ගුවන් ලෝකය වෙනස් කළ බෝයිං 737

ලෝකයේ ගුවන් ගමන් සේවාවන් කියන්නේ කොවිඩ් නිසා දැඩි ලෙස පසුබෑමට ලක් වුණ ක්ෂේත්‍රයක්. ගුවන් ගමන් නැවතීම නිසා ගුවන් යානා ගුවන්තොටුපළ අංගනවල දුක සේ ගාල්කර තබන්නට වුණා. පසුගිය 2019 වසරේ ගුවන් සේවාව කැළඹූ සිද්ධියක් වුණේ ඉතියෝපියානු ගුවන් යානා කඩා වැටීම. බෝයිං සමාගමේ 737-8 මැක්ස් ගුවන් යානාව කඩා වැටීම නිසා බෝයිං සමාගමත් එහි 737 මාදිලියත් පොදුවේ අපකීර්තියට පත් වුණා. ඒත් බෝයිං 737 කියන අංකය ලෝකයේ ගුවන් ගමන් සේවාවන් උඩු යටිකුරු කළ සාර්ථක ගුවන් යානා මාදිලියක්. අපි අද ඒ ගැන විස්තර ටිකක් දැනගමු.

 

1. බෝයිං 737 අමිහිරි මතක

බෝයිං 737-8 මැක්ස් ගුවන් යානය පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. මේ ගුවන් යානය තොග පිටින් ගුවන් සමාගම් වලින් ඉවත් කරනු ලැබුවා. හේතුව වුණේ ගුවන් අනතුරු දෙකකින් මහා විනාශයක් වීමට මේ ගුවන් යානා මාදිලිය හේතු වීම. ඉන්දුනීසියානු ලයන් එයා ගුවන් යානයක් 2018 ඔක්තෝම්බර් මාසයේදීත් ඉතියෝපියානු ගුවන් යානයක් 2019 මාර්තු මාසයේදීත් අනතුරට ලක් වෙලා, ඒ යානාවල ගමන් ගත් සියළුම අය මරණයට පත් වුණා. ඒ එක්ක බෝයිං 737-8 මැක්ස් ගුවන් යානාව ගුවන් සේවාවන් වලින් ඉවත් කළා. ඒ ගුවන් අනතුරු වලට හේතු වුණේ ගුවන් යානයේ සැකසුම සහ එහි මෘදුකාංග වල තිබුණ දෝෂයක්. ගුවන් යානයේ තිබූ මෙම දෝෂ තවමත් හරිහැටි නිරාකරණය කරගෙන නැති නිසා මේ මාදිලිය බෝයිං ඉතිහාසයට වගේම බෝයිං 737 නමටත් කළු පැල්ලමක් එකතු කළා.

 

2. මුල් පරම්පරාවේ බෝයිං 737

මුලින්ම බෝයිං 737 යානාවක් ගුවන් ගතවුණේ 1967 ජනවාරි 17 වෙනිදා. එවකට එම ගුවන් යානාව නිකුත් කරන විට ගුවන් සමාගම් 17කින් බෝයින් යානා සඳහා ඇනවුම් ලැබී තිබුණා. මුල්ම බෝයිං 737 ඕඩරය ලැබුණේ ජර්මානු ගුවන් සේවාවක් වන ලුෆ්තන්සා ගුවන් සේවාවෙන්. එවකට තිබුණ ගුවන් යානා අතුරින් බෝයිං 737 ශක්තිමත් කල්පවතින නිමාවකින් යුතු එකක් බවට ලොව නම්දැරූ ගුවන් යානා ඉතිහාසඥයින් ප්‍රකාශ කර තියෙනවා. මේ ගුවන් යානා මිලදී ගත් සමාගම් විසින් එවකට දිනකට පැය 18-20ක් තරම් වැඩි කාලයක් මේ ගුවන් යානා ගැටළුවකින් තොරව ධාවනය කළ බව සඳහන් වෙනවා.

 

3. සැලසුමේ තිබුණ ඉදිරිගාමී පැති

එවකට ජනප්‍රිය වෙලා තිබුණ BAC-111 සහ DC-9 ගුවන් යානා වල එන්ජින් තිබුණේ වලිගයේ. ඒ නිසා කැබින් එකේ පිටුපස කොටසේ මහ සද්දයක්, දෙදරීමක් නිබඳවම තිබුණා. ඒත් බෝයිං 737 වර්තමානයේ බොහෝ ගුවන් යානා අනුගමනය කරන තටුවේ යට එන්ජින් සවි කළා. මේ නිසා ගුවන් යානාව කලින්ට වඩා පහත් වුණා. ගුවන් යානයට බඩු පැටවීමත්, බඩු බෑමත් එනිසා ලේසි වුණා. ඒ වගේම මේ ගුවන් යානාවට තෙල් ගැහීමත් එවකට තිබුණ අනෙක් යානා වලට වඩා පහසු වුණා. මේ කටයුතු නිසා අනෙක් ගුවන් යානාවකට වඩා බෝයිං ගුවන් යානාවට මගීන්, බඩු පැටවීම සහ බෑම සඳහා ගතවන කාලය විනාඩි 90 සිට 40 දක්වා අඩු කරගන්නට පුළුවන් වුණා.

 

4. නියමුවන් දෙදෙනෙක් මගින් පාලනය

බෝයිං 737 එන්නට පෙර තිබුණ ගුවන් යානා වලට ගුවන් යානා ඉංජිනේරුවකු සහ තවත් පයිලට්වරු ගුවන් ගමනේදී සහාය වුණා. ඒත් බෝයිං 737 යානාවේදි ගුවන් නියමුන් දෙදෙනෙක් පමණක් ගුවන් ගමනකට එකතු කරගන්නා නව කඩඉමක් සම්පූර්ණ කරගත්තා. මුල් කාලීනව ගුවන් යානා වලට නැවිගේටර් එහෙම නැතිනම් ගුවන්යානයේ මාර්ගය සොයාගන්නා අයෙකුත් ඇතුළත් වුණා. ඒත් තාක්ෂණයේ දියුණුව සමග 1970 කාලයේ ජනප්‍රිය වුණු බෝයිං 737 යානා වලදී ඒ කටයුතු යන්ත්‍රානුසාරයෙන් සිදුවුණා.

 

5. 1984 නැවත සැලසුම්

1984 වනවිට එවකට තිබුණ අවශ්‍යතාවයන් හා සම්බන්ධ වන විදිහට බෝයිං 737-300 අංකයෙන් නව ගුවන් යානා සැලසුමක් ඉදිරිපත් වුණා. කලින් තිබුණ බෝයිං මුල් පරම්පරාවේ ගුවන් යානාවලට වඩා මේ යානයේ හොඳ හැටි ඉඩ පහසුව තිබුණා. මගීන් 150ක් ගෙනියන්නට හැකියාව ලැබුණා. එයාබස් සමාගමේ ජනප්‍රියතම එයාබස් A320 ගුවන් යානාව එළිදැක්වුණෙත් මේ 1984දී ම තමයි. අලුත් 737-300ට අලුත්ම එන්ජිමකුත් සවි වුණා.

 

6. පසුව නව එළිදැක්වීම 

 737-200 මාදිලිය සහ 737-400 යන මාදිලි දෙක 1988 දී බෝයිං සමාගම මගින් එළි දැක්වුණා. මෙයින් ඇමරිකාවේ සවුත්වෙස්ට් ගුවන් සමාගම 737-200 මාදිලියෙන් ගුවන් යානා 732ක් ඇණවුම් කළා. එකම වර්ගයෙන් ගුවන් යානා මිලදී ගැනීම පසුකාලීනව ඉන්දියාවේ ඉන්ඩිගෝ සමාගමත් සිදුකළා. එමගින් ගුවන් යානා මෙහෙයුම් සහ නඩත්තු වියදම් අඩු කරගත්තා. එයාබස් සමාගම කරළියට එන්නේ 1980 කාලයේදී. ඉන් පස්සේ බෝයිං සමාගමට අලුත් එයාබස් තරඟකාරයත් සමග තරඟ කරන්නට වුණා. දැන් 2020 කාලය වනවිට ගුවන් සමාගම් වලට චීන සහ රුසියානු ගුවන් සමාගම් දෙකක් එකතු වෙලා තියෙනවා.

 

7. 1990 ගුවන් අනතුරු

1990 කාලයේදී බෝයිං 737 යම් පසුබෑමකට ලක් වුණා. 1991 දී බඩු ගෙනියන ගුවන් යානයක් අනතුරට ලක් වෙලා 25 දෙනෙකු මිය ගියා. 1994 දී යූ එස් එයා ගුවන් යානයක් පිටස්බුර්ග් වලදි අනතුරට ලක් වෙලා 132 දෙනකු මළා. මේ ගුවන් අනතුරු දෙකම ගුවන් යානයේ වලිගයේ කොටසක් හදිසියේ ක්‍රියාත්මක වීම නිසා සිදුවුණා.  මේ පරීක්ෂණ සිදු වෙද්දීම 1996 දී මේ දෝෂය නිසාම තවත් ගුවන් යානයක් අනතුරට ලක් වුණා. ඒ නිසා 1999 දී එෆ් ඒ ඒ නම් ගුවන් අධිකාරිය බෝයිං 737 ගුවන් යානා නැවත සැලසුම් කරන්නට අණ දුන්නා. මෙම අනතුරු බෝයිං 737-8 මැක්ස් අනතුරට කලින් බෝයිං සමාගම මුහුණදුන් තාක්ෂණික දෝෂයක් නිසා සිදුවුණු ප්‍රබල ගුවන් අනතුරු වෙනවා.

 

8. වර්තමානය

2012 වර්ෂයේදී අලුත් මැක්ස් සහ නව මාදිලි සඳහා බෝයිං සමාගමට ඇනවුම් 10,000කට වඩා ලැබුණා. එය ගුවන් යානා සඳහා ලැබුණු විශාලතම ඇනවුම් ප්‍රමාණයක්. දැනට ලෝකයේ ගුවන්ගත වන ගුවන් යානා අතරින් තුනෙන් එකක්ම සමන්විත වෙන්නේ බෝයිං 737 ගුවන් යානාවලින්. ලෝකයේ කෝවිඩ් වැනි හදිසි මහා අනතුරක් නොවී නම් බෝයිං 737 යානා තත්පර දෙකකට වතාවක් ලෝකයේ කෙහෙන් හෝ ගුවන්ගත කරනවා, නැතිනම් බානවා. 737-8 මැක්ස් කියන්නේ ඇමරිකානු බෝයිං සමාගමට වැදුණු තද පහරක්. ඉතින් විශාල සමාගම් වලට මේ වගේ වෙළඳ අභියෝග, තාක්ෂණික අභියෝග සාමාන්‍යයෙන් එල්ල වෙනවා. බෝයිං සමාගමට මේ මැක්ස් එකත් එක්ක තිබෙන කරදරය ඉවරවෙලා, බෝයිං 737 අලුත් මාදිලියක් එක්ක එන්න පුළුවන් වෙයිද? නැතිනම් බෝයිං සමාගම වෙනත් අංකයකින් නැවත ගුවන් ගමන් ලෝකයට එයිද? අපි ඒ ගැන අවදියෙන් ඉමු. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *