රස ගුණ පිරි ඉන්දියන් චට්නි 5ක් – 1 කොටස

ලංකාවෙ අපි චට්නි කියලා කන චට්නි වගේ නෙවෙයි විශේෂයෙන් දකුණු ඉන්දියාවේ තෝස, ඉඩ්ලි, බත්, වඩේ කන්න ඒ අය එක එක ජාතියේ චට්නි වර්ග හදනවා. චට්නි වර්ගයක් මේ අය කෑම වේලට එකතු කරගන්නේ විශේෂයෙන්ම කටට රහට කන්න සහ සෞඛ්‍යට ගෙන දෙන හොඳ ප්‍රතිලාභ නිසා. ඉතින් අපිත් ඔවුන්ගේ චට්නි වර්ග ටිකක රහ බලමු.

01. තක්කාලි චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය:-
පොඩියට කපාගත් ලොකු ඉදුනු තක්කලි ගෙඩි 2ක් ( ග්‍රෑම් 250ක් පමණ )
තලාගත් අඟල් 1/2ක ඉඟුරු කෑල්ලක්
වියලි මිරිස් කරල් 2-3
උඳු ඇට තේ හැඳි 1
ගම්මිරිස් ඇට 4-5
කරාඹුනැටි 2-3
ග්‍රයින්ඩ් කරගන්න වතුර මේසහැඳි 2-3ක්
තෙල් මේසහැඳි 1/2
ලුණු රස අනුව

තෙම්පරාදුවට:-
තෙල් මේසහැඳි 1/2
දෙකට කඩාගත් වියලි මිරිස් 1ක්
කරපිංචා කොල 7-8
අබ තේ හැඳි 1/2
උළුහාල් ඇට 2-3

  • පෑන් එකක තෙල් රත්වෙන්න තියලා එයට උඳු ඇට ටික එකතු කරන්න.
  • අඩු ගින්දරේ උඳු ඇට ටික රන්වන් පාට වෙනකම් පිසගන්න.
  • දැන් එයට වියලි මිරිස් කරල් ටික කඩලා දාගන්න.
  • එයට කරාඹුනැටි, ගම්මිරිස් සහ ඉඟුරු ටික එකතු කරන්න.
  • මිරිස්වල පාට වෙනස් වෙනකම් ටිකක් පිසගන්න.
  • මෙයට තක්කාලි සහ ලුණු එකතු කර විනාඩි 6-7ක් අඩු ගින්දරේ හැඳිගාමින් පිසගන්න.
  • පිසගත් තක්කාලි මිශ්‍රණය නිවුනට පස්සේ වතුර හැඳි 2-3ක් දාලා ග්‍රයින්ඩ් කරගන්න.
  • දැන් තෙමපාදුව කරමු.
  • කලින් පෑන් එකටම තෙල් තේ හැන්දක් රත් වෙන තියන්න.
  • එයට අබ එකතු කරන්න.
  • අබ පුපුරනකොට කාපිංචා, උලුහාල්, වියලි මිරිස් එකතු කරන්න.
  • කරපිංචා ටික ක්‍රිස්ප් වෙනකොට තක්කාලි මිශ්‍රනය එකතු කරලා කලවම් කරන්න.
  • විනාඩි 3-4ක් අඩු ගින්දරේ පිසගන්න.
  • රස බලලා ලුණු අවශ්‍ය නම් ලුණු ටිකක් එකතු කරන්න.

02. ලූණු චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය:-
කපාගත් ලූණු කෝප්ප 1ක් ( ග්‍රෑම් 120ක් පමණ )
චොප් කරගත් සුදුලූණු බික් 1-2ක්
වියලි මිරිස් කරල් 2-3
තෙල් තේහැඳි 2ක්
කඩල පරිප්පු තේහැඳි 1
උඳු ඇට තේහැඳි 1/2
සියඹලා තේහැඳි 1/4 ( ඇට 2ක් පමණ )
ලුණු රස අනුව
ගයින්ඩ් කරගන්න වතුර කෝප්ප 1/4ක් පමණ
තව වතුර කෝප්ප 1/4ක් පමන (පිසගන්න )

තෙම්පරාදුවට:-
තෙල් තේහැඳි 2
අබ ඇට තේහැඳි 1/2
කරපිංචා කොල 5-6ක්

  • පෑන් එකක තෙල් රත් කරන්න.
  • අඩු ගින්දරේ කඩල පරිප්පු සහ උඳු ඇට ටික තෙලට එකතු කරගන්න.
  • රන් වන් පාට වෙනකම් පිසගන්න.
  • එයට කඩාගත් වියලි මිරිස් ටික එකතු කරලා මිරිස් වල පාට ටිකක් වෙනස් වෙනකම් පිසගන්න.
  • එයට ලූණු සහ සුදුලූණු එකතු කරන්න.
  • අඩු ගින්දරේ ලූණු ටික යන්තම් රන්වන් පැහැ වෙනකම් පිසගන්න.
  • ලිප නිවලා ලූණු ටික නිවෙන්න හරින්න.
  • නිවුනට පස්සේ ලූණු එකට ඇට ඉවත්කල සියඹලා සහ ලුණු එකතු කරලා අවශ්‍ය පමණට වතුර එකතු කරලා බ්ලෙන්ඩ්/ග්‍රයින්ඩ් කරගන්න.
  • දැන් තෙමපාදුව කරමු.
  • කලින් පෑන් එකටම තෙල් තේ හැන්දි 2ක් රත් වෙන තියන්න.
  • එයට අබ එකතු කරන්න.
  • අබ පුපුරනකොට කරපිංචා එකතු කරන්න.
  • කරපිංචා ටික ක්‍රිස්ප් වෙනකොට ලූණු මිශ්‍රනය එකතු කරලා කලවම් කරන්න.
  • වතුර කෝප්ප 1/4ක් පමණ එකතු කරලා විනාඩි 3-4ක් අඩු ගින්දරේ කලවම් කරමින් පිසගන්න.
  • රස බලලා ලුණු අවශ්‍ය නම් ලුණු ටිකක් එකතු කරන්න.

03. කැරට් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය:-
කපාගත් කැරට් කෝප්ප 1ක් ( ග්‍රෑම් 150ක් පමණ )
චොප් කරගත් අමු මිරිස් කරල් 1
තෙල් තේහැඳි 2ක්
කඩල පරිප්පු තේහැඳි 1
උඳු ඇට තේහැඳි 1
කරපිංචා කොල 5-6ක්
ගාගත් පොල් කෝප්ප 1/3
ලුණු රස අනුව
ගයින්ඩ් කරගන්න වතුර කෝප්ප 1/3- 1/2ක් පමණ

තෙම්පරාදුවට:-
තෙල් තේහැඳි 2
අබ ඇට තේහැඳි 1/2
කරපිංචා කොල 4-5ක්

  • පෑන් එකක තෙල් රත් කරන්න.
  • අඩු ගින්දරේ කඩල පරිප්පු සහ උඳු ඇට ටික තෙලට එකතු කරගන්න.
  • රන් වන් පාට වෙනකම් පිසගන්න.
  • එයට චොප් කරගත් අමු මිරිස්, කරපිංචා කොල ටික එකතු කරලා කලවම් කරන්න.
  • එයට කැරට් ටික එකතු කරන්න.
  • අඩු ගින්දරේ විනාඩි 4-5ක් කලවම් කරමින් පිසගන්න.
  • එයට පොල් ට්ක එකතු කරලා විනාඩියක් විතර පිසගන්න.
  • මෙයට ලුණු එකතු කරලා අවශ්‍ය පමණට වතුර එකතු කරලා බ්ලෙන්ඩ්/ග්‍රයින්ඩ් කරගන්න.
  • කැරට් මිශ්‍රනය බෝල් එකකට දාගන්න.
  • දැන් තෙමපාදුව කරමු.
  • කලින් පෑන් එකටම තෙල් තේ හැන්දි 2ක් රත් වෙන තියන්න.
  • එයට අබ එකතු කරන්න.
  • අබ පුපුරනකොට කරපිංචා එකතු කරන්න.කරපිංචා ටික ක්‍රිස්ප් වෙනකම් පිසගන්න.
  • දැන් මේ තම්පරාදුව කැරට් චට්නි එකට දාලා හැන්දකින් මික්ස් කරන්න.
  • රස බලලා ලුණු අවශ්‍ය නම් ලුණු ටිකක් එකතු කරන්න.

04. රතු මිරිස් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය:-
ගාගත් පොල් කෝප්ප 1/2
බැදගත් කඩල පරිප්පු කෝප්ප 1/4
කෑලි වලට කඩාගත් වියලි මිරිස් කරල් 1-2
තලාගත් ඉඟුරු තේහැඳි 1
චොප් කරගත් සුදුලූණු බික් 2-3
සියඹලා තේහැඳි 1
ලුණු රස අනුව
ග්‍රයින්ඩ් කරන්න වතුර කෝප්ප 1/2ක් පමණ

තෙම්පරාදුවට:-
තෙල් මේසහැඳි 1
අබ ඇට තේහැඳි 1
සූදුරු ඇට තේහැඳි 1
කරපිංචා කොල 10-12ක්

  • ගා ගත් පොල්, බැදගත් කඩල පරිප්පු, වියලි මිරිස්, ඉඟුරු, සුදුලූණු, සියඹලා සහ ලුණු ග්‍රයින්ඩෙර්/ බ්ලෙන්ඩර් එකට දාලා වතුර කෝප්ප 1/2 හෝ අවශ්‍ය ප්‍රමාණයට දාලා ස්මූත් පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න.
  • චට්නි ටික බෝල් එකකට දාගන්න.
  • දැන් පෑන් එකක් රත්වෙන්න තියලා තෙල් ටික එකතු කරන්න.
  • ඒකට අබ ඇට ටික එකතු කරලා අබ ටික පුපුරනකොට සූදුරු ටික එකතු කරන්න.
  • සූදුරු ටිකත් පුපුරනකොට කරපිංචා එකතු කරන්න.
  • කරපිංචා ටික ක්‍රිස්ප් වෙනකොට ලිපෙන් පෑන් එක අයින් කරලා මේ තෙම්පරාදුව කලින් බෝල් එකට දාගත්ත චට්නි එකට දාලා කලවම් කරන්න.

05. දකුණු ඉන්දියානු ස්පයිසි කාරා චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය:-
තල තෙල් තේහැඳි 2
සිහින්ව කපාගත් රතු ලූණු කෝප්ප 1/4
පොඩියට කපාගත් තක්කාලි කෝප්ප 1/2 (සාමාන්‍ය තරමේ ගෙඩි 4-5ක් )
තලාගත් ඉඟුරු තේ හැඳි 1
වියලි මිරිස් කරල් 4-5
සියඹලා තේ හැඳි 1/4
කඩල පරිප්පු තේ හැඳි 1
උඳු ඇට තේ හැඳි 1
ලුණු රස අනුව
ග්‍රයින්ඩ්/ බ්ලෙන්ඩ් කරන්න වතුර කෝප්ප 1/3 – 1/2ක් පමණ

තෙම්පරාදුවට:-
තල තෙල් තේහැඳි 2
කරපිංචා කොල 7-8
අබ තේ හැඳි 1/2

  • පෑන් එකක තල තෙල් ටික රත් කරන්න.
  • ගින්දර අඩු කරලා ඒකට කඩල පරිප්පු සහ උඳු ඇට ටික එකතු කරලා රන් වන් පාට වෙනකම් පිසගන්න.
  • ඒකට ලූණු කෝප්ප 1/4 එකතු කරන්න.
  • ලූණු ටික රන්වන් පැහැ වෙනකොට සුදුලූණු ටික එකතු කරන්න.
  • දැන් වියලි මිරිස් ටික එකතු කරලා තප්පර 30ක් විතර හැඳිගාමින් බැදෙන්න හරින්න.
  • දැන් මේකට තක්කලි ටික එකතු කරන්න.
  • එයට ලුණු සහ සියඹලා එකතු කරන්න.
  • හැඳිගාමින් තක්කලි ටික සොෆ්ට් වෙනකම් පිසගන්න.
  • දැන් ලිප නිවලා තක්කාලි මිශ්‍රනය නිවෙන්න හරින්න.
  • මේක නිවුනට පස්සෙ ග්‍රයින්ඩර් / බ්ලෙන්ඩර් එකකට දාලා වතුර එකතු කරලා ස්මූත් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් තෙම්පරාදුව හදමු.
  • කලින් පෑන් එකේම තල තෙල් හැඳි 2ක් රත් වෙන්න තියන්න.
  • එයට අබ ටික එකතු කරලා පුපුරනකොට කරපිංචා ටික එකතු කරන්න.
  • කරපිංචා ක්‍රිස්ප් වෙනකොට ලිපෙන් අයින් කරලා තක්කලි මිශ්‍රනයට එකතු කරලා කලවම් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *