ඔය සෞඛ්‍ය සම්පන්න පුරුදු කියන එක ගැන අපි ගොඩක් දෙනෙක්ට පුංචි කාලේ ඉඳලම කියලා දෙනවනේ. හැබැයි ඉතින් එහෙම පුංචි කාලේ ඉඳලම කියලා දීපු යහපත් සෞඛ්‍ය පුරුදු වැඩිහිටි වියට ඇවිල්ලත් පිළිපදින්නේ ඉතින් එහෙමත් කෙනෙක් තමයි. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඔය සෞඛ්‍ය සම්පන්න පුරුදු තේරුමක් නැහැයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි එක මොහොතකදී අපේ ශරීර සෞඛ්‍යයට ඔය යහපත් සෞඛ්‍ය පුරුදු නැති කමෙන් තර්ජන එල්ල වෙන්නත් පුළුවන්. ඒ ගැන අපි මීට කලිනුත් කියලා තියෙනවා මතක ඇති. ආන්න ඒ නිසා අපි පුරුදු වෙමු මෙන්න මේ කියන, අපි වැඩි දුර හිතන්නේ නැති, ලොකු වැඩක් නෑ වගේ කියලා හිතන යහපත් සෞඛ්‍ය පුරුදු අපේ ජීවිතේටත් ඇතුළත් කරගන්න.
1. පිරිසිදු තුවායක් නැද්ද?
මේක සාමාන්‍යයෙන් ගොඩක් කොල්ලෝ සහ ටිකක් කෙල්ලෝ කරන දෙයක්. ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ගේ තුවාය ගත්තොත් ඕන නං දොර වැහෙනවට ලෑල්ලක් විදියට හේත්තු කරන්නත් පුළුවන්. අන්තිමට තුවාය හෝදලා තියෙන්නේ චන්ද්‍රිකා ආණ්ඩුව තියෙන කාලේ. හා බොරුද? තුවාය දුඹුරු පාටට තිබ්බට, හෝදලා බැලුවොත් තේරෙයි ඇත්තටම කහ පාට තුවායක් කියලා!
මෙන්න ඉතාම අහිතකර සෞඛ්‍ය පුරුද්දක්. මේකෙන් රටේ නැති චර්ම රෝග, දිලීර හැදෙන්න පුළුවන්. අපේ උපදෙස් මේකයි. මූණ පිහිදන තුවායෙන් පස්ස පිහිදුවට කමක් නෑ. හැබැයි තුවාය දවස් පහකට සැරයක් වත්, උපරිම සතියකට සැරයක්වත් හෝදන්න. නාලා ඇවිත් තුවායෙන් පිහිදන හැම වෙලේම ඒක ගුලි කරලා කොහේ හරි ඔබන්නෙ නැතුව අව්වට දාලා ගන්න. හොඳම දේ තුවා දෙකක් පාවිච්චි කරන එක මාරුවෙන් මාරුවට.
2. බෙඩ්ෂීට් මාරු කරන්නේ කවද්ද?
මේකත් තුවාය වගේම තමයි. අර බෙට්ෂීට් එකේ නිදාගන්න සෙට් වෙන තැන කළු වෙලා, කොට්ට උරත් ඔලුව හිටින තැන කළු වුනහම තමයි සමහරු බෙඩ්ෂීට් මාරු කරන්නේ. හැබැයි එක්ස්පර්ට්ලා කියන්නේ, හැමදාමත් නිදාගන්නේ එකම ඇඳේ නම් කරුණාකරලා සතියකට සැරයක්වත් බෙඩ්ෂීට් සහ කොට්ට උර මාරු කරන්න කියලා තමයි. එහෙම කියන්න හේතු තියෙනවා. අපි නින්දට ගියත් අපේ ඇඟෙන් දහදිය දානවා. අනික අතිශයින්ම දහදිය දාන කෙනෙක්ට නම් සතියකට අඩු කාලෙකින් වුනත් ඇඳ රෙදි, කොට්ට උර මාරු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් මාරු කරන්නේ නැතුව ඇඳ රෙදි සහ කොට්ට උර පාවිච්චි කරනවා කියන්නේ සෞඛ්‍ය ගැටළු වලට තුඩු දෙන්න පුළුවන් කියන එක. අනික පිරිසිදු ඇඳ ඇතිරිලි උඩ නිදාගන්න ෆීලින් එකම මාරයි.
3. සපත්තු වල ගඳ එනවද?
සමහරුන්ගේ සපත්තු ගැලෙව්වහම මුළු පළාතම ගඳයි. පූසෙක් එහෙම සපත්තුව ඉව කළොත් එහෙමම කලන්තේ දාලා වැටෙනවා. හැබැයි ඉතින් හරි විදියට සපත්තු පාවිච්චි කරනවා නම් ඔය කරදරේ නෑ. මූලිකම දේ තමයි හොඳට කකුල් හෝදලා, වියලලා තියාගන්න එක. එතකොට පිරිසිදු මේස් පාවිච්චි කරන එක. තෙත පිටින් කකුල් වලට මේස් දැමීම හෝ හරියට වේලුනේ නැති මේස් කකුලට දැමීම හෝ නොකරන එක. එක දිගට එකම සපත්තු කුට්ටමක් පාවිච්චි නොකරන එක. හොඳම දේ තමයි සපත්තු කුට්ටම් දෙකක්වත් මාරුවෙන් මාරුවට පාවිච්චි කිරීම. ඒ වගේම එක දිගට සපත්තු කුට්ටමක් දවස් කීපයක් දාන්න වුනොත් පොඩ්ඩක් අවුවෙන් තැබීම. ආන්න එතකොට ඔය සපත්තු ගඳ එන්නෙ නෑ.
4. ඔන්න ඔහේ කාලාම අත හෝදමු?
අපේ ගොඩක් දෙනෙක් ඉන්නවා ඌරන්ට මොන සවුක්යද කියලා කන්නවත් අත නොසෝදන. මෙහෙමයි. සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට කන්න එක පාරක් අත නොසේදුවා කියලා බඩේ අමාරුවක් හැදෙන එකක් නෑ. හැබැයි නොහැදෙයි කියලා සහතික වෙන්නත් බෑ. මොකද, අත් සෝදන එක කියන්නේ අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතේ අතිශයින්ම වැදගත් කාරණාවක්. එතකොට ඔය බස් වල සහ වෙනත් පොදු ස්ථාන වල තියෙන හැම දෙයක්ම අල්ලලා කරලා, කුණු දූවිලි පිටින්ම කෑම කනවා කියන්නේ මොන වගේ විෂබීජ තොගයක්ද අපි ඇඟ ඇතුළට දාගන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ආන්න ඒ නිසා සබන් යොදා අත් සෝදාගැනීමේ පුරුද්ද අනිවාර්යයෙන් තමන්ගේ ජීවිතේට ඇතුළත් වෙන්න ඕන.
5. ෆෑන් එක සුද්ධ කරමුද?
මෙන්න මේකත් ගොඩක් දෙනෙක්ට මග හැරෙන කාරණාවක්. දැන් ඔය ගෙවල් වල ෆෑන් තියෙනවනේ. එතකොට සීලින් ෆෑන් වලටත් වඩා අපි මේ කියන කාරණාව බලපාන්නේ ගෙදර තියෙන ටේබල් ෆෑන් හරි ස්ටෑන්ඩ් ෆෑන් හරි වලට. මේවා ක්‍රියාත්මක වෙලා තියෙනකොට කාලයත් එක්ක ඔය කාමරේ හරි ෆෑන් එක තියෙන අවකාශේ හරි තියෙන කුණු දූවිලි ඔක්කොම ඇවිත් ෆෑන් එකේ බැඳෙනවා. විශේෂයෙන්ම ෆෑන් එකේ පෙති වල, ඉස්සරහා සහ පස්සේ තියෙන ග්‍රිල් වල වගේම සමහර වෙලාවට මෝටරේත් කුණු දූවිලි එකතු වෙනවා. අන්න එතකොට තමයි ෆෑන් එක බබා වගේ සද්ද නැතුව වැඩ නොකර මහ හයියෙන්, වෙනදට වඩා හෙමින් වැඩ කරන්න ගන්නේ. හැබැයි ගොඩක් අය ෆෑන් එක සුද්ධ කරන්න ඉන්නවා මේ වෙනකල්ම. ඒත් දූවිලි කුණු බැඳිලා තියෙන ෆෑන් එකකින් එන හුළඟ නිසා අපිට ශ්වසන ආබාධ බොහොම පහසුවෙන් ඇති වෙනවා කියන එක බොරුවක් නෙවෙයි. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ අඩුම තරමින් සති දෙකකට, තුනකට සැරයක්වත් ෆෑන් එක සුද්ධ කරන්න කියලා.
6. ටොයිලට් පේපර් වලින් ෂේප්ද?
මෙන්න මේක ලෝකෙම මතභේදයකට තුඩු දෙන කතන්දරයක්. ඒ තමයි ටොයිලට් ගිහින් ලොකුම වැඩේ කළාට පස්සේ පාවිච්චි කරන්නේ වතුරද, ටොයිලට් පේපර්ස්ද කියන එක. හැබැයි මෙතන කතන්දරේ මේකයි. අපි මේක වෙන රටවල් එක්ක සසඳන්න යන්නෙ නෑ. හැබැයි අපේ රටේ තියෙන ආහාර පුරුදුත් එක්ක හදිසියකට වුනත් ලොකුම වැසිකිළි කර්තව්‍යය කරලා ටොයිලට් පේපර්ස් වලින් පස්ස පිහදාගෙන ෂේප් එකේ ඉන්න එක සෞඛ්‍යය අතින් ගත්තත් අවුල් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. එකක් තමයි යට ඇඳුම් වල ඉතුරු වෙන ගඳ. දෙවෙනි එක තමයි අපි ගන්න ආහාර වලට අනුව තමයි අපේ මළපහ වල ස්වභාවය තීරණය වෙන්නේ. අන්න ඒ මළපහ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න ටොයිලට් පේපර්ස් වලට කොහොමත් බෑ. අන්න ඒකෙන් විෂබීජ ඉතුරු වෙලා නොයෙකුත් ආසාදන ඇතිවෙන්න පුළුවන්. ආන්න ඒ නිසා ලංකාවේ කෑම කනවා නම්, ටොයිලට් ගිහින් වැඩේ කරලා වතුර දාලා පස්ස හෝදගන්න එක හොඳා.
7. බෑග් එකේ කොටි වලස්සුත් ඉන්නවද?
මේ කතන්දරේ ගොඩක් වෙලාවට බලපවත්වන්නේ පුරුෂ පක්ෂයට නෙවෙයි. මොකද පුරුෂ පක්ෂයේ ගොඩක් දෙනෙක් බෑග් එකක් ගෙනියන්නේ නැති තරම්නේ. හැබැයි කාන්තා පාර්ශවේ ගත්තොත් ඒ අයගේ හෑන්ඩ් බෑග් වල ආයෙ නැති දෙයක් නෑ. ඕක බැලූ බැල්මට නම් සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි නිකමට හිතලා බලන්න, හෑන්ඩ් බෑග් එකක මොන තරම් දේවල් ඔබාගන්නවද කියලා. බාගෙට කාපු කෑම ජාති වල ඉඳලා නොයෙකුත් දේ ඕකේ තියෙනවා. ඔය ඉන්ඩිපෙන්ඩන්ට් එකේ කියනවා ටොයිලට් එකකට වඩා බැක්ටීරියා වර්ග තියෙනවලු සමහරුන්ගේ හෑන්ඩ් බෑග් වල. අන්න ඒ නිසා සති දෙකකට සැරයක් වත් හෑන්ඩ් බෑග් එක, ඔෆිස් ගෙනියන බෑග් එක හොඳින් සුද්ධ පවිත්‍ර කිරීම හොඳ පුරුද්දක්. ඒකෙන් අනවශ්‍ය කුණු කන්දල් බෑග් එක ඇතුළේ ගොඩ ගැහෙන එකත් වළකිනවා. තමන්ගේ සෞඛ්‍යයටත් හොඳක් තියෙනවා. හැබැයි මෙතනදී බෑග් එකේ ඇතුළත පිරිසිදු කරනවා වගේම පිටත පිරිසිදු කරන එක ගැනත් හිතන්න ඕනෑමයි.
Leave a Reply