මාතෘකාව දැක්ක ගමන් දන්නවනෙ මොකක් ගැනද කියන්න හදන්නෙ කියලා. ලෝකයේ තියන විවිධාකාර රැකියා අතරින් ගොඩක් අවදානම් වගේම භයානකයි කියලා හිතෙන රැකියා ටිකක් ගැන කතා කරන්න අපි හිතුවා. පුටුවක වාඩි වෙලා එකතැනක ඉඳන් කරන රැකියා නෙවෙයි මේ. ජීවිත අවදානමක් අරගෙන කරන්න සිද්ධ වෙන රැකියා. මේ සමහරක් රැකියා ලංකාවෙත් තියෙනවා. ඉතින් අපි අද ඒ ගැන පොඩ්ඩක් කතා කරමු.
1. දුරකථන සම්ප්‍රේෂණ / විදුළි කුළුණු කාර්මිකයන්
මේක මේ වෙනකොට ලෝකෙ තියන භයානකම රැකියාවක්. අඩි ගාණක් උස ඒ වගේම ඉහළ වෝල්ටීයතාවයක් තියන විදුලි රැහැන් සහිත කණු උඩට නගින එකම ලොකු වීරකමක් ඇත්තෙන්ම. ඇමරිකාවෙ නම් මේ වගේ ජොබ් කරන අය 20-30ක් වසරකට මියයනවා. ඒකෙන්ම හිතාගන්නකො මේකෙ තියන භයානකකම. ලංකාවෙ උනත් මේ වගේ රැහැන් වලට නගින අයට අනතුරු බහුලයි. දැනට තියෙන උසම සම්ප්‍රේෂණ කුළුණ තියෙන්නෙ ජපානයේ ටෝකියෝවලයි. ඒක මීටර් 630ක් වගේ වෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ නෙළුම් කුළුණ වගේ දෙගුණයක් උසයි. මේ කුළුණු වලට නැගලා ජීවිතේ පරදුවට තියලා රැකියා කරන අයත් ඉන්නවා. ඒ වගේම මේ රැකියා වල තියන අවදානම නිසාම ඉහළ වැටුපක්ද ගෙවනවා.
2. Snake Milker
භයානක සර්පයින්ගෙන් විෂ ලබාගන්න පුද්ගලයින් කරන රැකියාවත් සෑහෙන්න අමාරුයි. දිනපතාම ඉතා උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් විෂ ලබාගෙන පර්යේෂණ හෝ වෙන කටයුතු වලට ලබා දීම මොවුන්ගෙ රැකියාවයි. ඇමරිකාවෙ තියන ගොඩක් භයානක ජොබ් එකක් තමයි මේ. හැබැයි මේවට ඉදිරිපත් වෙන, අවදානම් භාරගන්න කැමති හා ආසාවෙන් කරන පිරිසකුත් ඉන්නවා. මේ ලබාගන්නා විෂ නිසි විදියට ගබඩා කිරීම, රසායනාගාර නඩත්තු කිරීමත්, ලෝකයටම ප්‍රති විෂ සෑදීමට උදව් කිරීමත් මොවුන්ගෙ රාජකාරියෙ කොටසක්. මෙයාලා ඉන්නෙ ඇමරිකාවේ ෆ්ලොරිඩා වල උරග පරීක්ෂණ මධ්‍යස්ථානයෙ. මේ ලබාගන්න විෂ, සර්පයින් දෂ්ඨ කිරීමෙන් මිනිස්සු මියයන්නෙ නැතුව බේරගන්න ප්‍රතිවිෂ විදියට පාවිච්චි කරනවා. ඒ වගේම තවමත් ප්‍රතිවිෂ නිපදවන්න බැරි සර්පයින්වත් ඉතා අවදානමක් අරගෙන පරික්ෂා කරන නිසා මේ රැකියාව නම් සෑහෙන්න අවදානම්. හැබැයි මේ රැකියාව කරන අය දිනකට සර්පයින් 100කගෙ විතර විෂ ලබාගන්නවා කියලයි ආරංචි උනේ.
3. පතල්කරුවන්
මොවුන්ගේ රැකියාවත් සෑහෙන්න අවදානම්. මොකද පතල් කියන්නෙ කිලෝ මීටර් ගණන් පොළව ඇතුළට කැණීම් සිදුකරන දෙයක්. මේක ලංකාවට වඩා ගොඩක්ම වෙනත් රටවල මහා පරිමාණෙන් මිනිරන්, දියමන්ති වගේ දේවල් ලබාගන්න කැණීම් කරනවා. ගොඩක් ආරක්ෂක උපකරණ අනුගමනය කළත් විෂ වායු ආග්‍රහණය වීම, පස් කඩාවැටීම් නිසා පතල් තුළ සිරවීම්, ස්වභාවික වායු නිසා වන පිපිරීම් අපිට නිතරම අහන්න ලැබෙන දේවල්. තුර්කියේ, චීනයේ මේ වගේ පිපිරීම් වෙලා තියනවා. 1906 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ පතල් පිපුරුමකින් කම්කරුවන් 1500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. කවුරුත් ජීවත් වෙන්නනෙ රැකියාවක් කරන්නෙ. ඒත් මේ වගේ රැකියා තෝරගන්නෙ ඇයිද ඇහුවොත් එක් එක් අය දක්ෂතා දක්වන ක්ෂේත්‍ර තියනවා. ඒ අනුව තෝරගන්න රැකියාවත් වෙනස් වෙනවනේ. ඒ වගේම හුඟක් වෙලාවට මේ අවදානම් සහිත රැකියා ඉහළ ගෙවීම් සහිත ඒවා.
4. දිය යට පෑස්සුම් ශිල්පීන්
විශාල නැව් වල යට කොටස් සහ මුහුද යටින් යන විශාළ නල වල අලුත්වැඩියාවන් සිදුකරන්න ගියාම මුහුද යටට යන්න වෙනවා. ඒ වගේම විදුලියෙන් පෑස්සීම් කරන්න යනකොට විදුලි කාන්දුවක් වෙලා ඔක්සිජන් ටැංකියට ගින්දර ඇවිලිලා පිපිරෙන්න උනත් ඉඩ තියෙනවා. ගැඹුරු වතුර යට නිසා සෑහෙන්න අවදානම් වැඩක්. ඒ වගේම මේ පෑස්සුම් ශිල්පීන් දිය යට පීඩනය දරාගෙන මේ කරන වැඩ මනා පුහුණුවක් නැතුවනම් කරන්නම බෑ. බලන්න ඉතින් කොච්චර භයානක රැකියාවක්ද?
5. සුළං විදුලි බලාගාර තාක්ෂණික ශිල්පීන්
මේවයෙ සිදුවෙන්නෙ කුළුණේ තියන තටු සුළඟට කැරකෙන වේගය අනුව ටර්බයින් ක්‍රියත්මක වීමෙන් විදුලිය නිපදවීමයි. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන සුළං බලාගාර වල නඩත්තු කටයුතු හෝ අළුත්වැඩියා හිතන තරම් ලේසි නෑ. මේවා සියල්ල කරන්න සුළඟේ වේගය හා බලපෑම ගොඩක් බලපානවා. ඒ නිසා ඒවා ගැනත් සැළකිලිමත් වෙලා කරන්න ඕනේ රැකියාවක්. තටු වල අලුත්වැඩියාවක් කරනකොට හුළඟක් එහෙම ආවොත් කාට කියන්නද? ඒ වගේමයි මේවයේ අභ්‍යන්තර හා මතුපිට අලුත්වැඩියා කරන්න ඒවට යන එකත් හරිම අමාරු වැඩක්. කේබල් දාලා සේෆ්ටි පිට ගියත් එක නූලෙන් මිස් වෙන්න පුළුවන්.
6. බුල් රයිඩර්ස්
මේක ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩාවක්. විශේෂයෙන්ම ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ වගේ මේ බුල් රයිඩර් කෙනෙක්ට ලොකු වැටුපක් තියෙනවා. හැබැයි ඉතින් කරන්න තියෙන්නෙ සෑහෙන්න අමාරු වැඩක්. නමින්ම පේනවනේ කුළප්පු උන හරක් එක්ක ගැටෙනවා කියන්නෙ ඉළඇට වලට හානි වෙලා අං පහර කාලා ජීවිතේ උනත් නැතිවෙන්න පුළුවන්. මේ තරඟය ඉවර වෙනකල් රැඳිලා ඉන්නවා කියන්නෙ ඇත්තටම කරන්න අමාරු වැඩක්. මේ ක්‍රිඩාව නරඹන අය දන්නවා ඇති පිටියට ආවම තප්පර කිහිපයකින් මේ රයිඩර්ව බිමට වැටෙනවා. ඒ තරම් වේගෙන් හරකා හැසිරෙනකොට හිතාගන්නවත් බැරි වෙලාවකින් හිතාගන්නවත් බැරි දෙයක් වෙන්න පුළුවන්.
7. විශාල ගොඩනැගිලි වල පින්තාරුකරුවන් හා වීදුරු පිරිසිදු කරන්නන්
ලෝකේ කොච්චර දියුණු උනත් ගොඩනැගිලි අලුත්වැඩියාව නම් තවමත් මිනිස්සු ලවාමයි සිදුකරන්නෙ. ලෝකයේ ඉතා විශාල තට්ටු ගොඩනැගිලි වල උනත් කේබල් මාර්ගයෙන් කම්කරුවන්, වීදුරු පිරිසිදු කරන්නන් නිතිපතාම නැගලා තමන්ගෙ රාජකාරිය කරන්නෙ ජීවිතේට ලොකු අවදානමක් දීලා. කේබල් එක දාල උනත් පොඩි මිස් වීමක් උනොත් ඉතින් කතා කරලා වැඩක් නෑනේ. හැබැයි මෙයාලට ලොකු පඩියක් ගෙවනවා. ඒත් බලන්න කොච්චර අවදානමක් අරන්ද මේ වැඩේ කරන්නෙ කියලා.
ඉහතින් කිව්ව රැකියා වලට අමතරව තවත් භයානක රැකියා මේ ලෝකේ තියනවා. අපි කතා කළේ කිහිපයක් විතරයි. ඒ වගේම මේ වෙනකොට කොවිඩ් 19 උග්‍ර තත්ත්වයකට පත් වෙලා තියන වෙලාවෙ දිවා රෑ නොබලා වෙහෙස වෙන සෞඛ්‍ය අංශයේ නිලධාරීන් කරන්නෙත් ඒ හා සමානම අවදානම් සහගත රැකියාවක්. මේ වෙලාවෙ ඒ අයව අමතක කරන්නම බෑ අපිට. එයාලට ලයිෆි අපේ උපහාරය.
Leave a Reply