හිප් ෆ්ලාස්ක් එකක් පාවිච්චි කරමුද? එහෙමනම් ඊට කලින් හිප් ෆ්ලාස්ක් ගැන මේ කරුණු දැනගෙන ඉමු

හිප් ෆ්ලාස්ක් කියන්නේ මොකද්ද කියලා එක පාරටම ඔලුවට ආවේ නැතත්, ඔය හොලිවුඩ් ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් එහෙම මතක් කරගෙන බලන්න, ඒ සමහර එව්වල ඉන්න උදවිය කබාය අස්සෙන් හරි සාක්කුවෙන් හරි පැතලි බෝතලයක් වගේ එකක් ඇදලා අරන් පොඩි ෂොට් එකක් ගහන සීන් දැකලා නැද්ද කියලා. ආන්න ඒ පැතලි බෝතලයක් වගේ එකට, එහෙම නැතිනම් ෆ්ලාස්ක් එකට තමයි කියන්නේ හිප් ෆ්ලාස්ක් කියලා. ඇත්තටම මේ ෆ්ලාස්ක් එක පැතලියි විතරක් නෙවෙයි, පොඩ්ඩක් බොකුටු ගතියක් තියෙනවා බඳෙන්. ඒ කියන්නේ අර කලිසම් සාක්කුවකට එහෙම දාගත්තහම, ගාණට කකුලේ හැඩේට සෙට් වෙලා තියෙනවා.

 

ඇත්තටම අපිත් ඇතුළුව හිප්-ෆ්ලාස්ක් එකක් පාවිච්චි කරන්න කැමති කොල්ලෝ කෙල්ලෝ ඉන්න පුළුවන් සෑහෙන්න. ආන්න ඒ අයට  හිප්-ෆ්ලාස්ක් ගැන වැදගත් වෙන තොරතුරු ටිකක් තමයි මේ කියන්න යන්නේ.

 

1. කොහෙන්ද ගන්න තියෙන්නේ?

හිප් ෆ්ලාස්ක් එකක් ලංකාවේ නම් ගන්න ලේසිම ක්‍රමය තමයි ඊබේ එකෙන් ඕඩර් කරන එක. ලොකු ගාණක් යන්නෙත් නෑ. ඕන නම් හොඳම කොලිටියේ, අර ලෙදර් කේස් එකක දාපු හිප් ෆ්ලාස්ක් එකක් වුනත් රුපියල් දාහක් දෙදාහක් වෙනකොට ගන්න පුළුවන්. ලංකාවේත් ඔය සැපෝ ලයිටර්ස්, රෝලින් පේපර්ස් එහෙම ගන්න තියෙන තැන්වල සමහර වෙලාවට හිප් ෆ්ලාස්ක් එහෙමත් ගන්න තියෙනවා.

 

හැබැයි තව එකක්. සමහර නියමම වින්ටේජ් හිප් ෆ්ලාස්ක්, කැටයම් දාපු හිප් ෆ්ලාස්ක් එහෙම නම් දාහට දෙදාහට ගන්න වෙන්නෙ නෑ. එවා ඊට වඩා සෑහෙන ගණන්. හැබැයි ඔය වගේ හිප් ෆ්ලාස්ක් ගන්නේ විස්කි දාගෙන යන්න නෙවෙයි. ලස්සනට වීදුරු කබඩ් එකක සිහිවටන විදියට දාලා තියන්න.

 

2. කොයි වගේ හිප් ෆ්ලාස්ක් එකක්ද ගන්නේ?

මුලින්ම අපි උඩින් කියපු විදියට හිප් ෆ්ලාස්ක් විවිධ මිල ගණන් වලට තියෙනවා. සමහර එව්වා තියෙනවා බොහොම ලස්සන ආරක්ෂිත ලෙදර් කවරයක් එක්ක එන ඒවා. ඒවල මිල ගණන් වැඩි වුනාට, ඒ වගේම ආරක්ෂාවත් වැඩියි.

 

ඒ වගේම හිප් ෆ්ලාස්ක් එක හදලා තියෙන්නේ මොන මැටීරියල් එකෙන්ද කියන එකත් බලපානවා. ග්ලාස් වලින් හදපු හිප් ෆ්ලාස්ක් වල ඉඳලා, රිදී වලින් හදපුවා, පිව්ටර් වලින් හදපුවා, මළ නොබඳින වානේ වලින් හදපුවා වගේ සෑහෙන්න හිප් ෆ්ලාස්ක් තියෙනවා. සාමාන්‍යයෙන් වීදුරු හිප් ෆ්ලාස්ක් එකකින් ඒකට දාන ඇල්කොහොල් වල රසට කිසිම වෙනසක් වෙන්නෙ නෑ. හැබැයි ඉතින් හුරුබුහුටි නෑ. කොහොමත් දැන් කාලේ නම් හොඳම හිප් ෆ්ලාස්ක් මෙටීරියල් තේරීම වෙන්නේ ස්ටේන්ලස් ස්ටීල් නැතිනම් මළ නොබඳින වානේ තමයි!

 

ඊලඟට හිප් ෆ්ලාස්ක් එකේ ප්‍රමාණය. සාමාන්‍යයෙන් අවුන්සයක ඉඳලා අවුන්ස දහය දොළහා හෝ ඊටත් වැඩි වෙනකල් ප්‍රමාණ වල හිප් ෆ්ලාස්ක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුන්සයක හිප් ෆ්ලාස්ක් එකක් කියන්නේ එක ෂොට් එකක් දාගෙන යන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් ඒ නිසා තමන්ගේ අවශ්‍යතාවය අනුව ප්‍රමාණය තෝරගන්න එක තමයි හොඳ.

 

3. කොහේද හිප් ෆ්ලාස් එක දාගෙන යන්නේ?

ඔව්, මේක බොහොම වැදගත් ප්‍රශ්නයක්. හිතන්න ඕන තමන් හිප් ෆ්ලාස්ක් එක දාගෙන යන්නේ කොහෙද කියලා. සාමාන්‍යයෙන් අර අපි කියපු පොඩි බොක්කක් තියෙන හිප් ෆ්ලාස්ක් එක දාගෙන යන්න පුළුවන් ඩෙනිමේ පිටිපස්සේ සාක්කුවේ. එහෙම නැතිනම් කලිසමේ පැත්තේ/ඉස්සරහා සාක්කුවේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ සාක්කුවක හිප් ෆ්ලාස්ක් එක දාගෙන යනකොට ඇතුළේ තියෙන ඒවාට ශරීරයේ රස්නය පොඩ්ඩක් බලපානවා. හැබැයි අර කෝට් එකේ හරි ජැකට් එකේ හරි සාක්කුවක දාගෙන යන එකට ඔය ප්‍රශ්නේ එන්නෙ නෑ. ඒවලට කියන්නේ කෝට් ෆ්ලාස්ක්. ඒත් ඉතින් ලංකාවේ අපි කෝට් ජැකට් සාමාන්‍යයෙන් දාන්නෙ නෑනේ. කොහොම හරි, කලිසම් සාක්කුවේ දාගෙන යන්න ෆ්ලාස්ක් එකක් ගන්නවා නම්, බලන්න බොක්කක් තියෙනවද කියලා. බොක්ක නැති ෆ්ලාස්ක් එකක් සාක්කුවේ දැම්මහම නැවෙන්න, ඩැමේජ් වෙන්න පුළුවන්.

 

4. මොනවද හිප් ෆ්ලාස්ක් එකට දාන්න පුළුවන්?

හිප් ෆ්ලාස්ක් එකට ඕන නම් වතුර දාගෙන ගිහිල්ලත් බොන්න පුළුවන්. හැබැයි ඉතින් හිප් ෆ්ලාස්ක් එකට ඇත්තටම දාන්න හරියන්නේ ඇල්කොහොල් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 

 

හැබැයි ඉතින් හිප් ෆ්ලාස්ක් එකක් පාවිච්චි කරනවා නම් තියෙන පළවෙනි නීතිය තමයි, හිප් ෆ්ලාස්ක් එකට දාන්න පුළුවන් හාඩ් ලිකර් විතරයි කියන එක. මේ හාඩ් ලිකර් කියන්නේ පෘෆ් එක 80 ට වඩා වැඩි එව්වා. ඒ කියන්නේ විස්කි, බර්බන්, රම්, ජින්, බ්‍රැන්ඩි වගේ එව්වා. එහෙම කියනකොට කොඤ්ඤැක්, අරමඤ්ඤැක් වගේ එවාත් අයිතියි. කවදාවත් බියර්, වයින් වගේ ඒවා හිප් ෆ්ලාස්ක් එකක දාලා බොන්න හදන්න එපා. තේරුමක් නෑ. ඒ වගේම හාඩ් ලිකර් වලින් හැදුවත් කොක්ටේල් ජාතිත්, ක්‍රීම් ලිකර් එහෙමත් හිප් ෆ්ලාස්ක් එකකට දාන්න ගැලපෙන්නෙ නෑ. මොකද, හිප් ෆ්ලාස්ක් එකකින් සිද්ධ වෙන්න ඕන ඇල්කොහොල් හුරුබුහුටි විදියට අරගෙන යන එක විතරක් නෙවෙයි, ඇල්කොහොල් වල රසය නැති නොවෙන විදියට තිබීමත් අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක්.

 

5. හිප් ෆ්ලාස්ක් එකේ හරි පාවිච්චිය

හිප් ෆ්ලාස්ක් එකක් පාවිච්චි කරනවා නම්, ඒක පිරිසිදුව තියාගන්න එකත් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. එහෙම නැතිනම් ඒකට දාන ඇල්කොහොල් වල හොඳ රසක් තියාගන්න ලැබෙන්නේ නෑ. සාමාන්‍යයෙන් හිප් ෆ්ලාස්ක් එක පාවිච්චි නොකර දවස් කීපයක් හෝ තියෙනවා නම්, ඒකට ඇල්කොහොල් නොදා හිස්ව තියන්න ඕන. හිප් ෆ්ලාස්ක් එකට ඇල්කොහොල් දාන්නත් අර පොඩි පුනීල එහෙම තියෙනවා. ඊබේ එකෙන් ඔය හිප් ෆ්ලාස්ක් එකට ඕන කළමනා – ඒකියන්නේ පුනීලයක්, පිරිසිදු කරන උපකරණ- එහෙමත් ගන්න පුළුවන්.

 

සාමාන්‍යයෙන් හිප් ෆ්ලාස්ක් එකක් සුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් හොඳම විදියක් තමයි විනාකිරි සහ උණු වතුර සමාන ප්‍රමාණ වලින් දාලා, මූඩිය වහලා හොඳින් හොලවලා, ඊට පස්සේ වතුර දාලා හොඳින් පිරිසිදු කරගන්න එක. හබැයි නිකම් සබන් දාලා හිප් ෆ්ලාස්ක් එක සුද්ධ කරන්න නම් ඒ තරම් හොඳ නෑ.

 

6. හිප් ෆ්ලාස්ක් හොඳ පුරුදු

වෙන ඕනම දේකදී වගේම හිප් ෆ්ලාස්ක් එකක් පාවිච්චි කරනකොටත් සැලකිලිමත් වෙන්න ඕන හොඳ පුරුදු තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඕන තැනකදී හිප් ෆ්ලාස්ක් එක ඇදලා ෂොට් එකක් ගහන එක කැතයි. පොදු ස්ථාන වල හිප් ෆ්ලාස්ක් පාවිච්චි නොකිරීම හොඳයි. එතකොට හිප් ෆ්ලාස්ක් එකෙන් තමන් ෂොට් එකක් ගන්නවා නම් අනෙක් අයටත් ඕනෙද කියලා අහන එක හොඳයි. කාන්තාවන් ඉන්නවා නම් තමන් ෂොට් එක ගන්න කලින් එයාලට දෙන එක තමයි ක්‍රමේ. ලේඩීස් ෆස්ට්!

 

අනික හිප් ෆ්ලාස්ක් එකක් කියන්නේ ආඩම්බරේට පෙන්න පෙන්න ඉන්න එකක් නෙවෙයි. ඒක තියෙන්න ඕන පොකට් එකේ. ෂොට් එකක් ගන්නකොට විතරයි ඒක එලියට එන්න ඕන. අනික ෂොට් එකක් ගත්තට පස්සේ හිප් ෆ්ලාස්ක් එකේ මූඩිය තදින් වහලා තියන්න ඕනමයි. නැතිනම් ලීක් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

 

7. හිප් ෆ්ලාස්ක් නරක පුරුදු

හිප් ෆ්ලාස්ක් එකක් පාවිච්චි කරලා ඇල්කොහොල් බොන එකටත් ඇප්ලයි වෙන්නේ, සාමාන්‍ය සම්මත සමාජේ ඇප්ලයි වෙන ආචාර ධර්මම තමයි. විශේෂයෙන්ම අපි උඩිනුත් කියපු විදියට තැන නොතැන නොබලා හිප් ෆ්ලාස්ක් එක ඇදලා අරන් ෂොට් එකක් දාන එක කැතයි. එතකොට බොන වයසක නැති අයටත් හිප් ෆ්ලාස්ක් එකෙන් ෂොට් එකක් දෙන්න යන්න එපා. ඒක නොකළ යුතු දෙයක්. එතකොට ඔය හිප් ෆ්ලාස්ක් එක තිබ්බා කියලා ෂොට් එකක් දාලා වාහන එළවන එක වගේ, නීතියෙන තහනම් වැඩ නොකළ යුතුයි. හිප් ෆ්ලාස්ක් එකේ තිබ්බත් ඇල්කොහොල් කියන්නේ ඇල්කොහොල්ම තමයි කියන එක මතක තියාගන්න ඕන.

 

තව දෙයක්. තමන්ගේ යාලුමිත්තරයෙක්ට තෑග්ගක් විදියට දෙන්න වුනත් හිප් ෆ්ලාස්ක් එකක් කියන්නේ අනර්ඝ තේරීමක්!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *