රුසියාවේ අසහාය නායක ව්ලැද්මීර් පූටින් හට සතුරන් වගේම මිතුරන් ද එකසේම ගෞරව කරන්නේ කාලයක් වැලේ වැල් නැතුව හිටපු රුසියාව නැවතත් ලෝක බලවතෙක් බවට පත්කර ගැනීමට ඔහු සමත් වෙච්ච නිසයි. මේ නිසාම ඇතැම් පාර්ශව ඔහුව අරුම පුදුම මිනිසෙක් විදිහට හඳුන්වනවා. සමහර අය කියන විදිහට ඔහු කාල තරණය කළ පුද්ගලයෙක්. තවත් අයට අනුව අමරණීය පුද්ගලයෙක්. මේ කොහොම වුණත් ලෝකයේ බලගතුම රාජ්‍ය නායකයා ඔහු කියන එක අපිට අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. අපි අද ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ පූටින් සම්බන්ධයෙන් කියවෙන විවිධ කතා කීපයක් පිළිබඳව.
1. පරක්කු වෙන පූටින්
වරක් පූටින්ව මුණගැහෙන්න ආපු පාප්තුමාට පැයකට ආසන්න කාලයක් බලාගෙන ඉන්න වුණා. ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් පාප්තුමාට මේ විදියට සළකලා නැහැ කියලා තමයි විශ්වාස කෙරෙන්නේ. ඊට අමතරව දෙවැනි එළිසබත් රැජින සමග පැවැත්වෙන හමුවක් සඳහාත් පුටින් පැමිණියේ පරක්කු වෙලා. මේ පරක්කු වීම ඔහුගේ රාජකාරි ජීවිතයේ පමණක් නෙමෙයි, පෞද්ගලික ජීවිතයටත් එක හා සමානව වලංගුයි කියලා තමයි ඔහුට සමීප ආරංචි මාර්ග කියන්නේ.
2. ලෝකයේ ධනවත්ම මිනිසා පූටින්ද?
පූටින්ගේ විරුද්ධවාදී විවේචකයන් කියන විදිහට අද වෙනකොට ලෝකෙ ඉන්න ධනවත්ම මිනිසා වෙන්නේ පූටින්. ඔහුගේ වත්කම් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙසීයක පමණ වන බවට විශ්වාස කෙරෙනවා. රුසියාවේ ප්‍රධාන පෙළේ තෙල් සමාගම් ඇතුළු ව්‍යාපාර ගණනාවක ප්‍රධාන පෙළේ ආයෝජකයෙක් බවට ඔහු පත් වෙලා සිටින බවත්, එය හොර රහසේ පවත්වාගෙන යන බවත් මේ විවේචකයන් තවදුරටත් පවසා සිටිනවා. නමුත් පූටින්ගේ මාධ්‍ය ප්‍රකාශකයන් නම් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ ඒවා පදනමක් නැති කතන්දර කියමින්. ඔවුන්ට අනුව පූටින්ගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක්.
3. පූටින්ගේ රහසිගත මාළිගා
ඉහතින් අපි කියූ විවේචකයන් පවසන විදිහට පූටින්ට අයත් මාළිගා ගණනාවක් රුසියාවේ පමණක් නොව යුරෝපය පුරා පවතිනවා. නමුත් මේවා අතරින් එක්තරා මාළිගයක් පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇති වුණා. පූටින්ගේ හිතවතුන් විසින් ග්‍රීෂ්ම ඍතුව ගත කිරීම සඳහා භාවිතා කරන ලද නිවස්නයක් ලෙස හැඳින්වුණු කළු මුහුද ආසන්නයේ පවතින මාළිගයක තොරතුරු ජනමාධ්‍ය විසින් හෙළිකර ගනු ලැබුවා. ඔවුන්ට අනුව මේ මාළිගයට හෙලිකොප්ටර් අංගන තුනක්, සිනමා ශාලාවක් සහ සුවිශාල උද්‍යානයක් ඇතුළත් වනවා. කෙසේ නමුත් සුපුරුදු විදිහටම රුසියානු රජය මගින් මේ සියළු චෝදනාවන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
4. පූටින්ගේ විවාහය සහ දික්කසාදය
2013 වර්ෂයේදී වසර තිහක් පුරා තමන් සමඟ ජීවිතය බෙදා ගත් ලුඩ්ම්ලාව දික්කසාද කිරීමට තීරණය කළ බව පූටින් විසින් ප්‍රකාශ කරනු ලැබුවා. බොහෝ පාර්ශ්ව රුසියානු ජනාධිපතිවරයා විවාහකයෙකු බව දැනගත්තේ මෙම ප්‍රකාශයෙන් අනතුරුවයි. කෙසේ නමුත් ඉන්පසුව ලුඩ්මිලාගේ ඉරණම කෙසේ වී ද යන්න පිළිබඳව විවිධ මත පළවී තිබෙනවා. ඇතැම් අයට අනුව මෙම දික්කසාදය දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදුවීමෙන් අනතුරුව ලුඩ්ම්ලා සාමකාමී ජීවිතයක් ගතකරන අතර සමහරු පවසන්නේ ලුඩ්මිලා මේ වන විට සිරගත වීමකට සමාන ඉරණමකට පත්ව සිටින බවයි.
5. යුක්රේනයේ ජාතික වස්තුවකට පූටින් කළ දේ
පූටින් විසින් යුක්රේනයට අයත්ව තිබූ ක්‍රයිමියා ප්‍රදේශය ආක්‍රමණය කිරීම අන්තර් ජාතික වශයෙන් සුවිශාල අර්බුදයකට ඉඩ දුන්නා. කෙසේ නමුත් එම ප්‍රදේශයේ ජීවත් වුණු බහුතර රුසියානුවන් විසින් එම ක්‍රියාමාර්ගය ජනමත විචාරණයක් මගින් අනුමත කිරීම නිසා ඊට එරෙහිව අනෙකුත් ලෝක බලවතුන්ට කිසිවක් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. යුක්රේනයේ පිහිටා තිබූ මසැන්ඩ්රා නම් වයින් එකතුව වෙත ගිය පූටින් සිය සමීප සගයෙකු වුණු එවකට ඉතාලියේ අගමැතිවරයාව සිටි බෙලුස්කෝනි සමහ 1775 වර්ෂයේදී නිෂ්පාදනය කරන ලද වයින් බෝතලයක් පානය කරනු ලැබුවා. මෙය සැළකුණේ යුක්රේනයේ ජාතික වස්තුවක් ලෙසයි. පුටින්ගේ මෙම ක්‍රියාවට යුක්රේන ජාතිකයන්ගේ දැවැන්ත විරෝධයක් එල්ල වුණා. නමුත් ඔවුන්ට ඊට එරෙහිව කිසිවක් කිරීමට නොහැකි වුණා.
6. සංගීතයට ලැදි පූටින්
ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති සංගීත වැඩසටහනක් සඳහා එක් වුණ පූටින් මුළු ප්‍රේක්ෂකාගාරයම පුදුමයට පත් කළේ පියානෝ වාදනයක් ඉදිරිපත් කිරීම මගින්. ඉන් අනතුරුව ඔහු ජනප්‍රිය ඇමරිකානු ගීතයක් වන “Blueberry Hill” ගීතය ගායනා කරනු ලැබුවා. කෙසේ නමුත් ඔහු විශිෂ්ට අයුරින් වාදනය සහ ගායනය සිදු කළත් පූටින් හැම විටම පවසන්නේ තමන්ට ඒ කිසි දෙයක් නිසි පරිදි බැරි බවයි.
7. ඇමෙරිකානු සාහිත්‍යයට ආදරය කරන පූටින්
ඇමරිකා එක්සත් ජනපදයේ අංක එකේ ප්‍රතිවාදියා බවට පත් වෙලා හිටියත් පූටින් පවසන විදිහට ඔහුගේ ප්‍රියතම සාහිත්‍යධරයන් තුන්දෙනාගේ ලැයිස්තුවේ දෙදෙනෙක්ම ඇමරිකානුවන්. අර්නස්ට් හෙමින්ග්වේ සහ ජැක් ලැන්ඩන් ඒ දෙදෙනායි (ජුල්ස් වර්න් අනෙක් පුද්ගලයා වනවා). තමන් ඔවුන්ගේ නිර්මාණවලට කැමති කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳවත් පූටින් වැඩිදුරටත් අදහස් දක්වා තිබෙනවා. ඔහුට අනුව එම කතුවරුන්ගේ නිර්මාණ වල හමුවන පුද්ගලයන් අතිශයින්ම නිර්භීත සහ වීර වික්රමාන්විතවල නිරත වෙන පුද්ගලයන්.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මේ ලිපියට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර හොඳ වුණොත් මේ ලිපියේ දෙවැනි කොටසක් ලියන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
Leave a Reply