සංචාරය කියන්නේ විනෝදය, සැහැල්ලුව ලැබෙන සුන්දර අත්දැකීමක්. ඒත් සංචාරයකදී අපි හැමෝටම පොඩි අවදානමකට මුහුණ දෙන්න වෙනවා. අපිට ගෙදර කියන්නේ කොහොමත් සැහැල්ලු තැනක්. සංචාරයක් කියන්නේ අපිට ආගන්තුක තැනක්. එහෙම තැනකදි හමුවන අය ගැන සීයට සීයක් ම විශ්වාසය තියන්න අමාරුයි. ඒ එක්ක ලෝකේ ප්‍රකට සංචාරක ස්ථාන සෑම එකකම පාහේ සංචාරකයින් ඉලක්ක කරගත් වංචා, රැවටීම්, මුදල් ගසාකෑම් ආදිය සිද්ධ වෙනවා. අපි මේ සංචාරකයින් ඉලක්ක කරගන්නා වංචා ආදියෙන් සුලභ ඒවා කිහිපයක් ගැන සොයා බලමු.
1. පාරෙදි හමුවෙන උදව්කරුවෝ
සංචාරක ස්ථානයකට ගියාම සමහර රටවල ජනතාව හරිම මිත්‍රශීලියි. ඉන්දියාව, නේපාලය තායි රට වගේ තැන්වල මිනිස්සු කොහොමත් මිත්‍රශීලියි. ඒත් අපි ඉලක්ක කරගෙන මොනාහරි ප්‍රශ්න අහලා අපි එක්ක බලෙන්ම වගේ මිතුරු වෙන්න එන අය බොහොමයක් ඒ එන්නේ වාසි බලාගෙන. ඒ අය අපිට ලාබ හෝටල් බුක් කරල දෙන්න අහනවා. ඒ අය අපිට යන්න තැන් ගැන නිර්දේශ කරලා ඒ තැන්වලට යං කියලා කතා කරනවා. තවත් අවස්ථාවලදි ඒ අයගේ ආකර්ෂණීය සටහනක් අරගෙන අපිව ඒ තැන් කරා එක්ක යන්නත් හදනවා. ඒ වගේ තැන්වලදි බොහෝවිට මේ කට්ටිය කරන්නේ ඒ අදාළ දේවල් වලින් විශාල කමිෂන් තියලා අපිට දේවල් ඔෆර් කරන එක. අපිට හෝටල කාමරයක් ගන්න පුළුවන් ගාණ වගේ කිහිප ගුණයක ගාණකට එයාල ලාබයි කියලා අපිට එච්චර හොඳ නැති තැන් පෙන්වනවා. ඒ නිසා අපි අදාළ තැනකට ගියාම, විශේෂයෙන් ප්‍රසිද්ධ සංචාරක ඩෙස්ටිනේශන් එකකට ගියාම පාරේ තොටේ යද්දි හමුවෙන බලෙන් උදව් කරන්න සැරසෙන උදවියගෙන් පරිස්සම් වෙන්න ඕනි.
2. අපි අද වහලා
තායිලන්තේ ග්‍රෑන්ඩ් පැලස්, ඉන්දියාවේ ටජ් මහල්, නේපාල් ලුම්බිණි වගේ වැදගත් තැන් බලන්න ගියාම වෙන සුලබ වංචාවක් තමයි අද වහලා කියන වංචාව. ඒ අය කියන විදිහට අද ඒ ප්ලේස් එකට නිවාඩු දවසක්. එයාල ලඟ ඒ වෙනුවට බොහොම කදිම වෙනත් තැනක් තියෙනවා. ඒ තැන බලාකියාගෙන එන්න පුළුවන් ලේසියෙන්ම කියලාත් ඒ උදවිය මවලා කියනවා. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රකට තැන් වහලා නැහැ. සමහර වෙලාවට වහපු ගේට්ටුවක් ලඟට එයාල අපිව එක්කරගෙනත් යනවා. ඉතින් හරිහමන් පොලිස් නිලධාරියෙක්, සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් අහලා දැනගන්නේ නැතුව ඒ වගේ රැවටිලිකාරයින්ට රැවටෙන්න හොඳ නැහැ. ඒ වගේම ප්‍රසිද්ධ තැනකට යනවා නම් ඒ තැන හැමදාම ඇරලද? වහනව නම් ඒ මොන දවස්වලටද කියන එක ගැනත් හොයාල බලලා යන්න ඕනි.
3. විශේෂ ආට් ගැලරි සහ කෑම හල්
සමහර වෙලාවට විවිධ ඒජන්තයින්ගෙන් සංචාර බුක් කරගත්තාම ඒ අය කෑම කන්න නවත්වන භෝජන ශාලා එහෙම අධික මිල අය කරන්නේ. අපේ බස් නවත්වන තැන්වල හෝටල වලටත් වඩා කිහිප ගුණයක මිල අධික කෑම තියෙන තැන්වල නවත්වලා ඒවා අපිට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඒ තැන්වලින් කන්න ගියොත් විකිණෙනවා. ඒ වගේම ඔය සංචාර වෙන් කරගත්තාම තවත් වෙන දෙයක් තමයි එයාල කියන කඩසාප්පු, සිහිවටන සාප්පු ආදියට අපිට යන්න සිද්ද වෙන එක. ඒ වගේ තැන්වලට ගියාම අපිට නොවටිනා ගණන් වලට බඩු බාහිරාදිය ගන්න කියනවා. සංචාරය පැකේජ් එකක් විදිහට ලාබ වුනත් මේ විදිහට වාත සෙට් වෙන්න ගත්තාම ටිකක් වැඩිපුර ගෙවලා හරි විශ්වාස කරන්න පුළුවන් පැකේජ් එකක්, විශ්වාස කරන්න පුළුවන් ටැක්සි සේවාවක් පාවිච්චි කරන එක වාසියි කියල හිතෙනවා.
4. ත්‍රීවිලර් ජාවාරම්
දැන බැංකොක්වල හෙම ත්‍රීවිලර පාවිච්චිය සැහෙන අඩු වෙලා. මොකද මිනිස්සුන්ගෙන් වැඩි මිල අය කරන නිසාම මිනිස්සු මෙහෙ ඌබර්, පික් මී වගේ ඒ රටවල තියෙන ඔන්ලයින් ටැක්සි සේවාවන්ට හුරු වෙලා. ඔන්ලයින් ටැක්සි සේවාවන් තියෙනවානම් ඒවා තමයි ලාබම. මොකෝ ඒ එන කෙනා දන්නේ නැහැ සංචාරකයෙක්ද නැද්ද කියලා. අපි අදාළ තැන ගැහුවම අදාළ මිල වැටෙන නිසා හරිම ලේසියි. ඉන්දියාවේ නගර වලත් මේ ත්‍රී වීලර් තිබුනාට දැන් කාර් රියවල ටැක්සි සේවාව ත්‍රී වීලර් වලට වඩා ජනප්‍රියයි. ත්‍රී වීල් තිබ්බත් ලංකාවේ වගේ එක්කෝ ඒවායේ මීටර කැඩිලා. නැත්නම් වටේ පාරකින් එක්කරන් ගිහින් ලොකු මිලක් අය කරනවා.
5. යාචකයින් සහ පෙත්සම් අත්සන් කරන්නන්
ඉන්දියාව වගේ රටකදි යාචකයින් කියන්නේ සංචාරකයින් විතරක් නෙමෙයි, ඒ රටේම මැද පන්තියේ මිනිස්සුන්වත් අපහසුතාවයට පත් කරන පුද්ගල පිරිසක්. ඒ වගේම ප්‍රංශය වගේ රටවලදි පෙත්සම්කාරයෝ සංචාරකයින් පස්සෙන් එනවා. මිහිතලය සුරැකීම, ගෙවල් නැති අයට උදව් කිරීම වගේ හේතුවලට එයාල පෙත්සම් අත්සන් කරනවා. ඒත් පෙත්සම් අත්සන් කළාට පස්සේ අදාළ වැඩේට ආධාර ඉල්ලනවා. ඒ වගේ දේවල්වලටත් පැටලෙන්නෙ නැතුව පාඩුවේ යන එක කෝකටත් හොඳයි. මියන්මාරය වගේ රටවලදි දරුවන් වඩාගත් ස්ත්‍රීන් දුක්මුසු පෙනුමෙන් ඇවිත් ළදරු කිරිපිටි ටින් එකක් අරන් දෙන්න කියලා ඉල්ලනවා. දවසකට ඒ විදිහට කිහිප දෙනෙකුගෙන්ම මිල අධික ළදරු කිරිපිටි ගන්නා ඒ සිඟන යුවතියන් හැන්දෑවට ඒ කිරිපිටි ටින් ඒ අදාළ ෆාමසියටම දීලා ලොකු මුදලක් හරිහම්බ කරගන්නවා. ඒ නිසා රට ගිහින් සුද්දා වෙන්න බලාගෙන ලොකු දන් පින් කරන්න යන්නෙත් ටිකක් පරෙස්සමෙන්.
6. සල්ලි මාරු කරගැනීම
මේක ඇත්තටම ATM වලින්ම වංචා වෙන සිස්ටම් එකක්. අපි යම් මුදලක් මාරු කරද්දි ඒ රටේ අදාළ බැංකු වලින් විශාල මුදලක් අයකරගන්නවා. නේපාලයේදී නම් අමතර නේපාල රුපියල් 500ක් එක් ගනුදෙනුවකට අය වෙනවා. තායි රටේදි බාත් 300ක් වැඩිපුර අය වෙනවා. ඒකත් හැම ATM එකේම එක විදිහ නැති වෙලාවලුත් තියෙනවා. මේක මේ පොඩි රටවල විතරක් නෙමෙයි, එක්සත් රාජධානිය වගේ රටවලට ගියත් අපිට මුහුණ දෙන්න වෙන ගැටළුවක්. වඩාත්ම වාසි පහසු දේ තමයි ලංකාවෙ කොළඹ කොටුව හෝ එවැනි ලාබෙට සල්ලි මාරු කරන තැනකින් සල්ලි ඩොලර් හෝ අදාළ මුදල් ඒකකය බවට පත් කරගෙන යන එක. එතකොට ඒ රටේත් තියෙන ඒ වගේ පොට් එකකින් නැවත ඒ රටේ සල්ලි වලට හරවගන්න පුළුවන්.
7. සොරාගන්නන්, පික් පොකට්කරුවන්
බ්‍රසීලය කියන්නේ සංචාරකයින් වැඩිපුරම ඇදෙන ලස්සන රටක්. බ්‍රසීලයේ රියෝ නගරය සංචාරකයින්ගෙන් පික් පොකට් ගැහීම් ගැන අපකීර්තියට ලක් වෙලා තියෙනවා. මේක යුරෝපය පුරාත් තියෙන උවදුරක්. ඔයාල ලංකාවේ බස් කෝච්චිවල ඇවිදින සංචාරකයෝ දැකලා තියෙනවා නම් ඔවුන්ගේ මලු වලට ඉබ්බෝ දාලා ආරක්ෂා කරගෙන ඉන්න බව පෙනේවි. රටකට යනවා නම් ආරක්ෂාවට එහෙම ලොක් කරගෙන වැඩිපුර වැදගත් වෙන පාස්පෝට්, මුදල් පසුබිම් වඩාත් ආරක්ෂිත තැනක තියාගෙන අවශ්‍ය එදිනදා මුදල් ටික විතරක් පිට කලිසම් කමිස සාක්කුවක තියාගන්න එක කෝකටත් හොඳයි. ඒ වගේ තමුන්ට අවශ්‍යම දේවල් පොඩි සයිඩ් බෑග් එකක, එහෙම නැතිනම් ඉනේ බඳින පොඩි පොකට් එකක වගේ සෙට් කරගන්න අයත් ඉන්නවා. කොහොම හරි ලංකාවට එන විදේශිකයෝ කියන විදිහට ලංකාව කියන්නේ සේෆ් රටක්. එතකොට ඔවුන්ගේ රටවල්වල පවා පොකට් වලට, බෑග් වලට අවදානමක් තියෙනවා. ඒ නිසා තමුන්ගේ බෑග් මලු, මුදල් පසුම්බි, ක්‍රෙඩිට් කාඩ් ගැන කොහේ ගියත් ඇලර්ට් එකේ ඉන්නට ඕනා.
වංචාව කියන්නේ ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන දෙයක්. ඉතින් කොහෙ ගියත් අපේ තුට්ටු දෙක ආරක්ෂා කරගන්න එක අපේ වගකීමක්. ගොඩක් රටවල පොලිස් සේවාවන් තිබුනත් සංචාරකයින්ට මූණ දෙන්න වෙන මුදල් පසුබිම් නැතිවීම්, රැවටීම් ආදියට ඒ උදවිය පෙනී සිටින්නේ උදාසීන විදිහට. ඉතින් සංචාරයක් යද්දි රැවටිලිකරුවන්ගේ රැවටිලි ආදිය ගැන වගේම අපේ බඩු බාහිරාදියවල ආරක්ෂාව ගැනත් ටිකක් සෙවිල්ලෙන් බැලිල්ලෙන් හිටියොත් බොහොම සන්තෝසයෙන් රසවත් සංචාරයක් ඔයාලට ගත කරන්න අවස්ථාව ලැබේවි.
Leave a Reply