අපේ ප්‍රියතම රොබින් හුඩ් නාට්‍යයේ නළු නිළියන්ට ඊට පස්සෙ මොකද වුණේ?

ලංකාවෙ අපි කාගෙත් ළමා සහ ​යෞවන කාලය එක්ක බැඳිල තියන  සුන්දර මතකයක් තමයි ඒ කාලෙ ජාතික රූපවාහිනියෙන් පෙන්නපු රොබින් හුඩ් ටෙලි සීරීස් එක. 1984දි මුල් වරට එංගලන්තයේ විකාශ​ය වෙච්ච මේක ලංකාවෙත් කීප වතාවක්ම නැවත නැවත පෙන්වපු නිසා පරම්පරා ගණන​ක ලාංකිකයො මේක රස වින්දා. මේ හුඟක් චරිත රොබින් හුඩ් නාට්‍යයෙන් පස්සේ අපිට දකින්න ලැබුණේ නැහැ. අන්න ඒ නිසා අපි හිතුවා මේ නාට්‍යයෙන් පස්සේ ඒ අයට ​මොකද වුණේ? දැන් ඒ අය මොනවද කරන්නේ වගේ තොරතුරු ටිකක් ඔබට ගෙන එන්න.

 

1. පළමු රොබින් – Michael Praed

රොබින් ඔෆ් ලොක්ස්ලි, එහෙමත් නැත්නම් කොණ්ඩෙ කළු පළවෙනි රොබින්ට රඟපෑවේ මයිකල් ප්‍රේඩ් කියන නළුවයි. වැඩියෙන්ම ජනප්‍රිය වුණෙත් මේ රොබින් තමයි. හැබැයි දෙවැනි කථා මාලාවේ අවසානයේදී රොබින් ඔෆ් ලොක්ස්ලි මිය යනවා. ඒකට හේතුව තමයි මයිකල් ප්‍රේඩ්ට බ්‍රෝඩ්වේ රංගනයට එකතුවෙන්න අවස්ථාවක් ලැබීම නිසා ඔහු රොබින් ඔෆ් ෂර්වුඩ් නාට්‍යයට සමු දීම. මයිකල් ප්‍රේඩ්ගේ බ්‍රෝඩ්වේ රංගනයන් ඔහු හිතූ තරම්ම සාර්ථක වෙන්නේ නැහැ. ඉන් පස්සේ ඔහු ටෙලි නාට්‍ය මාලා රැසකට රංගනයෙන් එකතු වෙනවා. ඔහු අවසාන වරට රංගනයෙන් එකතු වුණේ 2019දී ‘Emmerdale’ කියන ටෙලි මාලාවටයි. මේ වෙද්දි මයිකල් ප්‍රේඩ් හැටවැනි වියට ආසන්නවයි පසුවෙන්නේ.

 

2. දෙවැනි රොබින් – Jason Connery

ජේසන් කොනරි කියන්නේ සුප්‍රකට රංගන ශිල්පී ෂෝන් කොනරිගේ පුත්‍ර රත්නය. දෙවැනි රොබින් හුඩ් කතා මාලාවෙදි රොබින් ඔෆ් ලොක්ස්ලි මිය යෑමෙන් පස්සේ ඔහුගේ තැනට පත්වෙන්නේ රන්වන් කේශ කළාපයක් තිබ්බ රොබර්ට් ඔෆ් හන්ටින්ග්ඩම් කියන අලුත් රොබින්. කොහොම නමුත් තුන්වැනි කතාමාලාවෙන් පස්සේ රොබින් හුඩ් ටෙලි මාලාව හිටි හැටියේ නවතා දමනවා. ඉන් පස්සේ ජේසන් කොනරි චිත්‍රපට රැසකට තමන්ගේ දායකත්වය දක්වනවා. ඒ තරම් කැපී පෙනෙන චරිත හරහා අපිව හමුවන්නට එන්න නම් ඔහුට හැකි වෙන්නේ නැහැ. ජැකී චෑන්ගේ ජනප්‍රිය චිත්‍රපටයක් වුණු ‘Shanghai Noon’ චිත්‍රපටයේත් ජේසන් කොනරිව දකින්න ලැබෙනවා. තවම රංගන වෘත්තියේ නියැලෙන ජේසන් කොනරි මේ වන විට චිත්‍රපටි අධ්‍යක්ෂණයටත් යොමු වෙලයි ඉන්නේ. Tommy’s Honour, The Philly Kid, 51, Pandemic, The Devil’s Tomb කියන චිත්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කරල තියනවා.

 

3. මැරියන් – Judi Trott

රොබින් හුඩ් නාටකයේ හිටපු කාන්තා ප්‍රධාන චරිතය වුණු රොබින්ගේ ප්‍රියම්බිකාව මැරියන්ට පණ පෙවුවේ ‘ජූඩි ට්‍රොට්’ කියන නිළිය. මේ වෙද්දි කැමරා ශිල්පියෙකු සමග විවාහ වෙලා ඉන්න ජූඩිට දරුවන් තුන් දෙනෙකුත් ඉන්නවා. ඇය රොබින් හුඩ් හි රඟපාන්න කලින් බැලේ නර්තන ශිල්පිණියක්. ඉන් පස්සේ තමයි ඇය රංගන ශිල්පිණියක් හැටියට වෘත්තීය ජීවිතය අරඹන්නෙ. රොබින් හුඩ් නාට්‍ය හරහා අතිශය ජනප්‍රියත්වයකට පත් වුණත් ඇය ඉන් පස්සේ එක දිගට කලා නිර්මාණවලට එකතු වෙන්නේ නැහැ.  රොබින් හුඩ් විකාශනය වෙන අවධියේම ප්‍රදර්ශනය කරපු ‘Reunion at Fairborough’ චිත්‍රපටයට ඇය තම රංගන දායකත්වය සපයනවා. ඉන් පස්සේ තවත් ටෙලි නාට්‍ය සහ වෙළඳ දැන්වීම් කීපයක ඇය පෙනී ඉන්නවා. 1997 වර්ෂ​යේ නිර්මාණය කරපු ‘Painted Lady’ නම් මිනි ටීවී සීරීස් එකේ තමයි ඇය තමන්ගේ අවසන් රංගනය සනිටුහන් කරන්නේ. ඉන් පස්සේ 2016දී ඇය එක් වෙනවා රොබින් හුඩ් මාලා නාටකය ඇසුරින් නිර්මාණය කෙරුණු රොබින් හුඩ් රේඩියෝ කතාමාලාවට හඬ දායකත්වය සපයන්න. 

 

4. ෂෙරිෆ් ඔෆ් ​නොටිංහැම් – Nickolas Grace

දුෂ්ට ෂෙරිෆ්ව මතකනේ කාට කාටත්? නිකොලස් ග්‍රේස් කියන්නේ එංගලන්තයේ ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. රොබින් ඔෆ් ෂර්වුඩ් වලින් පස්සෙත් නිකොලස් වේදිකා නිර්මාණ රැසකට තමන්ගෙ දායකත්වය සැපයුවා. රොබින් හුඩ් නාට්‍යයෙන් පස්සේ ‘Napoleon and Josephin’ කියන කෙටි මාලා නාටකයටත් නිකොලස් තම දායකත්වය සැපයුවා. ‘These Foolish Things’, ‘Lorca: Death of a Poet’, ‘Tom and Viv’, ‘An Ideal Husband’, ‘Heat and Dust’ වගේ ටෙලි සහ සිනමා නිර්මාණ ඔහු රංගන දායකත්වය සපයපු ඒවා අතර විශේෂයි. නිකොලස් ග්‍රේස් මේ වන විට හැත්තෑ එක් වන වියේ පසුවන්නේ.

 

5. සර් ගයි ඔෆ් ගිස්බන් – Robert Addie

රොබින්ට සහෝදරකමකුත් තියනවා කියල කතාවක් ගිය ගිස්බන් කියන්නෙත් රොබින් ඔෆ් ෂර්වුඩ් එකේ අපිට පෙන්නන්න බැරුව හිටපු දුෂ්ට චරිතයක්. මේ චරිතය රඟදක්වපු රොබර්ට් ඇඩී කියන්නේ කඩු සටන් ශිල්පය, දුනු ශිල්පය වගේ දේවලට හැබෑ දස්කම් දක්වපු නළුවෙක්. ඒ නිසා ​බොහොමයක් රජ කතන්දරවලට ඇඩීව එකතු කරගන්න ඒ කාලෙ නිර්මාණකරුවො කටයුතු කළා. ​රොබින් හුඩ් ජනප්‍රියත්වයෙන් පස්සේ පෙන්නපු ‘විලියම් ටෙල්’ කියන ජනප්‍රිය මාලා නාටකයටත් රොබර්ට් ඇඩී එකතු වුණා. ඉන් පස්සේ 1989දී රොබර්ට් ඇඩී රංගන දිවියෙන් තාවකාලික විරාමයක් අරගන්නවා. ආයෙමත් 90 ගණන් වල මැද හරියෙ වේදිකා නිර්මාණ හරහා තමයි ඔහු නැවත පැමිණෙන්නෙ. පස්සෙ කාලෙක ලංකාවේ ස්වර්ණවාහිනියෙ (අපිට මතක විදිහට) පෙන්වපු ‘The New Adventures of Robin Hood’ ටෙලි මාලාවෙත් රොබර්ට් ඇඩී පොඩි චරිතයක් කරනවා. 2003 වසරේදී පෙනහළු පිළිකාවක් නිසා රොබර්ට් ඇඩී හෙවත් අපි කවුරුත් දන්න ගිස්බන් මෙළොවින් සමුගන්නවා.

 

6. ලිට්ල් ජෝන් – Clive mantle

සද්දන්ත ශරීරයක් තිබ්බ ‘ලිට්ල් ජෝන්’ රොබින් ඔෆ් ෂර්වුඩ් ටෙලියේ තවත් ජනප්‍රියම චරිතයක්. වේදිකා නළුවෙක් හැටියට නමක් හදාගෙන ඉන්දැද්දි තමයි ක්ලයිව් මැන්ටල් රොබින් හුඩ් නාට්‍යයට එකතු වෙන්නෙ. ක්ලයිව් මැන්ටල් රොබින් හුඩ් වලින් පස්සෙත් ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ රැසකට එකතු වුණත්, ඔහු තමන්ගේ ප්‍රියතම චරිතය හැටියට රොබින් හුඩ් හි ‘ලිට්ල් ජෝන්’ චරිතය තමයි අදටත් සලකන්නේ. ලංකාවෙත් ජනප්‍රිය වෙච්ච Alien චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටයේත් ක්ලයිව් මැන්ටල් චරිතයක් නිරූපණය කරනව. මෑතකදී අතිශයින් ජනප්‍රිය වෙච්ච ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ ටෙලි සීරීස් එකෙත් ක්ලියව් මැන්ටල් චරිතයක් නිරූපණය කළා. ​ග්‍රේට්ජෝන් අම්බර් තමයි ඒ චරිතයේ නම. ක්ලියව් මැන්ටල් ඒ චරිතය රඟදක්වපු වීඩියෝවක් පහතින් ඔයාලට බලාගන්න පුළුවන්.

 

ඒ වගේම 2016දී නිර්මාණය කෙරුණු රොබින් හුඩ් ශ්‍රව්‍ය නාටකයටද ක්ලයිව් මැන්ටල් තම හඬ දායකත්වය සැපයුවා.

 

7. නසියර් – Mark Ryan

රොබින් හුඩ් කතා මාලාවේ බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම චරිතයක් වුණු නසියර් චරිතය රඟ දැක්වුවේ ‘මාර්ක් රයන්’ විසින්. කතා බතා මොකුත් නැති කඩු සටන් කාරයෙක් වුණු නසියර්ගේ සටන් ජවනිකා එනකම් අපි ඒ කාලේ බොහොම නොඉවසිල්ලකින්නෙ හිටියෙ. මාක් රයන් රඟපෑමට අමතරව කලා අංශයේ තව ගොඩක් දේවල් වලට හවුල් වෙන කෙනෙක්. ඔහු ජනප්‍රිය චිත්‍රපට සහ නාට්‍ය කීපයකම සටන් අධ්‍යක්ෂණය කරලා තියනවා. ඒ වගේම DC කොමික්ස්වලටත් ලියලා කරලා තියනවා. සුප්‍රකට ‘Transformers’ චිත්‍රපටවල Bumblebee, Jetfire වගේ රෝබෝවන්ට හඬකැවීමෙනුත් මාක් රයන් දායකත්වය සපයල තියනවා. ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට වුණු ‘Charlies Angels’ ස​හ ‘The Prestige’ චිත්‍රපටවලත් මාක් රයන් රඟපාල තියනවා. ඒ වගේම ජනප්‍රිය ටෙලි සීරීස් එකක් වුණු ‘Black Sails’ නාට්‍යයේ ගේට්ස් කියන චරිතයෙනුත් මාක් රයන් මෑත කාලේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබන්න සමත් වෙනව.

 

8. විල් ස්කාලට් – Ray Winstone

රොබින් හුඩ් නාට්‍ය මාලාවට එකතු වුණු නළු නිළියන් අතරින් අදටත් වඩාත්ම ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඉන්න නළුවා හැටියට අපිට ‘රේ වින්ස්ටෝන්’ නම් කරන්න පුළුවන්. රොබින් හුඩ් හි රඟපාන්න එන්න කලින් ඉඳන්ම නො​යෙකුත් නිර්මාණ හරහා රේ ජනප්‍රිය වෙලා හිටියා. 1979 තිරගත කරපු ආන්දෝලනාත්මක, ප්‍රචණ්ඩකාරී චිත්‍රපටයක් වෙච්ච් ‘Scum’ චිත්‍රපටය නිසාත් රේ වින්ස්ටෝන් ගැන කතාබහක් ඇතිවෙලා තිබ්බා. රොබින් හුඩ් නාට්‍යයේ විල් ස්කාලට් චරිතය තමන්ගේ රංගන දිවියේ සන්ධිස්ථානයක් හැටියටයි රේ වින්ස්ටෝන් සලකන්නේ. රොබින් හුඩ් කතා මාලාව අවසන් වුණාට පස්සේ බොහොමයක් රොබින් හුඩ් තරු ජනප්‍රියත්වයෙන් පල්ලම් බැස්සත් රේ වින්ස්ටෝන් එහෙම වුණේ නැහැ. ඔහු චිත්‍රපට රැසක කැපී පෙනෙන චරිත රඟ දැක්වුවා. Sexy Beast, Cold Mountain, King Arthur, The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe, The Magic Roundabout, The Departed, Beowulf, Indiana Jones and the Kingdom of the Crystal Skull, The War Zone, Edge of Darkness, Ripley’s Game, සහ Noah වගේ චිත්‍රපට රැසක ඔහු කැපී පෙනෙන චරිත නිරූපණයන් කළා. මේ චරිත අතරින් බොහොමයක් ඒවා ඉතාම දුෂ්ට සහ ප්‍රචණ්ඩකාරී චරිත වීම විශේෂයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *