ඔබට මතක ඇති මේ මාතෘකාව යටතේම මීට අවුරුද්දකට විතර කලින් අපි ලිපියක් ඔබ වෙත ගෙනාවා. ඒ ලිපියට ඔබගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. මේ නිසා අපි හිතුවා ටිකක් ප්‍රමාද වෙලා වුණත් ඒ ලිපියට තවත් කොටසක් එකතු කරන්න.
1. මීයෝ
Isle of Man කියන්නේ එක්සත් රාජධානියට අයත් ස්වයංපාලිත ප්‍රදේශයක්. මේ දූපත් ආශ්‍රිතව අපූරු විශ්වාසයක් තියනවා. ඒ තමයි ඔවුන් කියන ආකාරයට මීයන් සඳහා Longtail යන වචනය භාවිතා කිරීම අතිශයින් අසුබ පල ගෙන එන්නක්. ඊට සාපේක්ෂව මීයන් දැකීම අසුභ දෙයක් ලෙස ඔවුන් සළකන්නේ නැහැ. මේ විශ්වාසය ඇතිවීම පිළිබඳව විවිධ මත පළවී තිබෙනවා. නැව්වල මීයන් රෝග වාහකයා ලෙස ක්‍රියා කිරීම මේ විශ්වාසය ඇති වීමට හේතු වුණා කියලා ඇතැම් අය සළකනවා.
2. ග්‍රීක පූජකයෝ
ග්‍රීසිය තුළ යම්කිසි පූජකයෙක් වීදියක් දිගේ ඇවිදගෙන යන ආකාරය දර්ශනය වීම ග්‍රීක ජාතිකයන් අසුබ සලකුණක් ලෙස සලකනවා. ඊට හේතුව ලෙස ඔවුන් කියන්නේ මෙය අදාළ පූජකයා ඔහුව දකින තැනැත්තාව හමුවීමට පැමිණෙන ගමනක් නොවීම සහ එම පූජකයා අවමංගල්‍ය උත්සවයක් වැනි දෙයකට යන්නෙකු වීමට ඇති ඉඩයි. මෙවැනි අවස්ථාවකදී ගෙන එන අවාසනාව මගහැරීමට ඔවුන් එක් වචනයක් භාවිතා කරනවා. සුදුළූණු අර්ථය යන ලබාදෙන Skorda එම වචනයයි. යුරෝපයේ බොහෝ රටවල සුදු ළූණු මගින් අවාසනාව පලවා හරින බවට වන විශ්වාසය ඊට හේතුවක් වන්නට පුළුවන්.
3. කොනේ වාඩිවීම
මෙතෙක් විවාහ දිවියට නොඑළඹුණු තරුණියක් කෑම මේසයේ කොනේම වාඩිවී සිටින්නේ නම් ඇයට ජීවිතාන්තය දක්වා අවිවාහකව සිටීමට සිදුවන බව රුසියානුවන් විශ්වාස කරන අතර ඇතැම් ප්‍රදේශවල මෙම කාලය අවුරුදු හතකට සීමා වෙනවා. මේ අමුතු විශ්වාසය කෙසේ ඇති වුණේ ද යන්න පිළිබඳව තර්කානුකූල පැහැදිළි කිරීමක් මෙතෙක් ඉදිරිපත් වී නැහැ. කෙසේ නමුත් ගම්බද රුසියානුවන් අතර මෙවැනි ඇදහීම් සහ විශ්වාස රැසක් දකින්නට ලැබෙනවා.
4. බකමූණාගේ අවුල් පණිවිඩය
අද වන විට කතෝලික රාජ්‍යයක් බවට පත්ව තිබුණත් මෙක්සිකෝව පුරාණයේදී මායා ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක්ව පැවත තිබුණා. එම ශිෂ්ටාචාරයේ ඇතැම් ඇදහීම් අදටත් මෙක්සිකානුවන් තුළ ඉතිරිව පවතිනවා. එම විශ්වාස මත පදනම්ව ඔවුන් බකමූණාව සළකන්නේ මරණයේ සංකේතයක් ලෙසයි. බකමූණෙක් දැකීම හෝ බකමූණෙකුගේ ශබ්දයක් ඇසීම අදාළ පුද්ගලයාට හෝ අදාළ පුද්ගලයාගේ සමීපතමයන්ට මරණය ලංව ඇති බවට පළකරන සංකේතයක් ලෙස ඔවුහු සලකනු ලබනවා.
5. වවුලා
මධ්‍යම යුරෝපය තුළ වවුලාව සැළකෙන්නේ සාතන්ගේ සංකේතයක් ලෙසයි. සුප්‍රකට ඩ්‍රැකියුලා ජනප්‍රවාදය සමඟත් වවුලන් බැඳී පවතිනවා. පැරණි ජර්මානු විශ්වාස වලට අනුව යම් කිසිවකුගේ නිවසකට වවුලෙකු ඇතුළු වීමෙන් සංකේතවත් වන්නේ එම නිවසට යක්ෂයාගේ සම්ප්‍රාප්ත වීමයි. එසේම ස්ලෝවේනියානුවන් විශ්වාස කරන ආකාරයට වවුලෙකු නිවසේ පරණ බඩු කාමරයට පිවිසෙන්නේ නම් එම නිවසේ පුද්ගලයෙකු නුදුරු අනාගතයේදී මිය යනවා.
6. රතු පැහැයෙන් නම ලිවීම
කොරියාව තුළ පවතින එක් විශ්වාසයක් වන්නේ යම් කිසිවෙක් තමන්ගේ නම රතු පැහැයෙන් ලියන්නේ නම් ඔහුගේ මරණය ආසන්න වී ඇති බවයි. මෙවැනි විශ්වාස දකුණු දිග අසියාව පුරාම පැතිර තිබෙන අතර ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ පුරාණයේදී රතු වර්ණය භාවිතා කළ හැකිව තිබුණේ අධිරාජ්‍යයාට පමණක් වීම නිසා යම් කිසිවකු තමන්ගේ නම ලිවීමට රතු පැහැය භාවිතා කිරීම මරණ වරෙන්තුවක් කැඳවීමක් වැනි සිද්ධියක් වූ නිසා මෙම විශ්වාසය ඇතිවූ බවයි.
7. රාත්‍රියට සිවුරුහන් බෑම
සිවුරුහන් බෑම, එහෙම නැත්නම් දන්න කියන සිංහලෙන් කිව්වොත් විසිල් කරන එක ජපානයේ දී කරනවානම් එය කරන්නේ මොන වෙලාව තුළද කියන එක පිළිබඳව අතිශයින් සැළකිලිමත් වෙන්න ඕනා. ඒකට හේතුව තමයි රාත්‍රී කාලයේදී සිවුරුහන් බෑම මගින් සර්පයන් තමන් වෙත ආකර්ෂණය කර ගැනීම සිද්ද වෙනවයි කියලා ජපන් වැසියන් තුළ විශ්වාසයක් පැවතීම. ඔවුන්ට අනුව ඇතැම් සර්පයන් වාසනාව ගෙනෙන නමුත් සිවුරුහන් බෑම මගින් ආකර්ෂණය වන සර්පයා පිළිබඳව අනාවැකි පළ කිරීමට නොහැකි වීම මෙම පුරුද්ද අසුබ එකක් ලෙස නම් කිරීමට එක් හේතුවක්.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply