හස්බන්ඩ්ගේ දෙමාපියන් සහ නෑදෑයන් කියන්නේ ඔහුගේ උපතින් ඔහුට ලැබුන ඔහුගේ පිරිවර. ඔහු සමඟ විවාහයෙන් පසුව ඒ පවුල ඔබේ ජීවිතය සමගත් සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාට සිද්ධ වෙනවා අලුතින් ජීවිතයට සම්බන්ධ වෙන මේ නෑදෑ සමූහය බැලන්ස් කරන් ජීවත් වෙන්න. ඇත්තටම ඒක ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නෙමෙයි. මේ සම්පූර්ණයෙන්ම නව පවුලක්. ඔයාගේ අවශ්‍යතා අලුත්ම පිරිසකගේ අවශ්‍යතා එක්ක සමබර කරන් ජීවත්වෙන එක කොහොමටවත් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයිනේ. ඒත් පවුලක සමගිය නිර්මාණය කරගැනීම වෙනුවෙන් අපට සිදු වෙනවා ඉවසීමෙන් මේ දේ කරන්න. ඔබත් ඔවුනුත් අතර පාලමක් ගොඩනගා ගත යුතු වෙනවා මේ ගමන යනවිට. බාධක අපහසුකම් මැද්දේ වුනත් මේ ගොඩනගන වටපිටාවේ ආයෝජනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ ඔබේ මුළු විවාහ දිවියටමයි. ඉතින් හස්බන්ඩ්ගේ පැත්තේ කට්ටියව බැලන්ස් කරගන්න පොඩි පොඩි අදහස් ටිකක් තමා මේ .
1. හැමෝටම කලින් හස්බන්ඩ් සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න

Image Source – pinterest.com
ඔබ අලුතින් පවුලක් ළං කරගන්නේ ඔබ ඔබේ ජීවිතය භාරදෙන්න සුදුසුම පුද්ගලයා ලෙස ඔහුව තෝරාගත් නිසා. ඔහු මොනතරම් හොඳ අපූරු මිනිසෙකු උනත් ඔහුගේ පරිවාරය ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පිරිසක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔබ අකමැති වුනත් ඔබට සිදුවෙනවා ඔවුන් සමග ජීවත් වෙන්න. වැදගත්ම දේ ඔබත් සැමියාත් අතර පවතින අවබෝධය මොන වගේද කියන කාරණය. ඒ නිසා මුලින්ම ඔබත් සැමියාත් අතර ශක්තිමත් විශ්වාසනීය පදනමක් සකසා ගැනීම හරිම වැදගත්. ඔබ උත්සහ කළ යුත්තේ ඔහුව බෙදාගැනීමට උත්සහ දැරීම නොවෙයි. ඔහුට සහයෝගයක් වීමටයි.
2. මොනවා කළත් ඒ ඔහුගේ දෙමාපියන්

Image Source – 123rf.com
ඇත්තටම අලුත් පවුලේ අන් කාටත් වඩා ඔයාගේ අවධානය යොමුවෙන්න ඕන ඔහුගේ දෙමාපියන්ට. නැන්දම්මා බැලන්ස් කරගන්නෙ කොහොමද කියලා මීට කලින් අපි කතාකරලා තියෙන නිසා අද ගොඩාක් ඒ ගැන කතා කරන්නෙ නැහැ. සැමියාගේ දෙමාපියන්ට අවශ්‍ය වෙන්න පුළුවන් ඔහු තවමත් ඔවුන්ගේ කියලා ඔබට අඟවන්න. ඔවුන්ට ඉඩදෙන්න. නමුත් සැමියා සමග අවබෝධයකින් ඉන්න. එවිට සැමියා ඔබ පිළිබඳව අවබෝධයෙන් නිසා කිසිවෙකුටත් හැකි වෙන්නෙ නැහැ ඔබ දෙදෙනා අතරට පැමිණෙන්න. ඔවුන් සමඟ තරඟ කරන්න යන්න එපා. හැකි තරම් ඉවසීමෙන් ඔවුන්ට සලකන්න බලන්න. ඉන් ඇත්තටම ඔබ දිනාගන්නේ ඔවුන්ව නොවෙයි. ඔබගේ සැමියාවයි.
3. හොඳ මූණ පෙන්නන් විෂ පතුරන අය එක්ක කතාව පරිස්සමෙන්

Image Source – elitereaders.com
අලුත් පවුලේ හැමෝම ඔයාට හොඳම කරයි කියලා නම් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ. දිය යටින් ගින්දර ගෙනියන අය ඕන තරම් ඉන්න පුළුවන්. උදව් කරන්න වගේ ඇවිත් වල කපන්න බලන් ඉන්න අයත් ඒ අතරෙ ඇති. ඔයා දන්නෙවත් නැතුව ඔයාට අන්චියක් අදින්න බලන් ඉන්න අය අලුත් පවුලේ ඉන්න පුලුවන්. ඒ නිසා ඔයා පිටකරන වචන ගැන. ඔයාගේ රැකිය යුතු රහස් ආදිය කියන අය ගැන ඔයා සියපාරක් හිතුවත් කමක් නෑ. වඩා හොඳයි ඒවා ඔයා ළඟම තියාගෙන හරිම සාමාන්‍ය විදිහට ඔවුන් ඇසුරු කරන එක. මොකද මිනිස්සු මොන වෙලාවෙ කොහොම වෙනස් වෙයිද කියන්න අපට බැහැනේ. අනාගතේ ඔයාට එරෙහිව පාවිච්චි කරන්න තුරුම්පු එයාලාගෙ අතට දීලා තියන්න ඕන නැහැනේ.
4. සීමා මායිම් තියාගන්න

Image Source – steemit.com
ඕනවට වඩා ඕනම දෙයක් ඕන නැහැ කියලා කතාවක් තියෙනවානේ. අනිත් දේවල් වලට කොහොම වෙතත් ඒ කතාව හොඳටම ගැලපෙන තැනක් මේ. හැම වෙලාවෙම ඔයාටම පනවා ගත්තු සීමාවක ඉඳන් වැඩ කරන්න. අවශ්‍ය අනවශ්‍ය හැමදේටම කතා කරන්න, මැදිහත් වෙන්න යන්න එපා. ඔයාගේ උදව් අවශ්‍යයි නම් නොපැකිළිව උදව්කරන්න. උදව් උනත් අවශ්‍යද නැද්ද, උදව් කරන්නේ කාටද කියන එක ඔයා තේරුම් ගන්න ඕන. මොකද උදව් කරන්න ගිහිනුත් නැති ප්‍රශ්න කතාකරලා ගෙට අරගන්න සිදුවීම් වෙන්න පුළුවන්.
5. තැන තැන විවේචනය කරන්න එපා

Image Source – psychologytoday.com
සැමියාගේ පවුල දැන් ඒ ඔබෙත් පවුල. ගෙයි ගිනි පිට දෙන්න එපා කියලා කතාවක් අහලා ඇතිනේ. ඉතින් පවුලේ අය ගැන ඔයාගේ මතය අතන මෙතන කියන්න යන්න එපා. එයින් සිදුවෙන්නෙ ඔබේ සැමියාගේ ගරුත්වය ඔබ විසින්ම කෙලෙසීමක්. සමහර කාන්තාවෝ නැන්දම්මලාගේ නෑනලාගේ වැරදි ප්‍රසිද්ධියේ මුහුණු පොත් හරහා පළකරමින් විසඳුම් සොයනවා. එහෙම නැත්නම් කාර්යාලයේ හැමෝම දන්නවා සැමියාගේ නිවසේ වටපිටාව. ඇත්තටම එය හරිම ලැජ්ජා සහගත ක්‍රියාවලියක්. එයින් තව තවත් ඔබව ගැටළුවකටමයි ඇද වැටෙන්නෙ. අහම්බෙන් හෝ නැන්දම්මා නෑනා හෝ අදාළ පුද්ගලයාට මේ ගැන දැනගන්න ලැබීමෙන් ඔබ විශාල අපහසුතාවයකට පත්වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඔවුන් සමග අනාගතයේ කොතරම් සුහදව සිටියත් අතීතයේ ගා ගත් කළු පැල්ලම් නොමැකී මිනිස්සුන්ගේ හිත් වල තියෙන්න පුලුවන්. කතාවක් තියෙනවානේ “උඩ බලාගෙන කෙළ ගහගන්න එපා” කියලා.
6. රිටර්න් දෙන්න යන්න එපා… නොසලකා හරින්න

Image Source – medium.com
“නැන්දම්මා, නෑනා, මස්සිනා මට මෙහෙම කළා. ඒකට මං මෙහෙම කරනවා” කියලා එකට එක කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ගින්නට තව තවත් පිදුරු එකතු වීම විතරයි. හොඳම දේ නොසලකා හරින්න. අමතක කරන්න. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලීන්ගෙන් හිත රිදවාගන්න ගන්න එහෙම නැත්නම්, පලි ගන්න සැරසෙන්න සැරසෙන්න ඔවුන් දැනගන්නවා ඔබ ඒ දේවල් වලින් අපහසුවට පත් වුන බව, ඔබට රිදුන බව. මොකටද කාටවත් එහෙම අවස්ථාවන් සලසලා දෙන්නෙ. වඩා සුදුසු ඔබ ඒ දේවල් නොදැනුන ගාණට ඉන්න. මූණිච්ඡාවට හරි හිනා වෙලා ඉන්න. සමහර වෙලාවට ජීවීතේදි කපන්න බැරි අත ඉඹින්නත් සිද්ධ වෙනවානේ. යහපත් චේතනාවෙන් එහෙම දෙයක් කළාට කමක් නැහැ.
7. ඔබ ඔබම වෙන්න

Image Source – pexels.com
ඔයා ඔයාම වෙන්න. අලුත් ගෙදරට ගිය හැටියේ ඔයාගේ විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා, ඔයා පුදුමාකාර හොඳ චරිතයක් ලෙස මවන්න උත්සහයක් ගන්න එපා. මොකද ඒ දේවල් හැමදාම ඔයාට රඟපාන්න බෑ. ඔයා ඔයාගේ විදිහටම ඉන්න. ඒක ඒ පවුලේ උදවියටත් ඔයාව තේරුම් ගන්න උදව්වක් වේවි. ඔයාගේ කැමැති අකැමැති දේවල් , හැසිරීම, තරහා ගන්න කෙනෙක්ද, නැද්ද මේ හැමදේම ඔවුනුත් තේරුම් ගන්න අවශ්‍යයි. එවිට ඊට අදාළ විදිහට ඔවුනුත් ඔබ සමඟ හැසිරිය යුතු ආකාරය වෙනස් කර ගනීවි. එය ඔබට වගේම ඔවුන්ටත් පහසුවක්.
8. කූල් වෙන්න ඉගෙන ගන්න

Image Source – brambleandthorn.com
කාන්තාවක් වුනාම තියෙන්න ඕන වටිනාම ගතිගුණයක් තමා මේක. විසි හතර පැයම දුම්මල වරම අතට ගත්තා වගේ ඉන්න ගියොත් නම් ඔයාට සිද්ධ වෙන්නේ හැමෝගෙම හිත්වල ආදරය, කැමැත්ත කියන තැනින් පහළට වැටිලා, පොතේ ලියවුණු පලියට ඇතිවෙච්ච සම්බන්ධතාවයක් ඉදිරියට ගෙනියන්න. ඒත් ජීවිතේ එහෙම ගතකරලා ලබා ගන්න පුළුවන් කිසිම සතුටක් නැහැ. කූල් එකේ ජීවත් වෙන්න. දාහක් ප්‍රශ්න, රාජකාරි ඔයාගේ හිතේ තියෙන්න පුළුවන්. මේ මොහොත විඳින්න. ඔයාගේ අලුත් නෑදෑ පිරිස විවිධාකාර වේවි. හැමෝගෙම විවිධත්වයන්ට උත්තර සපයන්න ඔයාට බැහැ. කවුරු කොහොම මොන විදිහට ඔබට සලකන්න උත්සහ කරත්, ඔබ ඒ අවස්ථාවේදී උරණ වෙලා තරහා අරන් කෑ ගහනවාට වඩා කූල් වෙන්න උත්සහ කළොත් එතනින් එහාට ඒ ප්‍රශ්නය බොහොම වෙනස් පැත්තකට හැරේවි.
9. ස්මාට් වෙන්න

Image Source – lifehacker.com
ඔයාගේ දෙමාපියන් කොන්දේසි විරහිතවම ඔබට ආදරය කරයි. මොකද ඔබ ඔවුන්ගේ දරුවා නිසා. ඒත් ඔහුගේ දෙමාපියන් ඔබට එසේ ආදරය නොකරන්න පුලුවන්. ඔබට ඔවුන්ගේ ආදරය දිනා ගන්න වේවි. පුංචි සිදුවීමකින් පවා සිත් බිඳී යන්න පුලුවන්. ඒ ඒ අවස්ථාවලට ගැලපෙන විදිහට ඔවුන් සමග ස්මාර්ට් ලෙස ගනුදෙනු කරන්න. ප්‍රතික්ෂේප කිරීම් වුනත් හරිම ආදරණීය ලෙස හා දක්ෂ ලෙස කරන්න බලන්න. මූණට දමා ගහනවා වගේ “මට එපා”, “මට බැහැ”, “අපෝ මේ මොකද්ද?”, “ඊයා” වගේ වචන වෙනුවට, “මීට කලින් නම් මං එහෙම දෙයක් කරලාම නැහැ”, “මං පුංචි කාලේ ඉඳන්ම එහෙම ආසා නැහැ”, “අපි උත්සාහ කරලා බලමු”, “මේක ලස්සනයි ඒත් ඒ පාටට මං වැඩිය ආස නැහැ” වගේ ටිකක් උපක්‍රමශීලි පිළිතුරු පාවිච්චි කරලා රැවුලයි කැඳයි දෙකම බේරගන්න බලන්න ඕන.
10. සමහර තැන්වල නිහඬ වෙන්න

Image Source – americaskeswick.org
සමහර අවස්ථාවලදි කියන්න දේවල් සීයක් හිතට ආවත් මොනවා නමුත් සුබ දෙයක්, හොඳ දෙයක් කියන්න උත්සහ කරන්න. ඇත්තටම ඔයාට කියන්න සුබදායී කිසිම දෙයක් නැත්තම් වඩාත් සුදුසු නිහඬ වෙන එක. පුංචි හිනාවකින් මුහුණ සරසාගෙන කරුණාකර නිහඬවෙන්න. කටින් පිටවෙන සමහර වචන වලට පවුලක් නෙවේ රටක් උනත් විනාශ කරන්න තරම් හැකියාවක් තියෙන නිසා කියන්න ඕන මොකක්ද නැත්තෙ මොකද්ද කියලා තෝරාගන්න අපහසු වෙලාවට පසුවට පසුතැවෙන වචන පිට නොකර කරුණාකරලා නිහඬ වෙන්න. ඉන් සිදුවෙන්නේ අවම හානියක්.
Cover Image Source – northphoenixfamily.com
Leave a Reply