‘ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමී… හිස් අහසේ ගෑවෙන්න තරමට ලී සෑයක් බඳිමී.’ කියලා ජෝතිපාල ගායනා කළ මියුරු ගීයක් තියෙනවා. අද වෙනවිට ජෝතිපාල බොරැල්ල කනත්තේ සිහිවටනයක් තියා අපි අතරින් වියෝ වී ගොසින්. ඒත් ජෝතිපාලගේ ගී තවමත් ආදර සිහිවටන විදිහට තැන තැන ඇහෙනවා. ඒ වගේම ගීත වල කතා වල එන ටජ් මහල් අදටත් ඉන්දියාවේ අග්‍රා වල වසර දහසකට වැඩි කාලයක් තිස්සේ ආදර සිහිවටනයක් විදිහට තියෙනවා.
1. ටජ් මහල් – අග්‍රා
සාජහාන් රජතුමා මුම්ටාස් දේවිය සිහිවෙන්න හදපු මේ සිහිවටනය හදන්න වසර ගණනාවක් ගිහින් තියෙනවා. මේ සඳහා පාවිච්චි කරලා තියෙන හුණුගල් ඒ ආසන්නයේ නැහැ. දුරබැහැර ඉඳන් ගෙනාපු කිරිගරුඬ මනාව ඔපමට්ටම් කරලා හදලා තියෙන ටජ් මහල අදටත් ඉතාම හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. මුස්ලිම් රජකු වූ සාජහාන් සිය දේවියට තැනූ මේ සිහිවටනය ඉන්දියාවේ මූලිකම සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙසත් නම් දරා තියෙනවා. ඉන්දියාවේ දිල්ලියේ සිට කිලෝමීටර 200ක් පමණ ඈතින් අග්රාවේ පිහිටලා තිබෙන මේ ස්මාරකය වරක් හෝ ඇස් දෙකෙන් දැකබලාගන්නට වටිනවා.
2. ඉසුරුමුණි පෙම් යුවළ
මෙය පෙම් ස්මාරකයක්ද නැද්ද යන්න ගැන මතවාද තියෙනවා. ඒත් මේ මගින් පෙම් යුවළක් නිරූපණය වෙන බව තමයි එය දකින අයගේ සාමාන්‍ය අදහස වෙන්නේ. එසේ නැතිව කවුරුත් ඒ විදිහට එකට ඇලිලා ඉන්නට උවමනා නැහැ. ඒ ඉසුරුමුණි පෙම්යුවළ මගින් සාලිය අසෝකමාලා නිරූපණය වන බවට මතයකුත් තියෙනවා. බෞද්ධ ආරාමික වටපිටාවකින් මෙය හමු වූ නිසා මෙය වෙනත් ආකාරයට හඳුන්වා දෙන්නට විද්වතුන් උත්සාහ අරගෙන තියෙනවා. කෙසේ වෙතත් බැලූ බැල්මට ප්‍රේමණීය ස්මාරකයක් විදිහට තිබෙන මේ ඉසුරුමුණි කැටයමේ පෙම්වතුන් ලොව වැඩිම කලක් වෙන් නොවී එකට සිටි පෙම්වතුන් බවට නම් කිසිම සැකයක් නැහැ.
3. වෙරෝනා හි ජුලියට් නිවස
රෝමියෝ ජුලියට් කියන්නේ ශේක්ස්පියර් ගේ කතාවක්. ඒ කතාවට ඇත්ත කතාවක සම්බන්ධයක් තියෙනවා. මේ වෙරෝනා හි ජුලියට් නිවස ශේක්ක්පියර්ටවත් ඇත්ත කතාවටවත් සම්බන්ධයක් නැහැ. ඒත් මිනිස්සු කලක සිට ඉතාලියේ වෙරෝනා හි තිබෙන නිවස සහ එහි බැල්කනිය ජුලියට් ගේ බැල්කනිය සහ නිවස ලෙස විශ්වාස කරනවා. මේ ස්ථානයේ තිබෙන ජුලියට් ගේ යැයි සැලකෙන ප්‍රතිමාවක දකුණු පියයුර ස්පර්ශ කිරීමෙන් පෙම්වතුන්ට ආශිර්වාද ලැබෙන බවටත් සංචාරකයින් අතර විශ්වාසයක් තියෙනවා. ඒ වගේම චුවින්ගම් මගින් ආදරය සංකේතවත් කරන කලා නිර්මාණ කරන්නත් සංචාරකයින් පෙළඹිලා තිබුණා. ඒත් බිත්තිවලට එයින් වෙන හානිය නිසා වෙරෝනා නගර බලධාරීන් එය නවත්වලා තියෙනවා.
4. බෝල්ඩ් බලකොටුව (Boldt Castle New York)
හදවතේ හැඩයට වූ දිවයිනක සුන්දර බලකොටුවක් හදන්නට ජෝජ් බෝල්ඩ් නම් වූ ඇමරිකානු මිලියනපතියාට උවමනා වුණා. ඔහු අමරිකාව පුරාම සිටි ශිල්පීන් එකතුකරගෙන සුන්දර බලකොටුවක් සහ මාලිගා සංකීර්ණයක් ඉදිකරමින් ගියා. 1904 දී මේක ඉදිකරගෙන යද්දි අවාසනාවන්ත විදිහට බෝලඩ් ගේ බිරිය මිය පරලොව ගියා. ඒ ගැන බොහොම කණගාටු වුණු බෝල්ඩ්, එතෙක් ඉදිකරමින් තිබූ සියළුම කාර්යයන් වහා නවතා දමන්නට අණ කළා. අද වනවිට එම දුපත තුළ සුන්දර විදිහට ඒ ස්මාරක සුරක්ෂිත වෙලා තියෙනවා.
5. ස්වීට් හාට් කන්‍යාරාමය (Sweetheart abbey) – ස්කොට්ලන්තය
1268 වර්ෂයේදී ස්කොට්ලන්තයේ මියගිය ජෝන් බලියොල් කියන පෙම්වතාගේ පෙම්වතිය හරිම අපූරු කෙනෙක්. ඩෙවෝගිලා කියන මේ පෙම්වතිය සිය පෙම්වතාගේ හදවත විශේෂයෙන් ආරක්ෂා කරගෙන වෙනමම කුටීරයක බහා ඇය අසලම රඳවා තබා ගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මුදල් හදල් ඇති පවුලක වූ නිසා ඩෙවොගිලා සිය සැමියාගේ වියෝවෙන් පස්සේ දාන මාන වැඩකටයුතු වලටත් දායක වුණා. මේ ඩෙවොර්ගිලා වාසය කළ ස්ථානය තවමත් sweet heart abbey ලෙස සුරක්ෂිත කර තිබෙනවා. ලොව වටා සංචාරකයිනුත් එය බලන්නට යනවා.
6. කෙලීගේ බලකොටුව (Kellie’s Castle) – මැලේසියාව
මේ කෙලීගේ බලකොටුව මැලේසියාවේ පරෙක් පළාතේ පිහිටලා තියෙනවා. මෙය තනිකරම ඉන්දියානු ආභාෂය ගත් ගොඩනැගිල්ලක් විදිහට හදන්නට එය තැනූ විලියම් කෙලී ස්මිත්ට උවමනා වෙලා තියෙනවා. ඔහු ඒ සඳහා ඉන්දීය නිර්මාණ ශිල්පීන්ගේ උදව් ගත්තා විතරක් නෙමෙයි, ඉන්දියාවෙන් ගඩොල් පවා ආනයනය කළා. ස්කොට් ජාතිකයෙක් වුණු කෙලී 1921 දී සිය මාලිගාවට අවශ්‍ය දේවල් රැස් කරන්න පෘතුගාලයට යාත්‍රා කරද්දී නිව්මෝනියාව හැදී හදිසියේම මිය පරලොව ගියා. ඉන් පසු මැලේසියාවට පැමිණි කෙලීගේ පවුලේ උදවිය මෙය බ්‍රිතාන්‍ය සමාගමකට පැවරුවා. එහි ඇති සොඳුරු බව නිසාම එය ආදරවන්තයන්ගේ සිහිවටනයක් ලෙස සැලකෙනවා.
7. කොඩායි ජි පන්සල (Kodai-ji temple) – ජපානය
ජපානයේ කියෝතෝ හි හිගෂියාමා කඳු නිම්නයේ මේ කොඩයි ජි පන්සල පිහිටලා තියෙනවා. මේ පන්සල 1606 දී නකිටා නො මොන්ඩාකොරෝ නම් යුවතිය ඇගේ වියෝ වූ ටොයාටොමි හිඩෙයොෂි නම් වූ පෙම්වතා වෙනුවෙන් ඉදිකර තියෙනවා. මේ ටොයොටොමි හිඩෙයොෂි කියන්නේ ජපානය එක්සේසත් කළ මහා බලවතෙක්. මොවුන් දෙදෙනා මිය ගිය පසු ඔවුන්ගේ භෂ්මාවශේෂ මේ පන්සලේ තැන්පත් කළ බවටද සඳහන් වෙලා තියෙනවා. 16 වෙන සියවසේ තැනූ මේ ජපාන ස්මාරක පන්සල බොහොම සිත්කළු තැනක් විදිහට සංචාරකයින් සඳහන් කරලා තියෙනවා.
ආදරය වෙනුවෙන් තැනූ ස්මාරක ලෝකේ හැම රටකම, හැම පළාතකම වගේ තියෙනවා. එයින් ආදරය මිනිසාගේ නිර්මාණ තුළත් නිරූපණය වන ආකාරය පෙන්නුම් කරනවා. ඉතින් ආදරවන්තයින් වෙනුවෙන් ඉදිකළ නිර්මාණ ගැන යම් අදහසක් ඔයාලට මේ හරහා ලැබෙන්නට ඇති. ඒ වගේම ලෝකේ රට රටවල ඇති සුන්දර ආදර ස්මාරක කිහිපයක් හෝ දැකබලාගන්න ඔයාලට වාසනාව ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
Leave a Reply