ

අද වෙනකොට ලෝකයේ ලාබාලතම ලේඛකයාට හිමි ගිනස් වාර්තාව හිමි කරගෙන තියෙන්නේ අපේ රටේ පුංචි පැංචෙක්. 2017 වසරේ දී මේ වාර්තාව තියපු තනුවන සේරසිංහට ඒ වෙනකොට වයස අවුරුදු හතරයි දවස් තුන්සිය පනස් හයයි. ලංකාවේ උපත ලැබූ තනුවන ඒ වන විට ජීවත් වුණේ සීෂෙල්ස් රාජ්‍යයේයි. දවසක් තනුවනගේ ගුරුතුමිය කියලා දුන්න නුසුදුසු ආහාර පාඩම ඇසුරෙන් ඔහු “Junk Food” නමින් පොතක් රචනා කළා. පස්සේ මේ පොත ප්‍රකාශයට පත් කළ සූරිය ප්‍රකාශකයෝ විසින් තමයි මේ පොත ගිනස් වාර්තාවක් සඳහා යොමු කරන්නේ.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *