රැකියා අයදුම්පතක්, ඒ කිව්වේ අපි රැකියාවක් ඉල්ලුම් කරන්න යොමු කරන ජීව දත්ත සටහනක්, එහෙමත් නැත්තම් තේරෙන භාෂාවෙන් කිව්වොත් CV එකක් කිව්වම අපි හැමෝගෙම ඔලුවට මුලින්ම එන්නේ අධ්‍යාපන සුදුසකම්, රැකියා පළපුරුද්ද වගේ බොහොම බැරෑරුම් දේවල්නෙ. ඔව්, ඇත්තෙන්ම ඒ දේවල් තමයි CV එකක වැදගත්ම දේවල්. තමන් අයදුම් කරන රැකියාවට අදාළව සම්පූර්ණ කරලා තියෙන පාඨමාලා, උපාධි, රැකියා පළපුරුද්ද කියන දේවල් දිහා තමයි ඕනෙම සේවා යෝජකයෙක් අවධානය යොමු කරන්නෙ. ඔය තොරතුරු හරියට ඇතුලත් කරල, ආකර්ෂණීය පෙනුමට CV එකක් හදාගන්න එකත් එක්තරා කලාවක්.
ඉතින් ඔන්න ඔය කලාවේ නොහිතපු අහුමුල්ලක් ගැන තමයි අද කතා කරන්න යන්නෙ. වැදගත්ම කරුණු වලට අවධානය යොමු කළාට අනිත් පොඩි පොඩි දේවලුත් බලන කෙනෙක් නොසලකා හරිනව කියන්න නම් බැහැ. අන්න ඒ අතිරේක තොරතුරු අතරේ තමන්ගේ බාහිර ක්‍රියාකාරකම් සහ විනෝදාංශ කියන ගොඩට ඇතුලත් කරල තව කෙනෙකුගේ විශේෂ අවධානයට ලක්වෙන්න පුළුවන් විනෝදාංශ කිහිපයක් ගැන තමයි මේ කියන්නෙ. හැබැයි ඉතින් අවධානය ගන්න කියල මේ විනෝදාංශ බොරුවට CV එකට දැම්මට නම් වැඩක් නැහැ. ඇත්තටම පුහුණු කරල CV එකටත් දාගත්තොත් රැකියාවකට වගේම ජීවිතේටත් එක වගේම වැදගත් වෙයි.
1. යෝග ව්‍යායාම
අද කාලේ වයස් භේදයකින් තොරව හුඟ දෙනෙක් අවධානය යොමු කරන දෙයක් තමයි මානසික සෞඛ්‍ය කියන කාරණය. මේ තියෙන තරඟකාරීත්වයත් එක්ක මානසික පීඩනය කියන්නේ හරිම සුලභ ගැටළුවක්. අද කාලේ සේවකයින්ගේ වගේම සේවා යෝජකයින්ගේත් ලොකුම අභියෝගයක් තමයි මේ පීඩනය පාලනය කරන එක. ඉතින් යෝගා වගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් කරන ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් තියෙන, මානසික සෞඛ්‍ය පවත්වාගෙන යන සේවකයින් බඳවගන්න එක රැකියා ආයතනයකට ලොකූ වාසියක්. ඒ නිසාම ඔයාගෙ අයදුම්පතේ මෙන්න මේ වගේ දේකින් වාසියක් වෙනව කියන එක ටක්කෙටම ෂුවර්.
2. Extreme Sports
Extreme Sports කියන්නෙ ත්‍රාසයජනක ගණයේ ලා සැලකෙන ක්‍රීඩාවන්. අද කාලේ හුඟක් අයගෙ විනෝදාංශයක් තමයි මේ ත්‍රාසයජනක ක්‍රීඩාවන් වල යෙදෙන එක. Sky Diving, Water Diving, Bungee Jumping, Camping, Climbing වගේ දේවල් උදාහරණ හැටියට කියන්න පුළුවන්. මේ දේවල් අමුතු විනෝදාංශ බවට පත්වෙලා මේ තරම් ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒවගේ තියෙන අභියෝගාත්මක බව. අභියෝග බාරගන්න කැමති තරුණ උදවිය තමයි හුඟ දෙනෙක් මේ දේවල් වලට යොමු වෙන්නෙත්. ඔන්න ඔය කාරණාව හොඳින්ම දන්නව අද කාලෙ සේවා යෝජකයිනුත්. අභියෝග භාරගන්න, නායකත්වය දරන්න, ඉලක්ක වලට යන්න පුළුවන් සේවකයෝ හොයාගන්න හොඳම ක්‍රමයක් තමයි මේක.
3. වීඩියෝ සහ ඡායාරූපකරණය
විනෝදාංශයක් විදිහට පින්තූර සහ වීඩියෝ ගන්න එක වගේම විශේෂයෙන්ම ඒව එඩිට් කරල නිව්ස් ලෙටර්ස්, කවර්ස් වගේ කරන්න උනන්දු වීමත් ලොකු වාසියක් ගේන හොඳ විනෝදාංශයක්. බැලු බැල්මට නම් මේ විනෝදාංශයෙන් ඡායාරූපකරණය ඇරුනහම වෙනත් රැකියාවකට ලොකු වාසියක් ගේන්නේ නැහැ. හැබැයි ඒ අපි හිතන හැටි නෙ. ඇත්තටම මේ විනෝදාංශය ඕනෙම රැකියාවකට එක එක අවස්ථාවලදී වැදගත් වෙන දෙයක්. ඒ වගේම තමයි ජීවිතේටත්. ඉතින් ඒ වගේ CV එකක් දැක්කොත් ලේසියෙන් අතාරින්නනම් හිතන එකක් නැහැ ඔය අයදුම් කරන ආයතනයෙන්.
4. Blogging
Blog එකක් මේන්ටේන් කරන එක කොහොමද රැකියාවකට වැදගත් වෙන්නේ? එහෙම හිතෙනව නේද? මෙන්න මෙහෙමයි. අපි හිතමුකෝ ඔයා යන්තම් ෆලෝවර්ස්ල 10ක් 15ක් මැනේජ් කරගෙන, මාසෙකට එකක් දෙකක් වාක්‍ය ලියන පොඩි බ්ලොග් එකක අයිතිකාරයෙක් කියල. ඒකනම් ඇත්තටම CV එකකට එච්චර වැදගත් කාරණයක් නෙමෙයි තමයි. නොදා ඉන්න තරමට හොඳයි. හැබැයි ඔයා ෆලෝවර්ස්ලා ලොකු ගාණක් ඉන්න හුඟක් ඇක්ටිව් බ්ලොග් එකක අයිතිකාරයෙක්නම් සබ්ජෙක්ට් එක මොකක් උනත් ඒක ඔයාට ජොබ් එක ලැබෙන්න වාසියට හිටින කාරණයක්. තමන් කරන වැඩේ හරියට කරල ඒකෙ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඔයාට හැකියාවක් තියෙනවා කියන ඉඟිය මේකෙන් සේවායෝජකයට දෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට රැකියාවක් දෙන්න දෙපාරක් හිතන එකක් නෑ මොන බොස් කෙනෙක් උනත්.
5. උද්‍යානකරණය

Image Source – dlife.com
මේකත් එක්තරා මානසික ව්‍යායාමයක් කිව්වොත් හරි. මල් හරි එළවලු පලතුරු හරි ඕනෙම දෙයක් විනෝදාංශයක් විදිහට වවන කෙනෙක් දන්නවා ඒකට කොයි තරම් ඉවසීමක් තියෙන්න ඕනෙද කියල. නිතර නඩත්තු කරන එක, පිරිසිදුකම සහ පිළිවෙල, දිනපතා රැකබලා ගැනීම කියන දේවල් අත්‍යාවශ්‍ය කරණා. අනිත් වැදගත්ම දේ තමයි මේකෙන් ඔප්පු වෙනවා ඔබ වගකීමක් බාරගෙන ඒක ඉටු කරන්න සූදානම් පුද්ගලයෙක් කියලා. ඒ වගේම අද කාලේ හුඟ දෙනෙක් පරිසරය ගැන, හරිත නිෂ්පාදන ගැන අවධානය යොමු කරන කාලයක්. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙන සේවකයෙක්ව මඟ හැරගන්න හිතන්නෙ නම් නැහැ කිසිම සේවා යෝජකයෙක්.
6. විදේශීය භාෂා
මේකත් අද කාලේ හුඟ දෙනෙකුගේ විනෝදාංශයක්. විනෝදාංශයක් කිව්වේ ඔය යන්තම් හින්දි චිත්‍රපටියක් බලල හින්දි ටිකක් කතා කරන්න ඉගෙන ගන්න එකනම් නෙමෙයි ඉතින්. අඩුම තරමේ විදේශීය භාෂාවන් දෙක තුනක්වත් නියම විදිහට ගුරුවරයෙක් ලඟට ගිහින් හරි, එහෙම නැත්තම් අන්තර්ජාලය හරහා හරි යම් ප්‍රශස්ත මට්ටමකට ඉගෙන ගන්න එක. මේ කාරණාවෙන් කියන්න පුළුවන් ඔබ යන්තම් ජීවත් වෙන්න ඕන දැනටත් දන්න දේ අල්ලන් ජාමේ බේරාගෙන ඉන්නේ නැතුව තව තව අවස්ථා හඹා යන කෙනෙක් බවට.
7. ස්වේච්ඡා සේවාවන්
මේ ස්වේච්ඡා සේවාවන් කියන්නෙ ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ වැඩක්. හදිසි ආපදා අවස්ථා වලට, අඩු ප්‍රතිලාභ තියෙන මිනිස්සුන්ට උදව් කරන්න වගේ කරණා වලට පිහිටුවා ගත්ත හුඟක් සංවිධාන අද තරුණ තරුණියෝ අතරේ තියෙනවා. අනිත් අයට උදව් කරන හොඳ ගතිගුණය, සංවිධානය වීමේ හැකියාව, කණ්ඩායම් හැඟීම වගේ හුඟක් ලක්ෂණ මේ වගේ විනෝදාංශයක් තුලින් ගොඩනැගෙන්න, දියුණු කරගන්න පුළුවන්. ආයතන ඇතුලේ උනත් ඒ වගේ සංගම්, ක්‍රියාකාරකම් වෙන නිසා සේවකයන්ගේ උනන්දුව ආයතනයට හරිම වැදගත්.
Leave a Reply