මුහුද පැත්තට ට්‍රිප් එකක් එහෙම යමුද? එහෙම යනවා නම් මේ කාරණා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න එක හොඳයි!

දැන් කාලයක් තිස්සේ අපි කොවිඩ්-19 එක්ක ගෙවල් වලටම හිරවෙලා ඉඳලා, ඒ ලොක් ඩවුන් එකෙන් එළියට ඇවිල්ලා අන්තිමට ඔන්න දෙසැම්බර් මාසයත් එනවා. එතකොට එන නිවාඩු ටිකත් අල්ලලා ගොඩක් දෙනෙක් එහෙ මෙහේ යන්න ට්‍රිප් එහෙමත් දාගන්නවා. ඒකට කමක් නෑ. හැබැයි ඔය මුහුදුකරේ පැත්තට එහෙම ට්‍රිප් එකක් දාගන්නවා නම්, එහෙම ගියාට පස්සේ මුහුදු වෙරළේ කාලය ගත කරන්න, පොඩ්ඩක් මුහුදට බැහැලා එන්ජෝයි කරන්න එහෙම හිතනවා නම්, තමන්ගේ ආරක්ෂාව ගැනත් ඒ එක්කම හිතන්න වුවමනායි. මොකද, මුහුද සහ මුහුදු වෙරළ නිවාඩුවක් කෙළිදෙලෙන් ගත කරන්න සුන්දර තැනක් වුණත්, ඇත්තටම පරිස්සම් නොවුණොත් තමන්ගේ ජීවිතය පවා නැතිවෙන්න පුළුවන් ආකාරයේ අතුරු අන්තරායන්ගෙනුත් බහුලයි. ආන්න ඒ නිසා, අපි හිතුවා, මුහුදු වෙරළට හරි දියඹට හරි බහින්න හිතනවා නම්, ඊට කලින් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා ටිකක්, එතකොට මුහුදු වෙරළේ සහ දියඹේ මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් අතුරු අන්තරාවන්ගෙන් බේරෙන විධික්‍රම ටිකක් ගැන කියලා දෙන්න.

 

1. සීසන් නං සීසන්

දැන් ඔය මුහුදට බහින්න සීසන් එකක් තියෙනවනේ. උදාහරණයක් විදියට කියනවා නම්, ලංකාවේ දකුණු දිග වෙරළ තීරය ආරක්ෂාකාරී වෙන්නේ ඔක්තෝබර්-නොවැම්බර් කාලේ ඉඳලා අප්‍රේල් විතර වෙනකල් කාලේ තමයි. අවුරුද්දේ අනික් කාලේ කිසිසේත්ම ආරක්ෂාකාරී නෑ. ඒ කාලෙට මුහුද අතිශයින්ම රළු වෙනවා. අන්න එතකොට, වීරයෝ වගේ අවාරේ ගිහින් වැරදි මුහුදකට බහිනවා කියන්නෙම මරණයට අතවැනීමක්. අඩු ගාණේ ඒ කාලෙදී මුහුදු වෙරළට ගිහින් විනෝද වෙන්න පවා අසීරුයි. ආන්න ඒ නිසා තමන් මුහුදු වෙරළට විනෝද සංචාරයකට යනවා නම්, ඒකට ගැලපෙන සීසන් එක දැනගෙන යන්න ඕනා!

 

 

2. දන්න අයගෙන් අහලා බහිමු

එතකොට සීසන් එකේ ගියත්, හැම මුහුදු වෙරළක්ම, හැම දියඹක්ම ආරක්ෂිත නැහැ. අන්න ඒ නිසා, ලස්සනට හෙමීට රළ හැපි හැපී තියෙන දියඹකට වුණත් බහින්න කලින් හිතන්න ඕන. හිතලා මදි, හොයලා බලලා, අහලා දැනගන්නත් ඕන ඇත්තටම මේ වෙරළ තීරය ආරක්ෂාකාරීද කියලා. ඇත්තටම ඔය අනිවාර්යයෙන්ම අන්තරායකර වෙරළ තීරයන් වල බෝඩ් ගහලා තියෙනවා ආරක්ෂාකාරී නැහැයි කියලා. අන්න ඒ අනතුරු අඟවන බෝඩ් කිසිම විදියකින් නොසලකා හරින්න එපා. එතකොට එහෙම අනතුරු හැඟවීම් නැති මුහුදු තීරයක වුනත් මුහුදට බහින්න කලින් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න ඇත්තටම ආරක්ෂාව තියෙනවද කියලා. විශේෂයෙන්ම ඔය මුහුදු තීරය අවට තියෙන හෝටල් වලින්, ධීවරයන්ගෙන් හරි ජීවිතාරක්ෂක සේවයකින් හරි අහලා දැනගෙන, අනතුරු අවම තැනක දියකෙළියට බහින එක ඥාණවන්තයි.

 

 

3. ගල් පර මග අරිමු

ඔය මුහුදු වෙරළත් එක්ක, එතකොට නොගැඹුරු මුහුදු මායිමත් එක්ක ලස්සනට පිහිටලා තියෙන ගල්පර තියෙනවා නේද? ලස්සන තිබ්බට කොහොම හරි මග අරින්න ඕන තැන් තමයි එව්වා. ඇයි එහෙම කියන්නේ? ගල් පර වල අනතුරු බහුල නිසා. එකක් ඔය ගල්පර අනිවාර්යයෙන්ම ලිස්සන සුළුයි. ලිස්සලා ගියොත් එක්කෝ මුහුදට වැටෙනවා, හැබැයි ගොඩක් දුරට තව ගල් උඩට වැටිලා අනතුරු වෙනවා. සමහර ගල් පිහිතල වගේ තියුණුයි. ඒ ඇරෙන්න ඔය ගල්පර අස්සේ ඉකිරි වගේ මුහුදු ජීවීන් එහෙමත් ඉන්නවා අනිවාර්යයෙන්ම. ඉකිරි කටුවක් එහෙම ඇනුනොත් ආයෙ ඉතින් ජීවිතේ එපාවෙයි වේදනාවටම. අන්න ඒ නිසා මුහුදු රළට නිරාවරණය වෙන ගල්පර උඩ සෙල්ලම් කරන්න නොයන එක ආරක්ෂාවට හොඳයි.

 

 

4. මුහුදේ වෙනස්කම්

මුහුද කියන්නේ බලන්න හරිම ලස්සන දෙයක් තමයි. හැබැයි ඒ වගේම තමයි, තමන් පරිස්සම් නොවුණොත් එක තත්පරේකින් මුහුදට අතිභයානක වෙන්න පුළුවන්. සුනාමි එහෙම කොහොමද එන්නේ කියලා දැකලා ඇතිනේ වීඩියෝ වලින් හරි. කොහොම වුණත්, මුහුදු වෙරළකට හරි යනවා නම් එකක් කාලගුණය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම, මුහුදු වෙරළේ හිටියත්, දියඹට බැහැලා හිටියත් දිය වැල්, උදම් රළ එහෙම ගැන සැලකිලිමත් වෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු සාමාන්‍යයෙන් අපි දකින විදියට වෙරළාසන්නයට එන රළ බිඳෙන්නෙ නෑ කියලා. එහෙම නැතිනම් අසාමාන්‍ය විදියට වෙරළ මුණගැහෙන හරියේ පෙණ කැටි නිර්මාණය වෙනවා කියලා. එතකොට පාට වෙනස් වතුර වෙරළ තීරයෙන් මුහුද පැත්තට ඇදිලා යනවා කියලා. මෙන්න මේවා සිද්ධ වෙනවා නම් වහාම ආරක්ෂාකාරී තැනක ඉන්න එක හොඳයි.

 

5. සිහියෙන් ඉන්න

මෙන්න මේක අතිශයින්ම වැදගත්, පිළිපැදිය යුතුම කාරණාවක්. ඒ තමයි මුහුදු වෙරළේ වුණත් සිහියෙන් ඉන්න එක. හැබයි අවාසනාවකට ගොඩක් දෙනෙක් නොකරන්නෙත් මේකම තමයි. ඔය ගොඩක් ට්‍රිප් යන හාදයෝ එහෙම කරන්නෙම මුහුදු වෙරළට ගිහින් කට්ටියත් එක්ක ෂොට් එකක් දාන එක. සමහරු නම් එතනිනුත් එහාට ගිහින් තව තව මත් වෙන ජාති එහෙමත් පාවිච්චි කරනවා. හැබැයි ඒකෙන් වෙන්නේ තමන්ට මුහුදු වෙරළේදී වුණත්, මුහුදේදී වුණත් දැනගන්න සිහිය නැතිවෙන එක. ඒ වගේම, අනපේක්ෂිත අනතුරකට මුහුණ පෑවත්, ක්ෂණිකව ප්‍රතික්‍රියා දක්වන්න, බේරෙන්න තියෙන ඉඩ ඉතාම භයානක විදියට පහළ යෑම. එතකොට සිහියක් පතක් නැතුව මුහුදට බහිනවා කියන්නේ අනිවාර්යයෙන්ම මරණ වරෙන්තුව කලින්ම අත්සන් කරලා මුහුදට බහිනවා කියන එක තමා!  

 

6. දුර නොයන්න

දැන් අපි කියමු ඔය ඔක්කොම කරුණු කාරණා දැනකියාගෙන, අවදානමක් නැහැයි කියලා ෂුවර් තැනකින් මුහුදට බැස්සා කියලා. එහෙමනම් ඉතින් කකුල් පොව්වන මානේ ඉඳලා තමන්ගේ මුහුදේ ආතල් එක ගන්න තමයි තියෙන්නේ. හැබැයි රජෝ, කොයි තරම් ආරක්ෂිතයි කියලා පේන මුහුදක වුණත්, වැඩ කිඩ පෙන්නන්න කියලා මුහුදේ දුරට එහෙම යන්න හදන්න එපා. එකක් තමයි දියවැල් වලින් එක්කෝ අපිව ඈත මුහුදට ගහගෙන යන්න පුළුවන් බොහොම ලේසියෙන්. එහෙම නැතිනම් තව සමහර දියවැල් වලින් අපිව අරගෙන ගිහින් කෙලින්ම ගල්කුළු වල හප්පන්න පුළුවන්. අන්න ඒ නිසා, තමන් කොයි තරම් පිහිනුම් ශූරයෙක් වුණත්, මුහුදේ දුර පිහිනීම ගැන හොඳ පළපුරුද්දක් නැතිනම්, මුහුදු වෙරළෙන් ඈතට නොයන එක හොඳයි. කොහොමත්, කකුල් පොව්වන මානය පැන්න ගමන් ගොඩක් දුරට මුහුදු පත්ල සීග්‍රව බෑවුම් වෙනවා. ආයෙ මොකටද නිකම් ජීවිතේ අනතුරේ දාගන්නේ?

 

 

7. මුහුදු සර්පයෝ සහ ජෙලිෆිෂ්

මුහුදේ නොගැඹුරු වෙරළ මානෙදී වුනත් අපිට අනතුරු කරන්න පුළුවන් මුහුදු ජීවීන් ඉන්නවා. අපි ඉකිරි ගැන කලින් කිව්වනේ. ඒ වගේම තවත් මුහුදු ජීවීන් වර්ගයක් තමයි ජෙලිෆිෂ් කියන්නේ. සමහර ජෙලිෆිෂ්ලා පැහැදිලිව පියවි ඇහැට හොයාගන්නත් බැරි තරමට පාරදෘෂ්‍යයි. එතකොට ඇවිත් අපේ ඇඟේ ගෑවෙනකල්ම දන්නෙ නෑ. ජෙලිෆිෂ්ලා ඇඟේ ගෑවුණත් විස කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් ජෙලිවිෂ්ලාගෙන් බේරෙන්න කරන්න පුළුවන් දේ තමයි පොඩ්ඩක් ජෙලිෆිෂ්ලා අවට ඉන්නවද කියලා දන්න අයගෙන් අහලා බලන එක. ඒ වගේම, ජෙලිෆිෂ්ලා ඉන්නේ ගොඩක් වෙලාවට එක පොදියට නිසා, මුහුදේ පාවෙන ඒ වගේ නොපැහැදිලි ජල්ලිමය පොකුරු වලින් අයින් වෙලා ඉන්න එක.

 

ඒ වගේම සමහර වෙලාවට ඔය මුහුදු සර්පයෝ එහෙම වෙරළට ගොඩගහනවා. ලංකාව අවට ඉන්න මුහුදු සර්පයෝ හැමෝම වගේ උග්‍ර විෂ. හැබැයි වාසනාවට දෂ්ටන වාර්තා වෙන්නේ කලාතුරකින්. මොකද ඒ සත්තු ප්‍රචණ්ඩ නැති නිසා. හැබැයි අහිංසක පාටට හිටියට මුහුදු වෙරළේ ඉන්න සර්පයෙක් මැරිලද කියලා බලන්නවත් අත පත නොගාන එක තමන්ගේ ජීවිතේට හිතකරයි!

 

පැහැදිළියිනේ තත්ත්වය. අපි මේ කියන්නේ මුහුදු වෙරළට ගිහිල්ලා මුහුදට බහින්න එපා කියලා නෙවෙයි. හැබැයි තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න පුළුවන් හැම ආරක්ෂා සංවිධානයක්ම ගන්න කියන එක තමයි මේ කියන්නේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *