ආයෙමත් සරමට තැන දෙමුද? එහෙම හිතනවා නම් දිගටම කියවන්න.

සරම කියන්නේ ඉතින් ආයෙ කොල්ලන්ට තියෙන ක්ලැසික්ම ඇඳුමක් කියන එකට අටුවාටීකා ටිප්පණි අවශ්‍ය නැහැනේ. සමහර කොල්ලෝ රෑට නිදාගන්නකොට වුනත් බොක්සර්, ෂෝට්ස්, බොටම්, පිජාමා වගේ අයිටම්ස් පාවිච්චි කළාට, එකපාරක් හරි සරම ඇඳපු කොල්ලෙක් දන්නවා සරමේ තියෙන සැහැල්ලුව.

 

හරි. සරම ගැන කථා කරන්න ආවේ, සරම අඳින්නේ කොහොමද කියලා අපේ බෝයිස්ලට කියලා දෙන්න නෙවෙයි. සාමාන්‍යයෙන් කලිසම ඇඳලා හැමතැනම යන එක දැන් කාලේ කොල්ලන්ගේ පොදු ස්ටයිල් එක වෙලා තිබුණත්, සරම ජාතික ඇඳුම වෙලා තිබුණු කාලෙකුත් තිබුණා කියන එක මතක් කරන එක අපේ එක අරමුණක්. ඒ වගේම ආයෙමත් සරමට තැනක් දෙන්න පුළුවන් කාලයක් ගෙන්න පුළුවන්ද කියලා හිතලා බලන එකත් මේ ආටිකල් එකේ තව අරමුණක්. හරි එහෙනම්, පටන් ගමු!

 

1. ලංකාවේ විතරද සරම අඳින්නේ?

ලංකාවේ තමයි සරම තියෙන්නේ කියලා හිතන්න එපා පුතාලා. ඇත්තටම ඉතිහාසේ කියන විදියට සරමේ උපත සිද්ධ වෙලා තියෙන්නේත් ලංකාවේ නෙවෙයි. මීට අවුරුදු පන්සීයකට විතර කලිනුත් සරම හෙනම සීන් එකක් විදියට තිබුණා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ මැලේසියාවේ තාමත් සරම අඳිනවා. එතකොට සරම උපත ලබලා තියෙන්නෙත් ඉන්දුනීසියාව පැත්තේ කියලා තමයි කියන්නේ. හැබැයි අතීතයේදී ඉන්දුනීසියානු හාදයෝ සරම ඇන්දේ විශේෂ ආගමික අවස්ථාවල කියලා තමයි කියන්නේ. පස්සේ සෑහෙන්න රටවලට සරම පැතිරිලා ගිහින් තියෙනවා. අපි දකින්නේ අර සමෝවා ජාතිකයෝ එහෙමත් සරම අඳිනවා ෆිල්ම් වල එහෙම. 

 

2. සරම අඳින්නේ ගොඩයොද?

මේ කතන්දරේ අග මුල හොයාගන්න අපිට යන්න වෙනවා පොඩ්ඩක් මෑත අතීතෙට. ඒ කියන්නේ ඒරොප්පෙන් සුදු හම තියෙන උන්දැලා ඇවිත් අපිව යටත් කරගත්තු අතීතෙට. දැන් ඔය අතීතේ, ඒ කියන්නේ යටත් විජිත යුගයෙදී -විශේෂයෙන්ම ඉංගිරිස් කාරයාගේ පාලන සමයේදී- සහ එයින් පසුව ආපු පශ්චාත් යටත් විජිත සමයේදී තමයි ඔය කලිසමේ මෝස්තරේ ආවේ. එතකොට සුද්දා ඇන්දේ කලිසමනේ. අන්න ඒ නිසා සුද්දෝ වෙන්න ට්‍රයි කරපු කළු සුද්දොත් පොඩ්ඩක් කලිසම් මෝස්තරේ ට්‍රයි කළා. ඔය ඩබ්ලියු ඒ සිල්වාගේ, ටී බී ඉලංගරත්නගේ වගේ පොත් වලත් කියන විදියට, එක පාරම නුපුරුදු කලිසම අඳින්න සැර වැඩියි වගේ නිසා ට්විඩ් කලිසමක් ඇඳලා ඊට උඩින් රෙද්දකුත් ඔතාගත්තා. ඔව්, අර මුදලිවරු නැතිනම් මුඩ්ලියර්ලා ඇන්දේ ඕක තමයි.

 

දැන් මේ කලිසම හරි ඉහළයි කියලා හිතපු සමාජ මනෝභාවයත් එක්ක තමයි එච්චර කල් ඇඳපු සරම ගොඩයගේ ඇඳුමක් බවට පත් වුණේ. අද වුනත් ඇත්තටම ඒ තත්ත්වය ලොකුවට වෙනස් වෙලා නැහැනේ. සරමක් ඇඳලා එන අප්පුහාමි කෙනෙක්ට වඩා කලිසමක් ඇඳලා එන මනුස්සයෙක්ට අදටත් වැඩිපුර සමාජේ සලකනවා.

 

3. සරම ආයෙමත් ක්ලැසික් ෆැෂන් එකක් විදියට ඇවිත්

හැබැයි සරමට තියෙන තැන මේ වෙනකොට වෙනස් වෙලා තියෙන එක තැනක් තමයි ක්ලැසික් ෆැෂන් එකක් විදියට සරම අඳින්න ගොඩක් අය පෙළඹෙන එක. විශේෂයෙන්ම ඔය වෙඩින් වලට එහෙම සරම අඳින එක මෑතකාලීන දශක දෙක තුනකදී බොහොම ප්‍රචලිත වුණා. විශේෂයෙන්ම අර පාට පාට කොටු කොටු තියෙන බෙයාර්ෆුට් සරොන් එක්ක තමයි ඔය තත්ත්වය ආවේ. හැබැයි ඉතින් සරමේ ෆැෂන් එකට තැන තියෙන්නේ මිලෙන් අධික සරමක් ඇඳලා ආවොත් මිසක්, සාමාන්‍යයෙන් අඩුවට තියෙන සරමක් ඇඳලා සාමාන්‍ය ගමනක් යනවා නම් නෙවෙයි. හරි ඒත් කමක් නෑ කියමුකෝ.

 

සරමටම සම්බන්ධ නැති වුනත් අර වෙස්ටි කියලා නැතිනම් වේට්ටිය කියන ඇඳුම ගැනත් මෙතනදී මතක් කරන්න ඕන. මොකද, ශ්‍රී ලාංකික දමිළ ජනතාවට වේට්ටිය සාමාන්‍ය ඇඳුමක් වුනත්, දමිළ නොවන ශ්‍රී ලාංකිකයෝ සරම වගේම වේට්ටිය ඔය මගුල් ගෙවල් වලට එහෙම අඳින ක්ලැසික් ඇඳුමක් කරගෙන ඉන්නවා.

 

4. සරම ඇඳලා ඔෆිස් ගියොත් කොහොමද?

මෙන්න අපි ආවා හරිම පොයින්ට් එකට. දැන් සරමට තැන දෙන්න නම්, අපි සරම අඳින්න ඕනනේ. ඉතින් පොඩ්ඩක් ගාණ වැඩි කොලිටි සරමක් ඔෆිස් එකට අඳින්න බැරිද? ඇත්තටම ඔය ඩ්‍රෙස් කෝඩ් සම්බන්ධයෙන් නීති රෙගුලාසි තියෙන ඔෆිස් වලට නම් සරං ගහගෙන යන්න බැරි වෙයි. හැබැයි වැඩට ඇඳගෙන එන ඇඳුමට වඩා, වැඩේ ගැන සැලකිලිමත් වෙන ඔෆිස් එකක ෆ්‍රයිඩේ කැෂුවල් ඩේ එකට වගේ සරමක් ඇඳලා ගිහින් පොඩි ට්‍රයල් එකක් දාන්න බැරි වෙයිද? ඇත්තටම සරම කියන්නේ කලිසමට වඩා බොහොම සැහැල්ලු, පහසු ඇඳුමක් කියන එක අමතක කරන්න නරකයි.

 

මේක කරන්න ලේසි විදියකුත් තියෙනවා. ඔන්න ඔෆිස් එකේ කොල්ලෝ ඔක්කොම කතා වෙලා, සරම ඇඳගෙන එනවා සිකුරාදා දවසක. ඔහොම මාසෙකට සැරයක් දෙසැරයක් කරනකොට දන්නෙම නැතුව ඕක ට්‍රෙන්ඩ් එකක් වෙනවා ෂුවර්.

 

5. කැෂුවල් ඉවෙන්ට් වලටත් සරම

දැනටමත් ඔය ඉස්කෝලේ බැච් පාටි, කැම්පස් පාටි, ඔෆිස් එකේ පැදුරු පාටි, අවුරුදු පාටි වගේ සීන් වලට සරම බොහොම සාමාන්‍ය දෙයක් වෙලානේ තියෙන්නේ. හැබැයි අපිට බැරිද එතනින් එහාට තියෙන වෙනත් කැෂුවල් ඉවෙන්ට් වලටත් සරම ඇඳලා යන්න. එතකොට ඔය ෂොපින් කරන්න එහෙම යනකොට වුනත් දැන් දැන් සල්ලිකාරයෝ සරම ගහලා යනවා. ඉතින් ඕක අපිට තව ප්‍රචලිත කරන්න බැරිද? යාලුවෝ සෙට් වෙනකොට එහෙම වුනත් සරම ඇඳලා යන්න පුළුවන්.

 

6. සරම ඇඳලා යන්න බැරි තැනුත් තියෙනවද?

සරම ඇඳලා යන්න බැරි තැන් තියෙනවා. සමහර ලොකු ලොකු රෙස්ටුරන්ට් වලට එහෙම අනිවාර්ය ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා. ඒ සමහර තැන් වල සරම ගැන විශේෂයෙන් කියලා නොතිබුණත්, එහෙම සරම ඇඳලා ආපු අයව හරවලා යවපු අවස්ථාත් ඉතාම කළාතුරකින් වුනත් අපි අහලා තියෙනවා.

 

ඒ වගේම ඔය අපි කැෂුවල් ඉවෙන්ට් වලට සරම අඳිමු කිව්වට, කරටි කැඩෙන්න ගහන්න යන දවසකට එහෙම සරම අඳින අයියලා, සරම පාටියේ තියලා යටකලිසම පිටින් ගෙදර එන්නත් ප්‍රවණතාවයක් තියෙනවා. කොහොමත් එහෙම අන්ෂුවර් තැන්වලට සනීපෙට සරමක් ඇඳලා ලැජ්ජාවට පත් වෙනවට වඩා, අපහසු කලිසම ගහලා ලැජ්ජාව බේරගන්න එක වටිනවා.

 

අනිත් කාරණාව. මොන ඉවෙන්ට් එකට, මොන විදියේ තැනකට සරම ඇඳලා ගියත්, අර ගෙදර ඉන්නවා වගේ කෙලින්ම කැහැපොට ගහගෙන ඇතුළට ඒසී වදින්න ඉන්න බෑ. සරම අඳිනවා නම් සම්පූර්ණයෙන්ම කකුල් වැහෙන විදියට සරම ඇඳලා සංවරව ඉන්නත් ඕන.

 

7. කෙල්ලොන්ටත් සරම ඕකේ

ඇත්තටම කොල්ලන්ට වඩා සමහර වෙලාවට ඔය පාටි වලට එහෙම කෙල්ලෝ සරම් අඳිනවාදත් මන්දා. විශේෂයෙන්ම බතික් සරොන්, බෙයාර්ෆුට් සරොන් එහෙම ගෑණු ළමයින්ගේ ජනප්‍රිය ෆැෂන් එකක්නේ. හැබැයි අක්කලා නංගිලා සරං අඳින්නේ අපි වගේ නෙවෙයි. ගාණට ඉස්සරහින් නෙරිය තියලා, පොට තියලා, රැළි තියලා වෙනම ආතල් ලස්සන ලෙවල් එකකට තමයි ඒ ගොල්ලා සරම් අඳින්නේ. බලන්න ලස්සනයි. ඇහැටත් සනීපයි. 

 

එහෙමනම් කොල්ලනේ මොකෝ කියන්නේ? ආයෙමත් සරම ප්‍රසිද්ධ කරන රැල්ලක් පටන් ගමුද?

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *