තාක්ෂණේ අතේ දුරින් තියාන ශරීර කෘත්‍යයත් කරන කාලෙක දැන් ජීවත් වුණාට, මීට අවුරුදු කීපයකට කලින් මේ අහස යට වෙන හැම දෙයක්ම අපි දැනගත්තේ රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් ඒත් නැත්නම් පත්තර කෑල්ලකින්. තේ එකේ මාරි බිස්කට් පොඟව පොඟවා කාටුන් බලපු නිසා ද මන්දා අනික් මාධ්‍යයන්වලට වඩා ඒ දවස්වල රූපවාහිනිය හරි ජනප්‍රියයි. ගොඩක් නාලිකාවල මිනිස්සුන්ට හිතන්න යමක් ඉතුරු කරපු වැඩසටහන් ක්‍රියාත්මක වුණා. අනේක වැඩසටහන් අස්සේ වාර්තාමය වැඩසටහන් කීපයකුත් තියෙනවා අමතක කරන්න බැරි.
1. ඇඟිලි සලකුණ

Source – youtube.com
මීට අවුරුදු 15කටත් කලින් ජාතික රූපවාහිනියේ විකාශය වුණ මේ වැඩසටහන බලන්න ලෑස්ති වෙන්න ඕනි පිරිත් පැන් ටිකක් බීලා, නූලක් හෙම ගැටගහගෙන. ඔක්කෝටමත් වඩා බය හිතෙන පසුබිම් සංගීතයක් තියෙනවා. සැරෙන් සැරේ වැඩසටහන අස්සේ ඕක දානකොට ගෙදර කොහේ හරි මුල්ලකින් මොකෙක් හරි අපතයෙක් ඇඟට කඩා පනී කියලා බයකුත් එනවා. මේක හොල්මන් ගැන වැඩසටහනක් නෙවේ, හැබැයි හොල්මන්වලටත් වඩා අන්තයි. පණ තියෙන මනුස්ස ලෝකේ සිද්ධ වෙන අලුගුත්තේරු වැඩ නාට්‍යමය විදියට ඒත් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමක් තමයි වුණේ.
2. දුටු නුදුටු
ගවේෂණාත්මක වැඩසටහන් කලාවේ ගජ ඉලන්දාරියෙක්ගේ ආගමනය සිද්ධ වෙන්නේ මෙතනදී. මුදිත විජේසුන්දර කියන තරුණයා සංචාරයේ යෙදෙන ගමන් ඒ අත්දැකීම් සහ දැනුම බෙදාගත්තේ මේ වැඩසටහනින් තමයි. මුදිත කියන්නේ ඒ කාලේ කෙල්ලොන්ගේ හීන කුමාරයෙක්. ඒ හින්දාම වැඩකට ඇති දෙයක් වෙනුවෙන් රූපවාහිනිය ඉස්සරහා වාඩිවෙන්න ඒ හැමෝටම පුළුවන් වුණා.
3. වාහල්කඩ

Source – youtube.com
අපේ රටේ වාරි සංස්කෘතිය කියන්නේ සුදු මහත්තුරුන්ගෙත් ඇඟේ මයිල් ඉස්මයිල් කරපු විශිෂ්ට තාක්ෂණයක්. ඒත් ඒ ගැන අපේ රටේ මිනිස්සුන්ටම ඒ තරම් අගයක් නැහැ. ඉතින් වාහල්කඩ කියන නමින් ජාතික රූපවාහිනියේ විකාශය වුණ මේ වැඩසටහන වටා බොහෝ දෙනා එක් වුණා. සවාරියක් යනකොට විතරක් දියපාරක ඇති හොඳක් ගැන හිතපු ජනතාව තමන්ගේ රටේ මිනිස්සුන්ගේ විස්මකර්ම වැඩ ගැන දැනගත්තා. මේකේ සම්පත්දායක විදියට හිටියේ වැව් ගැන ඇස් පියාගෙන වුණත් කියන්න හැකියාවක් තියන උදුල බණ්ඩාර අවුසදහාමි.
4. යෙහෙළි

Source – youtube.com
ඇඟිලි සලකුණ වගේම ඇඟේ දාඩිය පාරක් දම්මවන්න සමත් වුණ වාර්තාමය වැඩසටහනක්. නමේ විදියෙන්ම තේරෙනවා නේ මේක කාන්තා පාර්ශ්වය සම්බන්ධ දෙයක් කියලා. කාන්තාවක් වෙලා ඉපදුණ නිසාම, ජීවිතයේ කොයිම තැනකදී හරි විඳින්න වෙන දුක් ගැහැට දවසින් දවස යෙහෙළි ලංකාවටම කිව්ව කතාවලින් තේරුණා. දිනූෂා රාජපතිරණ තමයි වැඩසටහන මෙහෙයෙව්වේ.
5. සැරිසර

Source – youtube.com
ඔය මොන තරමක් ලංකාව වටේ කරක් ගහන වැඩසටහන් විවිධ නාලිකාවලින් තිබ්බට මේ තරම් ජනප්‍රිය වුණ තවත් වැඩසටහනක් නැති තරම්. නිශාන්ත කහවිට කියන හිතවතාගේ සංචාරය, ඔහුගේ වචන එදා වගේම අදටත් තරුණයි කියලා තේරෙන්නේ “සොබාධාරා” කියලා මේ දිනවල විකාශය වෙන වැඩසටහන නිසා.
6. ගඟ දිගේ

Source – youtube.com
ජැක්සන් ඇන්තනී කියන්නේ නියම වැඩ්ඩෙක් කියන්න තවත් සාක්ෂියක් තමයි මේ. මේකත් ගවේෂණාත්මක වැඩසටහනක්. නමුත් ඒ වගේ වැඩසටහන්වල තියන මෙලෝ රහක් නැති ගතිය වැඩසටහන ඉදිරිපත් කරන්නාගේ දක්ෂකම නිසා නැතිවෙලා තියනවා. මේ වැඩසටහන පටන් ගන්නේ මහවැලි ගඟේ ආරම්භක ස්ථානය හොයාගෙන ගියපු ගමනකින්. සතුටු හිතෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ වැඩසටහනේ පළමු කොටසේ ඉඳන් ඉදිරියට වීඩියෝස් යූටියුබ් එකේ බලන්න පුළුවන් වීම.
7. Wild Asia

Source – youtube.com
තවත් දක්ෂයෙක් මෙහෙයවපු ආසා හිතෙන වැඩසටහනක් තමයි මේ. ලංකාවේ අපිට ඉන්න මෝගන් ෆ්‍රීමන් නැත්නම් අරුන් ඩයස් බණ්ඩාරනායක තමයි මෙහෙයවන්නා. ස්වාභාවික සෞන්දර්‍යය නිසා කප් ගහපු ලංකාවේ ජීවින් එන්න එන්නම නැති වෙලා යනවා. ඒ අපූරු සත්ව ලෝකය දිහා ලවක් දෙවක් නැතුව ආශාවෙන් බලා හිටපු කාලය තමයි මේ වැඩසටහනත් එක්ක අපිව බැඳලා තියෙන්නේ. හැමදාම ප්‍රශ්නයක් අහලා හරි උත්තරේට තෑගිභෝග එහෙමත් දුන්නේ.
8. මහා සංචාරය

Source – youtube.com
ලංකාවේ විකාශය උන සංචාරක වාර්තාමය වැඩසටහන් බර ගාණක් මෙහෙයවපු ජැක්සන් ඇන්තනි මහත්තයාගේ තවත් වැඩක් තමා මහා සංචාරය කියන්නේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා සංචාරයක් වුණ මේ වැඩසටහනෙන් ලංකාවේ ගොඩබිමේද, මුහුදේද යන්න පුළුවන් තැන් පීරා ගිහින්, ඒ ඒ තැන් වල වැදගත්කම, සුන්දරත්වය නොඅඩුව ප්‍රේක්ෂකයාට සමීප කරන්න හැකිවුණා. ඒ මගින් මේ වැඩසටහනේ මූලිකම පරමාර්ථය වුණ කුදිරමලෙයි තුඩුව සිට මහනුවර මගුල් මඩුව තෙක් මෙරට රජවරුන් එකසිය අසූ දෙදෙනෙක් ගිය මග ඔස්සේ ඒ ඉතිහාසය මෙරට ප්‍රේක්ෂකයින්ට ලබා දීම ඉතා සාර්ථක වුණා කියන එක හැමෝම පිළිගන්න කාරණයක්.
9. කදමල්ල

Source – youtube.com
අරුන් ඩයස් බණ්ඩාරනායක කිව්වම අපි කාගේත් මතකය ටක් ගාලා යන්නේ කදමල්ල දිහාවට. අපි කලින් කියපු වයිල්ඩ් ඒෂියා වැඩසටහන කළෙත් මෙතුමාම තමයි. ඉංග්‍රීසි නිවේදකයෙක් විදිහට ඒ කාලේ ප්‍රචලිතව හිටපු එතුමාගේ ප්‍රථම සිංහල වැඩසටහන උනේ කදමල්ලයි. 1994 දී විකාශනය ආරම්භ කරපු කදමල්ල 2001 තෙක් අවුරුදු 7ක් පුරාවට රූපවාහිනියේ දිග හැරුණා. දෙස් විදෙස් තොරතුරු හරි අපූරුවට තමන්ගේ ආකර්ෂණීය හඬ පෞර්ෂයෙන් ඉදිරිපත් කරමින් මේ වැඩසටහනට අපිව ඇද බැඳ තබා ගන්නට අරුන් ඩයස් බණ්ඩාරනායක මහත්මාට හැකිවුණා.
10. නමයයි පහ

Source – youtube.com
මෑතකදී අපි අතරින් වියෝවුණු හේම නලින් කරුණාරත්න මහත්තය තමයි මේ වැඩසටහන මෙහෙයවුවෙ. හේමනලින් එක් රැයින් ලංකාවෙ ගෙයක් ගෙයක් ගාණේ දන්න නමක් බවට පත්වෙන්නෙ මේ වැඩසටහන හරහායි. ඉරිදා රෑ නමයයි පහට විකාශය වුණු මේ වාර්තාමය වැඩසටහන වඩාත්ම ප්‍රසිද්ධියට පත්වුණේ ඒ හරහා ලංකාවෙ අයගෙ එක එක වැඩ කිඩ සහ අපේ රටේ සැඟවිලා තියන සුන්දරම සංචාරක ස්ථාන අපිට පෙන්වපු නිසායි.
මීට අමතරව උඩරට මැණිකේ, සලංහන්තේ, ලෝක සිතියම, ඔටෝ විෂන්, The Silk Road, මහා සංචාරේ වගේ වැඩසටහන් අදටත් ඒ කාලේ මතකයන් දෙනවා.
Cover Image Source – youtube.com
Leave a Reply