මානසික රෝග කිව්වාම අපි බොහෝ අයගේ මනස වෙනමම කඩා වැටෙනවා. ඒත් මානසික සෞඛ්‍යය කියන්නේ ජීවිතයට බොහොම වැදගත් දෙයක්. මානසික අවුල් අපේ ජීවිතයේ ඇතිවෙන මානසික කඩාවැටීම් නිසා වගේම සිරුර තුළ ඇතිවන මොළයේ වෙනස්කම්, හෝමෝන වෙනස්කම් නිසාත් ඇතිවෙන්නට පුළුවන්. දරුවකු ඉපදීමෙන් පසුව මවට ඇතිවෙන මානසික පීඩන තත්ත්වය බොහොම සුලභ තත්ත්වයක්. ඒ්ත් අලුත උපන් දරුවාට අවධානය යොමු කරනවා මිස බොහෝ දෙනාට දරුවාගේ මව කෙරේ තියෙන අවධානය අඩුයි. ඉතින් මවට ඇතිවෙන මේ තත්ත්වය ගැන අපි සොයා බලමු.
1. දරුවකු බිහිවීමෙන් වෙනස්වන ජීවන රටාව
අලුත් දරුවෙකු පවුලකට එකතු වීම කියන්නේ අප්‍රමාණ සන්තෝශයක්. ඒ අලුත් දරුවා බිහිවීමේ ප්‍රීතිය මවට විතරක් නෙමෙයි, පවුලේ අයටත් එකසේ විඳ දරාගන්න ලැබෙනවා. මේ දරුවා බිහිවීම එක්ක අම්මාට වගකීම් ගොඩක් පැවරෙනවා. දැන් නම් මව විතරක් නෙමෙයි, පියාත් දරුවාගේ කටයුතු වලට, බිරිඳගේ කටයුතු වලට සහයෝගය දෙනවා. එතෙක් නිදහසේ බොහොම සැහැල්ලුවෙන් ඉඳපු යුවතියකට වගේම, බොහොම සීරියස් විදිහට ජීවිතේ ගැන හිතපු කාන්තාවන්ට පවා මේ ඇතිවන නව වෙනස ටිකක් දරාගන්නට අපහසු වෙනවා. ඒකට ජීවන රටාව විතරක්ම නෙමෙයි, ප්‍රසූතියෙන් පසු ඇතිවෙන හෝමෝන වෙනස්වීමුත් බලපානවා.
2. මානසික සංකූලතා සහ විශාදය
දරුවා බිහිවී සති දෙකක් ඇතුළත කොහොමත් මානසික පීඩනයකට බිරිය ලක්වෙනවා. එතනින් එහාට මාස හයක් හතක් දක්වා විහිදෙන විශාද තත්ත්වයන් මවට ඇතිවෙන්න පුළුවන්. මේ තත්ත්වයන් බොහොම දුලබ තත්ත්වයන් නෙමෙයි. ලංකාවේ වගේම ලෝකයේම මවුවරුන් අතර 70%කට පමණ ප්‍රසූතියෙන් පසු මානසික ව්‍යාකූලතාවයන් හට ගන්නවා. එයින් විශාදය මට්ටමට එන්නේ නැතුව තත්ත්වය සමනය කරගන්න නම් පවුලේ අයගේ සහයෝගය මවට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් සැමියාගේ සහයෝගය බිරියගේ මෙම මානසික පීඩන තත්ත්වය සමනය කරන්න බොහොම උපකාරී වෙනවා.
3. රෝග ලක්ෂණ
ප්‍රසූතියෙන් පසු ටික කාලයක් ඒ කිව්වේ සති දෙකක් විතර මේ පහත තියෙන ලක්ෂණ බොහෝවිට මව විසින් පෙන්වනවා. ඊට අමතරව මාස 6-7ක් දක්වා මේ තත්ත්වය පවතිනවා නම් විශාදය තත්ත්වයක් වෙන්නත් පුළුවන්.
- අසන්තෝශය සහ අප්‍රාණික ගතිය,
- පරාජිත ස්වභාවය, බලාපොරොත්තු රහිත බව.
- නිතර දුක් වීම සහ කඳුළු සැලීම.
- ඉක්මනින් තරහ ගැනීම.
- නින්ද පමා වීම. රාත්‍රියට දරුවාට කිරි දුන් පසු මවට ඇතිවන නින්දේ අපහසුකම්.
- ආහාර රුචියේ ඇතිවන වෙනස් කම්.
- සමාජ ආශ්‍රයෙන් ඈත් වීම.
- තමා ගැන නොසලකා වැඩ කිරීම.
- සාමාන්‍ය විනෝදාංශ වලින් සතුටක් නොලැබීම.
- තර්කානුකුලව සිතන්නට ඇති හැකියාව තරමක් අඩු වීම.
වගේ රෝග ලක්ෂණ රැසක් අලුත් අම්මලාට ඇතිවෙන්නට පුළුවන්. මේවා හරියටම මේ තත්ත්වය කියලා ලැයිස්තු කරන්නට බැහැ. ඒත් ළඟ ඉන්න සමීප කෙනෙක්ට නම් ඇයගේ මේ වෙනස්කම් හොඳටම දැක ගන්න පුළුවන්.
4. සැමියාගේ වගකීම
දරුවකු ලැබුණ පසු මවට උපදෙස් දෙන්නට නම් බොහෝ පිරිසක් ඉන්නවා. ඒත් ළඟින් ඉඳන් වැඩ ගොඩක් තියන බිරියගේ වැඩ ලෝඩ් එක අඩු කරලා ඇයව සතුටින් තියන්න පුළුවන් හොඳම කෙනා තමයි සැමියා. ඔහුට ඇයගේ හැඟීම් ගැන මනා වැටහීමක් තියෙනවා. ඒ වගේම ඇගේ හැසිරීමේ වෙනස්කම් ගැනත් හොඳ කියවීමක් තියෙනවා. ඒ එක්ක ඇගේ වැඩකටයුතු වලට උදව් වෙලා, දරුවා නිසා ඇතිවෙන මානසික පීඩනය අඩු කරන්නට ඔහුට පුළුවන්. දරුවා එක්ක එන අලුත් වගකීම්, ඒ කිව්වේ දරුවා රෑට නිදිකරවීම, දරුවාගේ ඇඳුම් පැළඳුම් සේදීම, දරුවා පිරිසිදු කිරීම, නිවසේ කෑම සකස් කිරීම වගේ දේවල් වලට සැමියාට කෙලින්ම සහාය වෙන්න පුළුවන්. ඒ වගේම තත්ත්වය අවබෝධ කරගෙන බිරිඳ සමග වඩාත් මෘදු ලෙස කටයුතු කරන්නත් සැමියා හිතට ගන්නට ඕනි.
5. ප්‍රතිකාර කරා යොමුවීම
පැහැදිලිවම මේ දරු උපතෙන් පසු මවට ඇතිවෙන මානසික අවුල් තත්ත්වය චර්යා වෙනස්කම්, පරිසර වෙනස්කම් මතම පමණක් නෙමෙයි, මවගේ හෝමෝන වෙනස් වීම් අනුවත් රඳා පවතිනවා. ඒ අනුව ඇයගේ වෙනස්කම් වලට පරණ පුරුදු විදිහට බැනලා කෑ ගහලා මේ තත්ත්වය ගොඩදාගන්න බැහැ. දිගින් දිගටම මවගේ කනස්සලු සහගත අවුල් තත්ත්වය තියෙනවා නම් මානසික වෛද්‍යවරයෙක්ට පෙන්වන එක වඩාත් යෝග්‍ය වෙනවා. මේ සඳහා දේශීය ගොඩ වෙදකම් තිබුණත්, සිය දහස් වාරයක් මේ තත්ත්වයන් ගැන අහලා තියෙන, ඒවාට විද්‍යාත්මකව මූණ දීලා ප්‍රතිකාර කරන මානසික වෛද්‍යවරයෙක් හමු වීම තමයි සුදුසු පියවර වන්නේ.
6. පවුලේ අයගේ කාර්යභාරය
අලුතින් මවක් වෙන යුවතියක් නම් වඩාත්ම සමීප වෙන්නේ එයාලගේ පවුලේ උදවියට. ඒ වගේම සැමියාගේ පැත්තේ මව, පියා සහ ඥාතීනුත් දරුවාට තියෙන සෙනේහය නිසාම දරුවා ගැන වගේම අම්මා ගැනත් සොයල බලනවා. ඒත් මේ සොයාබැලීමෙදි එයාලත් මවට මේ කාලේ තියෙන අමතර වැඩ මොනවද? ඒ වගේම ඇතිවෙන මානසික අවුල් මොනවද කියලා අවබෝධයෙන් ඉන්නට ඕනි. අපි හැමෝම ආසයි දෙයකට පිටින් ඉඳන් උපදෙස් දෙන්න. ඒත් එතනින් එහාට ගිහින් අලුත් දරුවා උපන්නට පස්සේ දරුවා සම්බන්ධ කටයුතු වල, ගෘහ ජීවිතේ ඔවුන්ගේ යම් අවුල් තියෙනවා නම් බෙහෝම මෘදු ලෙස හිත තැලෙන්නෙ නැතිවෙන්න ඔවුන්ට ඒ දෙවල් කරගන්න උදව් කරන්න පුළුවන් නම් වටිනවා.
7. නැවත ජීවිතය යථා තත්ත්වයට ගන්නට උදව් දීම
දරු ප්‍රසූතියෙන් පසු සාමාන්‍ය ජීවිතයට ඉක්මනින්ම හුරු වීමෙන් මේ පසු ප්‍රසව මානසික අවුල් තත්ත්වය තරමක් සමනය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ව්‍යායාම කිරීම, සිරුරේ කායික සනීපදායක තත්ත්වය වැඩිදියුණු කරගැනීමෙනුත් මවගේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු වෙන්න තල්ලුවක් ලැබෙනවා. කලින් තිබුණු සමාජ ජීවිතයේ මිතුරු සමාගම්වල ආශ්‍රය, කාර්යාල ජීවිතය නැවත ආරම්භ කරන්න පුළුවන් නම් ඒ තුලිනුත් දරුවා නිසා ඇතිවන මානසික අවුල් තත්ත්වයන් තරමක් හෝ ඈත් වෙනවා. ඉතින් මේ විදිහට මවක් විදිහට තියෙන විශාල වගකීම් ගොඩක් ගැන මවට නිතරම පීඩනය එල්ල කරන්නේ නැතිව ඇයටත් සතුටින් ඉන්නට, ෆිට් එකේ ඉන්නට ඇගේ ජීවිතයට සතුට ගේන දේවල් වලට සහයෝගය දෙන්නත් ගෙදර අයට වගකීමක් තියෙනවා.
ආදරය, ස්නේහය කියන්නේ ලැජ්ජා විය යුතු කාරණා නෙමෙයි. මිනිස්සු විදිහට අපිට හැඟීම් ඇතිවීම වගේම හැඟීම් ප්‍රකාශ කිරීමත් එක සේ වැදගත්. අලුත් දරුවා නිසා පීඩනයෙන් ඉන්න මවට කලින්ටත් වඩා ආදරය, සෙනෙහස, රැකවරණය අවශ්‍ය වෙනවා. එයා තනිවෙලා නැහැ, එයා එක්ක හැම දේකදිම ළඟින් ඉන්නවා කියන හැඟීම එයාට ඇතිකරන්නට මහන්සි ගන්නට ඕනි. ඒ එක්ක ඇයට සමීප වෙලා ඇගේ ළඟින්ම නිතරම සෙවනැල්ලක් වගේ ඉන්නවා කියලා පෙන්වන්න සැමියාට පුළුවන් වෙන්නට ඕනි. ඒ වගකීම ගෙදර සමීප අයටත් තියෙනවා. ඒ වගේම තත්ත්වය ටිකක් වැඩි නම් එය මනාව අවබෝධ කරගෙන මානසික ප්‍රතිකාර කරා යොමුවෙන්නත් ඕනි.
Leave a Reply