ප්‍රශ්න සහ අවස්ථාවලින් ලිස්සල යන්න මිනිස්සු ගහන දහංගැට

මිනිස්සුන්ට ප්‍රශ්න එන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒත් ඒක සාමාන්‍යයි කියල අපිට ඒ ප්‍රශ්න මගහරින්න බැහැ. මොකද අපි ඒ ප්‍රශ්න මගහැරියොත් ඒ නිසා දුක් විඳින්නට තවත් පිරිසකට සිද්ධ වෙනවා. අන්න ඒ නිසාම මිනිස්සු ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ වෙනුවෙන් පිළියම් යොදනවා. ඒ වෙනුවෙන් සූදානම්ව ඉන්නවා. අපි අද කියන්නෙ අන්න ඒ විදියෙ සූදානමකින් නොඉන්න, ප්‍රශ්නයක් ආවම පැනලා යන්නට උත්සාහ කරන මිනිස්සු ගැන කතාවක්. එහෙම මිනිස්සු සාමාන්‍යයෙන් තමන්ට උද්ගත වෙලා තියෙන ප්‍රශ්නයෙන් පැනලා යන්න පාවිච්චි කරන ක්‍රම ටිකක් ගැනයි මේ කියන්නෙ. 

 

1. බුලත් විඩ

බුලත් විඩක් කියන්නෙ සාමාන්‍ය දෙයක් විදියට ඔයාලට හැඟුනත් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නකාරී අවස්ථාවකට මුහුණ දෙන කෙනෙකුට නං මේක මහඟු ලෙස ප්‍රයෝජනයට ගන්නට හැකියාව තියෙනවා. බොහෝමයක් දෙනා මෙහෙම අවස්ථාවකදිම බුලත් විඩ කටේ පුරවා ගන්න නිසායි අපි මේ ගැන කියන්නෙත්. ප්‍රශ්නකාරී අවස්ථාවකට බුලත් විඩ කටේ පුරවා ගත්තම කීයටවත් ​උත්තර දෙන්නනං උවමනා වෙන්නෙ නැති වෙයි. ඇයි ඉතිං හුම් හුම් කිය කිය ප්‍රශ්නෙ මගහරින්න පුළුවන්නෙ. බොහෝමයක් දෙනා තමුන්ගෙ තර්ක පැරදීගෙන එද්දි කරන්නෙ මේ දේ තමයි. ආයෙත් තර්කය දිනාගෙන එද්දි යස අගේට බුලත් කෙල ගහලා කට හෝදගෙන එනවා. 

 

2. ෆෝන් ඕෆ්

මේක තමයි ඉතිං ප්‍රසිද්ධම විදිය. ප්‍රශ්නයට පත්වෙන්නට අන්තිම මොහොතේදි කියන්නෙ මචං මං වැඩේ අනිවාර්යෙන් කරනවා හැබැයි දැන් හොඳටම බැටරි ලෝ. තව ටිකකින් ෆෝන් එක ඕෆ් වෙයි කියලයි. හැබැයි ෆෝන් එක ඔන් වෙන්න තවත් සතියක් විතර යනවා. අන්න එහෙමයි එයාලා ප්‍රශ්නය අමතක කරන්න හදන්නෙ. මේ සුපුරුදු බොරුව නිසාම සමහර යාළුවො බොරුවක් කරන්න කලින්ම අනිත් අය ආ දැන් කීයටද ෆෝන් ඕෆ් කරන්නෙ කියල අහනව. ඔවුව ඉතිං හැමදාම කරන්න පුළුවන් බොරු නෙමෙයි.

 

3. බොරු කෝල්

බොරු කෝල් කියන්නෙ ෆෝන් ඕෆ් කරනවට වඩා සුලබ දෙයක්.​ බොරු කෝල් එක අවස්ථා කිහිපයකදි පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි ඇස් පනාපිට කෙනෙක්ව මගහරින්න. ෆෝන් එක කනේ තියාගෙන ආත භූත නැතුව යන එක තමයි ඒ විදිය. අනික තමයි අනිත් කෙනා කියන තර්ක මගහරින්න පාවිච්චි කරන බොරු කෝල් එක. මේක කතාවක මාතෘකාව වෙනස් කරන්නත් සමහරු පාවිච්චි කරනවා. ඊටත් පස්සෙ සමහරු තමුන්ගෙ බොරුව තවත් ප්‍රබල කරවන්නත් මේක පාවිච්චි කරනව. සල්ලි දෙන්නං කියල පොල්ල තියන්න යද්දි ඒ අයට මිලියන දෙකක ඩීල් එනව එකපාරටම ෆෝන් එකෙන්.

 

4. අම්මගෙ අසනීපෙ

මේකත් සමහරු මගහරින්න පාවිච්චි කරන ක්‍රමයක්. මේක සුලබව පාවිච්චි වෙන විදියක් තමයි පාටි කියන්නෙ. ඔන්න පාටියක් දෙන්නං කියල ඔක්කොම සූදානම් පිට තියෙද්දි යාලුවො එන්න ඕන ලෝකේෂන් එක ඇහුවම කියනව මම චුට්ටක් බිසී අම්මට සනීප නෑ කියල. හප්පටසිරි! කොල්ලෙකුගෙ අම්මට අසනීප වුනාම පාටි දාන්න පුළුවන් මොන පුතාටද කියල කට්ටිය ඉතිං හිත හදාගන්නව. මේ විදියට අම්මගෙ නම විකුණලත් හදිසි අවස්ථාවලින් ගොඩ යන උදවිය ඉන්නවා.

 

5. ඉයර්ෆෝන්

තවත් සමහරු අවට සිද්ධ වෙන දේවල් අහගෙන ඉන්න ඉයර්ෆෝන් පාවිච්චි කරනව. උදාහරණෙකට පොදුවේ හැමෝම කතා වෙන තැනක මේ අය ඉන්නෙ ඉයර්ෆෝන් ගහගෙන. හැබැයි මොකුත් සින්දු ප්ලේ වෙන්නෙ නෑ. ඒ අය සම්පූර්ණ සභාවෙම සිද්ධ වෙන දේ අහගෙන ඉන්නෙ. ඒ අහගෙන ඉන්න ගමන් ඔන්න තමුන්ට වාසි දෙයක් කියන්න ආවම ටක් ගාලා ඉයර්ෆෝන් ගලවලා කතාවට සෙට් වෙනවා. එහෙම බුවාලා අවුල් තමයි. හැබැයි තාමත් වඳ වෙලා නෑ. ඕනම ඔෆිස් එකක දෙන්නෙක්වත් දකින්න පුළුවන්. 

 

6. ඉන්ටර්නෙට් ස්ලෝ

තමුන්ගෙ කිසිම වරදක් නෑ, මේ තාක්ෂණයේ වරදක් නිසායි ඔක්කොම සිද්ධ වුනේ කියන විදියෙ ටෝක්ස් දෙන උදවියත් ඉන්නවා. අඩේ මම සල්ලි ට්‍රාන්සර් කළා ඉන්ටර්නෙට් අවුල්, එහෙමත් නැත්තං බෑංක් එකේ සයිට් එක පිස්සු නටනවා වගේ උත්තර දෙන බුවාලා ඉන්නවා. ඒ වගේම සමහරු ඔෆිස් එකේ වැඩ එවුවෙ නැති වුනාමත් ඒවා ඉන්ටර්නෙට් අවුල් පිටින් දානවා. එහෙමත් නැත්තං ඒ වෙලාවටම ඒ අයගෙ පරිගණක නොයෙක් විපරියාසවලට ලක්වීම සිද්ධ වෙනවා.

 

7. නින්ද

නින්ද කියන්නෙත් ගොඩක් විදිවලින් ප්‍රයෝජනයට ගන්න දෙයක්. සමහරුන්ට කෝල් ඇහෙන්නෙ නැත්තෙ නින්ද ගිය නිසා. වෙලාවට එන්න බැරි වුනේ නින්ද ගිය නිසා. මීටිමේ කියපු දේවල් නෑහුනේ නින්ද ගිය නිසා. කොටිම්ම ඒ අය මේ ඉස්සරහට දාන්නෙ මූලික මිනිස් අයිතිවාසිකමක්. සාමාන්‍යයෙන් මහන්සි වෙන මනුස්සයෙකුට අවශ්‍ය නින්ද පවා මේ අය අමනුස්ස වැඩවලට උපයෝගී කරගන්නවා.

 

ඔයාලා දන්න අඳුරන මෙහෙම අය ඉන්නව කියල මෙතන ටැග් කරන්න එපා. හරි නැහැනෙ. පුළුවන්නං ඒ අයට පේන්න ෂෙයා කරන්න. හැබැයි ඒකත් ඉන්ටර්නෙට් අවුල් නිසා එයාලා නොදකින්න ඉඩ තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *