කොළඹ – මහනුවර (A1) පාරේ බස් ගමන පිළිබඳ ඔබ දත යුතු කරුණු

නේක විධ බස්වලින් පිරුණු A1 පාර සෝයි එකට කරපට් අතුරලා තිබ්බට බබෙක් වගේ සැපට සැපේ යන්න බැරි අවස්ථා තියනවා. ඒ වගේ ම තව ටිකක් මේ විදියට ම යන්න තිබ්බා නම් හොඳයි කියලා හිතන වෙලාවලුත් තියනවා. කොහොම නමුත් බස් එකකට නැග්ගයින් පස්සේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ නිසා ඒ ගමන ගැන බස් එකට ගොඩ වෙන්න කලින් දැන තියාගන්න එක හොඳයි නේ.



1. A/C බස් එකක යන්න තිබ්බා නම් හොඳයි


මේ ගමන් මාර්ගයේ ඉතා ම හොඳ A/C බස් සේවාවක් තියෙනවා. ටිකට් එකේ ගාණ ඇවිල්ලා 350ක් වෙනවා. ඒක සාමාන්‍ය බස් ගාස්තුව වගේ දෙගුණයකටත් වැඩියි. හැබැයි වැඩිය වාත වෙන්නේ නැතුව සහ ඇඟට මහන්සියක් නැතුව යනවා නම් මේක තමයි තියන හොඳ ම විසඳුම. සාමාන්‍ය බස් එකක යනවට වඩා ඉක්මනින් යන්නත් පුළුවන්. නුවර ඉඳන් බස් එක ගන්නවා නම් මාර්කට් එක ගාව හරියට ම කැප්පෙටිපොළ හෝල් එක ඉස්සරහින් තමයි ගන්න පුළුවන් වෙන්නේ. වෙලාවකට ඕකේ පෝලිම තියෙනවා ධාතු බලන්න වගේ. එහෙම හරි මෙහෙම බස් එකක යන්න හිත හදාගන්න සාමාන්‍ය බස් ඕනිවටත් වඩා හේතු සපයනවා.



2. කෑම අරගෙන බස් එකට ගොඩ වෙන්න


A/C බස්වල මේ දේ කරන්නේ නැති වුණාට අනික් ඒවා කන්න කියලා මග නතර කරනවා. ඔහොම නවත්තන්නේ දංඕවිට තියෙන හෝටල් දෙකක් ගාව. මේ දෙක ම අන්තිම සවුත්තුයි. මිනිස්සුන්ගේ ප්‍රියමනාප බව, කෑමවල කොලිටිය, ගණන් කියන හැම අතින් ම චාටර්. ප්ලේන්ටියක්වත් බොන්න තරම් වටින්නේ නෑ. මේ කඩවල ඇති සමහර බීම කිසිම ප්‍රමිතියක් නැති සීනි ගොඩවල් විතරයි. ඒක නිසා මග දී හැදෙන බඩගින්නට කලින් ම සූදානම් වෙලා දෙයක් ගන්න.



3. රස්තියාදුව මගහරින්න


ඔය කලින් කියපු කඩ දෙකේ කන්න මෙලෝ දානයක් නැතත් පළමු ඡන්ද ප්‍රතිඵලේ නිකුත් කරන්න යන වෙලාවට සමාන වෙලාවක් ඔතන රැඳෙනවා. උදේ 9න් පස්සේ වගේ බස් එකට නැග්ගොත් අනිවාර්‍යයෙන් ඔතන නවත්වනවා. ඉතින් අන්න ඒ නිසා සාමාන්‍ය බසයක යනවා නම් පුළුවන් තරම් උදෙන් ගමන යන්න බලන්න. එතකොට ඔතන නතර කරගෙන ඉන්නේ නැහැ. අනික් දේ තමයි ඉතින් ට්‍රැෆික්. කොළඹ පැත්තට වෙන්න යක්කල වගේ ම නුවර පැත්තට වෙන්න කිරිබත්කුඹුර කියන්නේ ට්‍රැෆික් සෙට් වෙන ආකර. ඒ නිසා උදෙන් ම වැඩේ කරගන්න තරමට හොඳයි.



4. සෙනග මගින් බහින තැන්


කොළඹ ඉඳන් නුවර පැත්තට එනවා නම් බැලුම්මහර, යක්කල, නිට්ටඹුව හරියෙ දී බහින කට්ටියක් ඉන්නවා. එයාලාට දුර ගමන් බස් එකක යන එක වෙලාව ඉතුරු කරවනවා. ඊට අමතර ව ගොඩක් දෙනෙක් මාවනැල්ල හරිය වෙනකොට බැහැලා ඉවරයි. එතන ඉඳන් නුවරට යන්න අලුතින් කීප දෙනෙක් නගිනවා. එතකොට නුවර ඉඳන් කොළඹ පැත්තට එනවා නම් කෑගල්ල, වරකාපොළ හරියෙ දී සෙනග බහිනවා. අනික් තැන තමයි කඩවත. මේ පාරේ හිටගෙන යන එක අමාරු වැඩක්. ඒ බව කොන්දොස්තර මහත්තයත් දන්න නිසා මේ ළඟ බහින උදවිය ව නැගිටුවලා මුළු ගමන ම යන කෙනෙක්​ට ඒ ආසනය දෙනවා.



5. ටිකට් එක ප්‍රවේශම් කරගන්න


කොළඹ-නුවර ගැන කතා කරාට මේ පාරේ වෙන පැති රාශියකට යන බසුත් යනවා. ජනාකීර්ණයි වගේ ම බස්කීර්ණයි. ඉතින් මේ බස්වල ටිකට් එක ගන්න යන්නේ නැතුව සමහරු හොරෙන් යනවා. අර කිව්ව ජනාකීර්ණ ගතිය නිසා ම ද මන්දා මෙහෙම ටිකට් ගත්ත එක නැති එක හොයන්න ටිකට් පරික්ෂා කරන මහත්තුරු ඉන්නවා. කොයි වෙලේ ද කියන්න බෑ බස් එකට නැගලා ටිකට් එක ඉල්ලුවොත් පෙන්නන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි. ටිකට් එක විසි කරන්න නම් එපා. කොන්දොස්තර මහත්තයට අමතක වුණා නම් කියලා හරි ටිකට් එකක් ඉල්ලගන්න.



6. ගමනාන්තය පිළිබඳ සැලකිලිමත් වෙන්න


නුවර පැත්තේ ඉඳන් කොළඹට එනවා නම් ආය ගින්නක් නෑ කෙලින් ම පිටකොටුවට එන බව දන්නවා. කොළඹ ඉඳන් නුවරට යන බස් එක වෙලාවකට පේරාදෙණිය පාරෙන් ඇවිත් ගුඩ්ෂෙඩ් එකට සේන්දු වෙන විදියට යනවා. තවත් ඒවා කෙලින් පාරේ යනවා නුවර මාර්කැට්ටුව පැත්තට වෙන්න. නුවරට ළං වුණා ම නැත්තන් බස් එකට නැග්ග ගමන් කොන්දොස්තර අයියගෙන් අහන්න ඕනි ගුඩ්ෂෙඩ් යනව ද යනවා නම් කොයි පාරෙන් ද යන්නේ. පේරාදෙණිය කැම්පස් එක පැත්තෙ න් ද එහෙමත් නැත්නම් ගන්නොරුව පැත්තෙන් ද කියලා.



7. ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න


කොයි බස් පාරක ගියත් කියන්න තියෙන දෙයක් තමයි මේක. විශේෂයෙන් ඉතින් මේකට කියන්න වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හෙම යන නිසා. තමන්ගේ ලැප්ටොප් එක එහෙම අතන මෙතන දාන්නැතුව කොයි වෙලෙත් ළඟ තියාගන්න ඕනි. අනික රටේ ප්‍රධාන නගර දෙකක් යා කරන මාර්ගයක් නිසා සැක උපදවන විදියට හැසිරෙන අය ඉන්නවා නම් කොන්දොස්තරවයි ඩ්‍රැයිවර් උන්නැහේවයි දැනුවත් කරන්න. විශේෂයෙන් ම මේ වගේ කාලයක දී තැන නොතැන කොතැන ද කියන්න අපිට බැහැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *