ඕ යැස්. නොකිලිටියි කිව්වේ මල පයින්නැති, හිතේ කිසි කහටක් නැති ඕනෑ නම් කාට හරි දරණුවක් විදියට අරගෙන වළඳක් වුණත් තියන්න පුළුවන් සයිස් එකේ ඩෑල් එකකට. එහෙම කිසිම දේකින් කම්පා නොවෙන පුත්තරයෙක් වුණත් අවුල් යන්න පුළුවන් අවස්ථා තියනවා සාන්ත. එපා වෙනවා ඉතින්.
1. තෙත ටොයිලට් සීට් එකක්
මෙන්න අංක එක පිළිගන්න. දැන් වල කක්කුස්සි නෑ. තිබ්බත් ඕවයේ ඉඳගන්න නැවෙන්න කරන්න බෑ ඉහෙන් බහින ලෙඩ හැම එකාට ම. ඇට මුං ඇට වෙනවා නැවෙනකොට. ඉතින් සැපේ වැඩේ කරන්න ගොඩක් ගෙවල්වල කොමඩ් තියනවා. ඕකත් එක්තරා විදියක සාපයක් ඉතින් ඈ. ඕක නිසා තමයි ෆෝන් එක අරගෙන කක්කුස්සි ගානේ යන්න කොල්ලෝ කුරුට්ටෝ පුරුදු වුණේ. සෑහෙන වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන් නිසා. හා ඉතින් දැන් ඒක නෙවේ මේ තෙත ටොයිලට් සීට් එකේ කතාව වෙන එකක්. ටොයිලට් සීට් එකේ වාඩිගන්නකොට වුණත් ඒක උණුසුමට තියෙන්න ඕනි. ඕකේ වතුර හැමතැනම තියෙන කොට මල අප්පිරියාවයි සෙවල ගොඩක් උඩ පස්ස තියාගන්නවා වගේ. ගෙදර වගේ නම් දන්නා කියන පස්සවල් කියලා හරි හිත හදාගන්න පුළුවන්. ඒත් පොදු තැනක ටොයිලට් සීට් එක උඩ මොන යක්කු ඩෙඟා නටල ද කියන්න දන්නෑනේ.
2. ප්‍රයිවට් බස් සමඟ මල් සින්දු
මේ ප්‍රපංච දෙක තනි තනි ව ගත්තත් ගඟේ මූදේ මාළු ඇඟේ නටනවා. ඉතින් දෙක ම එකට සෙට් වුණා ම සැප තමයි ආයේ. ප්‍රයිවට් බස්වලට මූඩ් දෙකක් තියනවා. එකක් තියනවා කඩාගෙන බිඳගෙන යන මූඩ් එක. අනෙක කොට කොටා යන මූඩ් එක. ඔය හැම මූඩ් එහෙකටම බෙහෙත විදියට මල් සින්දු අහන්න ඩ්‍රයිවර් උන්නැහේ සමඟ කොන්දොස්තර මහත්තයා මොකක්දා අප්රකාශිත එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒත් ගමන් කරන උන්ට පොඩි ඉවසගන්ඩ බැරි ගතියක් එනවා එතකොට. ආය ඉතින් බෑ ම තමයි ඔලුව ගිනි ගන්නවා වගේ. හවස වැඩ ඇරිලා කිටි කිටියේ දාඩිය සුවඳ මැද 154 වගේ බස් එකක හිර වෙලා ඉන්න අස්සේ මොකෙක් හරි විලාප දෙන්න ගත්තම යා දෙයි ද යකුනේ කාට වුණත්.
3. සේල්ස් පොර ඉන් ඇක්ෂන්
රෙදි කඩේක සේල්ස් පීපෑල් දෙගොල්ලක් ඉන්නවා. එක කට්ටියක් ඉන්නවා උන්දැලගේ සල්ලිවලින් අපි ඇඳුම් ගන්න ආවා කියලා හිතන අය. තා කට්ටියක් ඉන්නවා ළමයි ලැබෙන්නත් කලියෙන් උප්පැන්න හදන උදවිය. ඒ කියන්නේ ඉතින් දැන් මෙහෙමයි. අපි කඩේකට ඇතුල් වුණ ගමන් ම අපි ඇත්තට ම ගන්න ආවේ මොනවද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. පොඩ්ඩක් හුස්මක් කටක් ගන්න එපැයි මොනෝ කරන්නත්. පළවෙනි අඩිය තිබ්බ ගමන් මොනව ද බලා ගගා පස්සෙන් එනකොට ඉතින් සොල්ලි වේල ඉල්ලේ.
4. කන වටේ කැරකෙන මදුරුවා
මදුරුවෝ ඇවිත් අපේ ලේ උරා බීලා අපි ව හපයක් කරලා දැම්මත් කමක් නෑ කරන මගුලක් සද්ද වහලා කරනවා නම්. නෙට් එකක් දාගත්තත් විසුමක් වෙන්නේ නැහැ කට වහන්න බැරි වුණ නිසා. සමහර මදුරුවො ඉන්නවා උන් කන්නේ නැහැ. කන වටේ කැරකෙනවා විතරයි. උන්ට තමයි දේව සාප කියන්නේ. මස් හොදිවත් කටේ තියන්නැති ඩයල් එකකට සත්තු මරන්න හිතෙන්න පුළුවන් ඒ වදකාරී සද්දෙත් එක්ක නම්.
5. ටික් ටොක්
ඔව් ඒක. ටික් ටොක් ඉන්න අපතයො රෑනට ම පුළුවන් නොකිලිටි උන් කිලිටි කරලා දාන්න. කිලිටි වෙන එක දෙයාකාරයි. අංක එක තමයි පාඩුවෙ ඉන්න අයටත් ටික් ටොක් කරන්න තරම් ඔලුවෙ අමාරුවක් හැදෙන එක. අනික් එක නම් ඉතින් ටික් ටොක් කරන පොඩි වුන්ගෙ අම්මා අප්පා මතක් කිරීම. සියවසක් ආපස්සට ගිහින් වගේ දැනෙනවා සමහර විගඩම් බලද්දි නම්. කුමරියක පා සළඹ අහන්නවත් කැමති නැති අය ටිකිටොකියේ කෙල්ලෝ පොල්කටු මාලේ හොල්ලද්දි කිලිටි වෙනවා බලන් ඉන්නකොට ම.
6. රීඩ් නැත, ඔන්ලයින් ඇත
මේ වට්ස්ඇප් ආවත් හරි මනුස්ස සම්බන්ධකම්වල මහා ලොකු විප්ලවයක් ඇති වුණා නොව. දැන් ඉතින් නම්බරේ ඉල්ලන්න පස්සෙන් දුවන්න ඕනි නෑ. වට්ස්ඇප් ඉන්නවද කියලා ඇහුවම හරි. ඕකේ මැසේජ් එකක් දැක්කම බලලා ද නැද්ද කියලා අහු වෙනවා අර නිල් පාට හරි ලකුණු දෙකත් එක්ක. ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. ඔන්ලයින් ඉන්නවා වුණාට මැසේජ් රීඩ් කරන්නැති හාල්පාරුවෙක් එක්ක මොකෝ කරන්නේ? යාළුවෙක් වේවා ක්‍රෂ් එක වේවා ඔන්ලයින් නම් මැසේජ් එක බලපන්. ඇයි වදේ.
7. කකුලේ චූටි ඇඟිල්ල ඇක්සිඩන්ට් වීම
කකුලෙ තියන චූටි ඇඟිල්ල කියන්නේ වේදනාවල් හොයාගෙන යන අයිටම් එකක්. අනික් ඇඟිලි ටික යස අගේට ඉද්දි මුන්දැම යනවා ඇඳේ කකුල, මේසේ කකුල, දොර හොයාගෙන ම. ආය ඉතින් එසේ මෙසේ වේදනාවක් නෙවේනේ ඕක. දන්න කියන ඔක්කොම වදන් එළි බැහැලා ඉවරයි ඒකේ අමාරුව ඉවරවෙනකොට.
Leave a Reply