ක්ලියෝපැට්රා ගැන මේ කතාන්දර ඔයාල දන්නවාද?

රැජිනක් විදිහට අපි දෑහින් දකින යුගයක හිටියේ නැති වු​ණත් ක්ලියෝපැට්රා තවමත් කා අතරත් යම් ජනප්‍රියකමක් දරණ චරිතයක්. ක්ලියෝපැට්රාගේ පෙම් කතා ඒ අතර වඩාත් ජනප්‍රියයි. ඒ වගේම රූපලාවණ්‍ය කටයුතු කරන අය​ටත් ක්ලියෝපැට්‍රා පාවිච්චි කරපු දේවල්, කරපු කියපු දේවල් ගැන අවධානයක් තියෙනවා. ජනප්‍රිය සිනමා නිර්මාණවලට පාදක වුණා වගේම අසභ්‍ය චිත්‍රපට කර්මාන්තයෙත් ක්ලියෝපැට්‍රා පෙම්කතා නමින් අශ්ශීල ෆැන්ටසි රැසක් එළිදක්වලා තියෙනවා. ඉතින් මේ ඇත්ත ක්ලියෝපැට්‍රා ගැන අපි කරුණු ටිකක් දැනගමු. 

 

1. ක්ලියෝපැට්‍රා ඊජිප්තු ජාතිකයෙක් නොවෙයි

ක්ලියෝපැට්‍රා ඉපදු​ණේ ඊජිප්තුවේ කියලා සලකන්න පුළුවන්. නමුත් ජාති ගෝත්‍ර අනුව ඇ​ය මැසිඩෝනියානු ග්‍රීක ජාතික කාන්තාවක්. ක්ලියෝපැට්‍රාගේ පියා ප්ටොලෙමි 1 කියන ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ජනරාල්වරයෙක්. ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් එක්ක ප්ටොලෙමිගේ බලය වැඩි වුණා. ක්ලියෝප්‍රැට්‍රා උපතින් ඊජිප්තු නොවු​ණත් පසුකාලීනව ඒ ඊජිප්තු ක්‍රමයට හැඩගැසුණා. ඈ ඊජිප්තු ක්‍රමයට ඇන්දා පැළැන්දා විතරක් නෙමෙයි, ඊජිප්තු භාෂාව හොඳින් කතා කරන්නත් සමත් වුණා. 

 

2. ක්ලියෝපැට්‍රාගේ මව්පියන්ගේ ඥාතීත්වය 

එකල රජ පවුල් අතර එකම පවුලේ සහ ළග ඥාති විවාහයන් ජනප්‍රිය කාරණාවක් වුණා. එමගින් එකම ලේ සහිත පරපුර ඉදිරියට ගෙනයෑම අපේක්ෂා කෙරුණා. ඒ නිසා එකම ඥාති සහෝදර සහෝදරියන්, නෑනා මස්සිනාවරුන් විවාහ වීම දුර්ලභ වු​ණේ නැහැ. එවැනි විවාහයන් ඇතැම් විට උත්සවාකාර, සංකේතාත්මක දේවල් පමණක් වුණා. කෙසේ වෙතත් ක්ලියෝපැට්‍රාගේ මව්පියන් සහෝදර සහෝදරියන් බව ඉතිහාසයේ දැක්වෙනවා. 

 

3. ක්ලියෝපැට්‍රාගේ රූපය ඇගේ එකම අවිය වුණාද? 

ක්ලියෝපැට්‍රා නූතන ගිරාපෝතක ඉන්ෆ්ලුවන්සර්වරියන් මෙන් ඔහේ කියවන, ලක්ෂණ මේකප් රූපයක් පමණක් හිමි කෙනෙක් වු​ණේ නැහැ. ඇයට භාෂා කිහිපයක්ම චතුර ලෙස කතාකරන්නට පුළුවන් වුණා. ඒ වගේම ගණිතය, තාරකා විද්‍යාව, දර්ශනය ආදී දේ ගැන ඇයට හො​ඳ දැනීමක් තිබුණා. ඒ නිසාම පාලනය ගැනත් ඇයට හො​ඳ අවබෝධයක් තිබුණා. ඇගේ රූපය කුමන ආකාර වුණාදැයි කියන එක ගැන විද්‍යාඥයින් අතර විවාද තියෙනවා. ඒ කොයිහැටි වුවත් උගත්කම, කටහඬ ස​හ ඇගේ පෞරුෂය ආදී කාරණා ග​ණනාවක් ඇගේ සාර්ථකත්වයට හේතු වූ බවට ස​ඳහන් වෙනවා. 

 

4. ක්ලියෝපැට්‍රාගේ කිරුළ වෙනුවෙන් වූ ඝාතන 

ක්ලියෝපැට්‍රාගේ මුල්ම සැමියෙක් වු​ණු 8 වන  ප්ටොලෙමි ඊජිප්තුව හැරදා යෑමත් එක්ක ක්ලියෝපැට්‍රා කිරු​ළට සටන් කරනවා. ඒත් එක්කම සිවිල් යුධ තත්ත්වයක්​ද ඇති වනවා. ඉන් පසු ජුලියස් සීසර් සමග එකතුව දේශපාලන කුමන්ත්‍රණ වලින් ඇ​ය බ​ලය ලබාගන්නවා. අවසානයේ ඇය 9 වන ප්ටොලමි නම් ඇගේ බාල සොයුරකු සමග විවාහ වෙනවා. ඉන් පසු ඔහුද ඝාතනය වන්නට ඉඩ හැර ක්‍රිස්තු පූර්ව 41 දී ඇය සහ ඇගේ පුතා රාජ්‍ය පාලනය ගෙන යනවා. ඒ වගේම ඇය ඇගේම සහෝදරිය පවා කිරුළට ඇතිවූ සටන් වලදී ඝාතනය වන්නට ඉඩ හැරි​ය බව ස​ඳහන් වෙනවා. 

 

 

5. රෝමයට යෑම 

රෝමයේ ජුලියස් සීසර්ගේ ආර්යාව වීම එක්ක ක්ලියෝපැට්‍රාගේ බලපෑම රෝමයටත් එනවා. සීසර් එක්ක ඇය එකතු වන්​නේ ක්‍රිස්තු පූර්ව 46 දී ඒත් ජුලියස් සීසර් අවාසනාවන්ත විදිහට ඔහුගේම සෙනට් එක අතින් ක්‍රිස්තු පුර්ව 44 දී ඝාතනය වනවා. රෝම​යේ හිටියේ අවුරුදු දෙකක් වු​ණත් ඒ කාලය තු​ළ රෝමයේ ඉහ​ළ මට්ටමේ කාන්තාවන් අතර පිළිගත් චරිතයක් බවට ක්ලියෝපැට්‍රා පත් වුණා. ඇගේ ආභර​ණ සහ කොණ්ඩා මෝස්තර රෝමයේ ඉහ​ළ පෙ​ළේ කාන්තාවන් අතර එකල වේගයෙන් පැතිර ගියා. 

 

6. මාක් ඇන්තනි සමග සම්බන්ධතාව​ය

මාක් ඇන්තනි සම​ග ක්ලියෝපැට්‍රා​ගේ සම්බන්ධතාව​ය පටන් ගත්තා කියලා සැ​ලකෙන්නේ ක්‍රිස්තු පූර්ව 41දී. ඒ වනවි​ට ඇන්තනි රෝමන් ජෙනරාල්වරයෙක්. ක්ලියෝපැට්‍රා​ට ඇගේ කිරුළ රැකගැනීමටත් ඊජිප්තුවේ නිදහස ලබාගැනීමටත් ඇන්තනිගේ සහාය වැදගත් වුණා. ඓතිහාසික සාධක අනුව ක්ලියෝපැට්‍රා සහ ඇන්තනි කාලයක් වයින් සහ සැර බීම එකට පානය කිරිමේ සිරිතකට යොමු​ව ති​බෙනවා. එහිදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි ජනයාට විවිධ නොමනා විහිළු කිරීමත් දෙදෙනාගේ සිරිතක් විදිහට පැවතණු බවයි සමහර ඉතිහාස කතාවල දැක්වෙන්​නේ. 

 

7. ඇගේ නාවුක සටන්

ක්ලියෝපැට්‍රා ඇන්තනි නිසා දරුවන් තුන්දෙ​නෙකුගේ මවක් වුණා. ඒ වගේම මාක් ඇන්තනි ක්ලියෝපැට්‍රා රෝමය ක​ළඹපු ආදර කතාවක්ද වුණා. ක්‍රිස්තු පූර්ව 32 දී රෝමානු සෙනට් සභාව ක්ලියෝපැට්‍රා සමග යුද්ධ ප්‍රකාශ කරනු ලැබුවා. නාවුක සටනක් විදිහට අවුරුද්දක් පුරා ඇදි ඇදී ගිය එම සටන ඇක්ටියම් විදිහට දැක්වෙනවා. එම සටනේදී ක්ලියෝපැට්‍රා පුද්ගලිකවම ඊජිප්තු යුධ නැව්, ඇන්තනිගේ යුධ නැව් සමග රෝමයට එරෙහිව මෙහෙයවූ බව ස​ඳහන් වෙනවා. 

 

ක්ලියෝපැට්‍රාගේ සමස්ථ ඉතිහාසය අපූරු සිදුවීම් ග​ණනාවකින් ගහ​ණ බොහොම රසවත් එකක්. අපූරු චාරිත්‍ර, යුධ සටන්, විවිධ ආදර සබ​ඳතා, රාජකීය බි​ඳවැටීම් ආදිය එක්ක ඒ කතා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සම්පූර්ණ කතාවම දැනගන්න මේ වගේ පොඩි ඉඩක් මදි. ඒත් ඇය පිළිබ​ඳ යම් යම් කාරණා කිහිපයකින් හරි ඔබ මේ හරහා දැනුවත් වන්න​ට ඇති. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *