කන් සුද්ද කරගමුද? ඒක හරියට කරන්නත් ඉගෙන ගන්න වෙනවා

ඔය කන් සුද්ද කරනවා කියන්නේ සමහරු කණේ ඔපරේෂන් එකක් කරනවටත් වඩා බය දෙයක්. හැබැයි තවත් සමහරුන්ට කන් සුද්ද කරනවා කියන එක කොයි තරම් කජු කිරි දෙයක්ද කියනවා නං, ආයෙ අතට අහුවෙන ඕන අලවංගුවක් දාලා මේ අය කණ හාර හාර ඉඳී. හැබැයි අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. කණ සුද්ද කරන්න බය වෙලා බෑ. හැබැයි ඒ වගේම, අහුවෙන ඕනම එකක් කණ ඇතුළට දාලා කරකවනවා කියන්නේ සෑහෙන්න භයානක දෙයක්. ඒකට හේතුවත් අපි ඊලඟට කියන්නම්.

 

දැන් කණ සුද්ද කරන්න හොඳ අර කොට්න් බඩ්ස් නැතිනම් පුළුන් කෝටු කියන එව්වද? එහෙම නැතිනම් පරණ තාලෙට කන් හැන්දක් දාලා කණ සුද්ද කළාට කමක් නැද්ද? එහෙමත් නැතිනම් ඔය සමහරු කරන විදියට කෝටු කෑල්ලකින්, ඉරටු කෑල්ලකින් නැතිනම් ගිනිකූරකින් කණ සුද්ද කරන ඔපරේෂන් එක කරගන්න එක අවුලක් නැද්ද? ආන්න ඒ හැමදේටම උත්තර තමයි මේ.

 

 

1. කන් සුද්ද කරන්න ඕනද?

 

ඇත්තටම ඒකට උත්තරේ නැහැ කියන එක තමයි. කණේ ඇත්තටම අපි මොනවද සුද්ද කරන්නේ? කන් කලාඳුරු කියලා ඔය ලේසියට කියන ඉයර්වැක්ස් තමයි ඇත්තටම සුද්ද කරන්නේ. ගොඩක් අය ඒවා දන්නේ වැක්ස් නැතිනම් ඉටි වගේ දෙයක් විදියට. හරි. ඕවා ඇයි කණේ හැදෙන්නෙ? ආන්න ඒක තමයි ප්‍රශ්නේ. මේ ඉයර් වැක්ස් ඇත්තටම කණේ හැදෙන්නේ කණේ ආරක්ෂාවට. ඒ කියන්නේ, කන මනාව ලිහිසිකරණය කරලා, ආරක්ෂාකාරීව තියාගන්න තමයි ඉයර් වැක්ස් තියෙන්නේ. ඇත්තටම මේ ඉයර් වැක්ස් නැතිනම් කන් කලාඳුරු වල බැක්ටීරියා ප්‍රතිරෝධී ගුණාංගත් තියෙනවා කියලයි වෛද්‍යවරු කියන්නේ. අන්න ඒ නිසා ඔය අනවශ්‍ය බැක්ටීරියා ආසාදන වගේ දේවල් වලින් තොරව කණ ආරක්ෂිතව තියාගන්නත් මේ ඉයර් වැක්ස් උපකාරී වෙනවා. ඉයර් වැක්ස් නොතිබුණා නම් ඔය දුහුවිලි කුණු වගේ දේවලටත් කණ ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඔය විදියට කණ ස්වයං-පිරිසිදුකරණයකට ලක් කරන්න ඉයර් වැක්ස් සෑහෙන්න උපකාරී වෙනවා.

 

 

2. එහෙනම් සුද්ද කරන්නේ?

 

දැන් ඔය ඉයර් වැක්ස් තියෙනවනේ. ඒවා ඉතින් ශරීරයෙන් තව තවත් නිපදවෙනවනේ. අපි මොනවා හරි හපනකොට, අපේ හක්ක හොළවනකොට එහෙම අපේ කණ ඇතුළේ තියෙන පරණ කන් කලාඳුරු ශ්‍රවණ නාලය ඔස්සේ බාහිර කණ වෙතට එනවා. එහෙම ඇවිත් බාහිර කණේ පිටතට විවෘත වෙලා තියෙන කොටස් වල තැන්පත් වෙනවා. එහෙම තැන්පත් වෙලා ඝන වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන, ඇතුළු කණේ සංවේදී ගැඹුරින් තියෙන කොටස් වල එහෙම කන් කලාඳුරු තැන්පත් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් හැමවිටම වගේ වෙන්නේ කන් කලාඳුරු කණේ පිටත කොටස් වලට ඇවිත් තැන්පත් වෙන එක තමයි.

 

එතකොට සුද්ද කරන්න ඕන ඇත්තටම එහෙම කණේ පිටත කොටසේ තැන්පත් වෙන පැරණි කන් කලාඳුරු තමයි.

 

 

3. කොට්න් බඩ්ස්?

 

වෛද්‍යවරු දැන් කියන්නේ කොට්න් බඩ්ස් හෙවත් පුළුන් කෝටු වලින් කන් සුද්ද කරන්න එපා කියලා තමයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි කොට්න් බඩ්ස් නැතිනම් ඉයර් බඩ්ස් වල අග්ගිස්සේ තියෙන පුළුන් කෑලි ගැලවිලා කනේ ඇලවෙන්න, ඒ පුළුන් ගුලිය කණ ඇතුළේ හිරවෙන්න එහෙම ලොකු ඉඩක් තිබීම එතකොට වෙන්නේ ඒ අවට ආසාදන ඇතිවෙන එක. ඒ ඇරෙන්න, කණට පුළුන් කෝටු දැමීම මගින් පිටත කණේ තැන්පත් වෙලා තියෙන කන් කලාඳුරු කණේ අභ්‍යන්තරයට තල්ලු වෙන්නත් පුළුවන්. ඒක තවත් බරපතළ ප්‍රශ්නයකට මුල.

 

 

4. කන් හැන්දෙන්?

 

කන් හැන්දෙන් කණ සුද්ද කිරීමත් වෛද්‍යවරු ඒ තරම් නිර්දේශ කරන කාරණයක් නෙවෙයි. ඒකට හේතුව වෙන්නේ නොයෙක් විෂබීජ කන් ඇතුළට කන් හැන්ද ඔස්සේ යන්න හැකියාවක් තිබිමත්, කන් හැන්ද නිසා කණේ අභ්‍යන්තරයට හානි සිද්ධ වෙන්න හැකියාවක් තිබීමත් තමයි. ඔය සමහරු කණ කූරු ගාන එකේ තියෙන ආතල් එකට කණ් හැන්ද කණට ඔබාගෙන පැය ගණන් කස කස ඉන්නවා. ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. කන් හැන්ද පාවිච්චි කරනවා නම්, එකක් ඒකෙන් පරිස්සමට ඝන වුණු කන් කලාඳුරු පිටත කණේ ප්‍රදේශයෙන් එළියට ගන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. දෙවෙනුව, කන් හැන්දක් කණට දාන්න කලින් ඒක උතුරන වතුරෙන් හරි සර්ජිකල් ස්ප්‍රීට් වලින් හරි පිරිසිදු කරන්න ඕන. එහෙම විෂබීජ නාශනය නොකර, කොහේ හරි මුල්ලකින් ඇදලා ගත්තු කන් හැන්දක් කණට දාන එක අවදානම් කියලා තමයි දොස්තරවරු කියන්නේ.

 

 

5. කෝටු කෑලි ඔබාලා?

 

මේන්න මේ වගේ පුරුදු නම් කණේ සෞඛ්‍යයට අතිශයින්ම භයානකයි කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. සමහරු ඔය අතේ තියෙන යතුරකින්, ගිනිකූරකින්, ටූත් පික් එකකින් බැරිනම් කෝටු කෑල්ලකින් හරි කණ කසනවා. දැන් ඔය කණේ පිටත හරිය විතරක් එහෙම කසන එකේ මොකද්ද තියෙන භයානක කම කියල කෙනෙක් හිතන්න පුළුවන්. පළවෙනිම දේ තමයි මෙහෙම අනං මනං තියුණු දාර තියෙන දේවල් කණට එබීමෙන් බාහිර කණේ බිත්ති සීරෙන්න, තුවාල වෙන්න තියෙන ඉඩ. ඊට පස්සේ ඉතින් ඒවා ආසාදනය වීමේ ප්‍රවණතාවය වැඩියි. එතකොට ආතල් එකට ඔහේ කණ කසන්න ගිහින් කණ ඇතුළට ඕවා යනවා කියන්නේ, කන් කලාඳුරු කණ අභ්‍යන්තරයට තල්ලු වෙලා යන්න පුළුවන්. ඒ වගේම කණ ඇතුළත ඔය දාන එව්වා ඇනිලා තුවාල සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ තදබල විදියට සිද්ධ වෙන අනතුරකින් කන් ඇසීමට පවා හානි වෙන්න පුළුවන් කියලා සමහර වෛද්‍යවරු කියනවා. ඒ ඇරෙන්න ඉතින් විෂබීජ එක්ක ඔය කෑලි බෑලි කණ ඇතුළට දාන එක ඉල්ලගෙන කෑමක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒ නිසා, කණ කස කස ඉන්න සනීපේ නිසා හරි එහෙම පුරුද්දක් තියෙනවා නම් වහාම ඒ පුරුද්ද අත්හැර ගන්න එක හොඳයි.

 

 

6. එහෙමනම් කොහොමද කණ සුද්ද කරන්නේ?

 

සාමාන්‍යයෙන් අපහසුවක් දැනෙන තරමට කණේ කන් කලාඳුරු පිරිලා තියෙනවා නම්, හොඳම දේ තමයි සිනිඳු ඇඟ හෝදන කොට ඇඟ පිරිසිදු කරන රෙදි කෑල්ලක්, ඒ කියන්නේ washcloth එකක් අරගෙන, අපිට පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් විදියට තියෙන පිටත කණේ රැඳිලා තියෙන කන් කලාඳුරු පිහිදලා, හෝදලා ඉවත් කරන එක. ඇත්තටම නාන කොට එහෙම වුණත්, කණට වතුර යන්නෙ නැති විදියට මෙහෙම බාහිර කණෙන් විවෘත වෙලා තියෙන කොටස් පිරිසිදු කරගන්න එක හොඳයි.

 

එහෙම නැතුව බාහිර කණේ ටිකක් ඇතුළතට වෙන්න තැන්පත් වෙලා තියෙන කන් කලාඳුරු තියෙනවා නම්, හොඳම ක්‍රමය කියලා වෛද්‍යවරු කියන්නේ පිරිසිදු කපු රෙදි කැල්ලකින් පහන් තිරයක් වගේ අඹරලා, ඒ තිරයෙන් කණ පිරිසිදු කිරීම තමයි.

 

 

7. කණ පරිස්සම් කරගන්න එක අනිවාර්යයි

 

අපි උඩින් කියලා තියෙනවනේ කණට අනං මනං දාන්න එපා කියලා. ඒ කියන්නේ කණ පිරිසිදු කරන පරමාර්ථයෙන් වත් කනට අනවශ්‍ය දේවල් දාන්න එපා කියලා තමයි උඩිනුත් කියලා තියෙන්නේ. හැබැයි ඒ විතරක් මදි. ආසාදන වලින් එහෙමත් කන පරිස්සම් කරගන්න ඕන. දොස්තරවරු කියන කාරණයක් තමයි මුඛය, කණ සහ නාසය කියන්නේ එක ඒකකයක් කියන එක. මේ තුනම එකට සම්බන්ධයි. ආන්න ඒ නිසා කණ පරිස්සම් කරගන්න ඕන නම් මුඛය සහ දත් එහෙමත් පිරිසිදුව තියාගන්න වෙනවා. උදාහරණයක් විදියට කියනවා නම්, කටේ නරක් වුණු දත් තියෙනවා නම් ඒ දත්වල තියෙන විෂබීජ කන්වලට ගමන් කරලා ආසාදන ඇති කරවනවා. එතකොට විදුරුමස් දියවීම නිසා රුධිර වහනය වෙනකොට වුණත් ඒ විෂබීජ කෙලින්ම කණට ගිහින් ආසාදන ඇති කරන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා මුඛයේ හෝ නාසයේ ගැටළුවක් මතු වුණොත් එහෙම වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා.

 

 

දැන් සමහරුන්ගේ ඔය පරණ කන් කලාඳුරු ඝන වෙලා, හිර වෙලා, කන් ඇහෙන්නෙ නැතුව ගිහිල්ලා ගැටළු ඇතිවෙනවා. ගොඩක් වෙලාවට පොඩි ළමයින්ගෙ එහෙම. ආන්න එහෙම වෙලාවකට කරුණාකරලා තමන් තනියෙන් ප්‍රශ්නේ විසඳන්න යන්න එපා. ගිහින් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න. ඊට පස්සේ වෛද්‍යවරයා ඒ අදාළ විදියට ඒ ප්‍රශ්නෙට ප්‍රතිකාර කරයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *