තැනකට කෑමකට ගියහම හරි විදියට ටේබල් එකේ පිළිපදින්න ඕන නීති රීති ටිකක් ඉගෙන ගමු

දැන් ඔය ටේබල් එටිකට් කියන මංගල්ලේ කාටවත් තේරුණේ නැතුවට, හදිසියකට හරි හොටෙල් එකකට එහෙම එක දවසක වෙඩිමකට හරි ගිහින් තියෙන කෙනෙක් දන්නවා, කෑම මේසෙදී පිළිපදින්න ඕන ඔය නීති රීති ප්‍රතිපදාවන් නොදැන ඉන්න එක කොයි වගේ අවුලක්ද කියලා. එහෙම වෙලා නැද්ද? ඔන්න ටයි කෝට් දාලා යනවා. ඊට පස්සේ කන්න ගියහම ඕං හැඳි ගෑරුප්පු වලින් කන්න ඕන. පිස්සු හැදෙනවා. කොයි අතටද හැන්ද ගන්නේ, කොයි අතටද ගෑරුප්පුව ගන්නේ? ඒකත් එහා පැත්තේ එකා කරන විදිය හොරෙන් බලාගෙන අමාරුවෙන් හරි අතට හැන්දයි ගෑරුප්පුවයි ගන්න ගියහම ඕං එක එක සයිස් හැඳි ගෑරුප්පු කීපයක් තියෙනවා. දැන් කොහොමදෑ දං වළඳන්නේ? ආන්න ඒ වගේ ආතල් ලොවෙත් සෙට් වෙනවා මේ ටේබල් එකේ පිළිපදින්න සම්මත වෙලා තියෙන නීති රීති දන්නෙ නැති වුණහම.

 

හරි, දන්නෙ නෑ, ඉගෙන ගන්න ඕන, වැඩේ අමාරුද? ආන්න ඒක තමයි හොඳම හරිය. වැඩේ අමාරු නෑ. සැක නම් දිගටම කියවගෙන ගිහින් බලන්න. අපි අද කියලා දෙන්න යන්නේ කෑම මේසේදී පිළිපදින එක හොඳයි කියලා නිර්මාණය වෙලා, සම්මත වෙලා තියෙන නීති රීති ටිකක් ගැන.

 

1. හරියට වාඩි වෙමු

මුලින්ම කෑම මේසෙට හරියට වාඩි වෙන්න ඉගෙන ගන්න එපැයි. වාඩි වෙන්න ඕන පුටුවේ හොඳින් තමන්ගේ ශරීරය සමබරව තියෙන විදියට. එහෙම නැතුව පිටුව අග්ගිස්සේ එහෙම වාඩි වෙන එක කැතයි. කඳ කෙලින් තියාගෙන තමයි වාඩි වෙන්න ඕන, කුදු වෙන්නෙ නැතුව. හැබැයි වාඩි වෙලා ඉන්නකොට වැලමිටි මේසේ උඩ තියාගන්න එක හරි නෑ. සාමාන්‍යයෙන් අත් වුණත් මේසේ උඩ තියෙන්නෙ නැති තරම්. ඇමරිකන් ස්ටයිල් එකට නම් කන්නේ හෝ බොන්නේ හෝ අතින් පයින් අභිනයන් දක්වමින් කතා කරන්නේ හෝ නැති නම්, අත් තියෙන්න ඕන උකුල උඩ. යුරෝපියන් ස්ටයිල් එකට නම්, උඩ විදියට අත් වලින් වැඩක් වෙන්නේ නැතිනම් අත් තියෙන ඕන පුටු ඇඳි උඩ හෝ මේසේ කෙළවරේ. මේසේ කෙළවරේ තියෙනවා නම් ඇඟිලි බැඳගෙන ඉන්න එක තමයි හරි ක්‍රමේ කියලා කියන්නේ.

 

2. නැප්කින් එක?

නැප්කින් එටිකට් මෙහෙමයි. දැන් ඔය මාරම ෆෝමල් ඉවෙන්ට් එකක් නෙවෙයි නං, වාඩි වෙනකොට ලස්සනට නවලා තියෙන නැප්කින් එක අරගෙන, දිග ඇරලා තමන්ගේ උකුළෙන් එලා ගන්න තමයි ඕන කරන්නේ. හැබැයි ෆෝමල් ඉවෙන්ට් එකක නම්, තමන්ගේ සත්කාරකයා, එහෙම නැතිනම් හොස්ට් කරන්නා හෝ හොස්ට් කරන්නිය තමයි වැඩේ ස්ටාට් කරන්න ඕන. ඒ කෙනා තමන්ගේ නැප්කින් එක මේසෙන් අරගෙන තමන්ගේ උකුළේ එලාගන්නකොට තමයි අනික් අයත් තමන්ගේ නැප්කින් එක අරගෙන උකුළෙන් එලා ගන්න ඕන.

 

එතකොට පුටුවෙන් තාවකාලිකව නැගිටලා යනවා නං, නැප්කින් එක පුටුව උඩින් තියලා තමයි යන්න ඕන.

 

ඒ වගේම, අර සමහරු කරනවා වගේ නැප්කින් එකේ එක කොණක් බෙල්ල ගාවින් ෂර්ට් එක හරි කෝට් එක හරි අස්සේ ගහගන්න එපා. ඒක වස කැතයි. ඒ වගේම ටේබල් මැනර්ස් වලටත් විරුද්ධයි! 

 

3. සොලිඩ්ස් ටු ද ලෙෆ්ට් ඇන්ඩ් ලික්විඩ් ටු ද රයිට්

ඒ කියන්නේ බොහොම සරල දෙයක්. පාන්, බනිස්, සයිඩ් ඩිෂ් වගේ එව්වා තියන්නේ ප්‍රධාන පිඟානේ වම් පැත්තෙන්. එතකොට වතුර, වයින් වගේ ද්‍රව ජාති හැම වෙලේම තියෙන්නේ පිඟානේ දකුණු පැත්තෙන්. එතකොට කෑම අතරතුරදී ඒ මොනවා හරි පාවිච්චි කළාට පස්සේ ආයෙමත් තියන්න ඕනැත් ඒ විදියටම තමයි. ඇත්තටම වතුර වීදුරුවක්, වයින් වීදුරුවක් එහෙම අපි දකුණතින් අල්ලන නිසා, ඒක මග ඇරෙන්න විදියකුත් නෑ.

 

4. වමතයි දකුණතයි

දැන් ඔය හැඳි, ගෑරුප්පු, පිහි කොයි අතටද ගන්නේ කියලනේ ගොඩක් අයට පැටලෙන්නේ. වැඩේ සරලයි. මුලින්ම මතක තියාගන්න ඕන, හැන්ද සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ ඉතාම අඩුවෙන්. හැබැයි ලංකාවෙදි නම් හැන්ද සෑහෙන්න ඕන වෙනවා බත් මාළු කනකොට. කොහොම හරි හැන්ද අල්ලන්නේ දකුණු අතින්. 

දැන් ඇමරිකන් ස්ටයිල් එක ගත්තොත්, ගෑරුප්පුව වමතින් අරගෙන, පිහිය දකුණු අතින් තමයි අල්ල ගන්නේ. හැබැයි මස් කෑල්ලක් එහෙම ගෑරුප්පුවෙන් අල්ලගෙන පිහියෙන් කැපුවට පස්සේ, ඇමරිකන් ස්ටයිල් එකට නම් පිහිය පිඟානේ දාරේ උඩ තියලා ගැරුප්පුව දකුණු අතට මාරු කරනවා. ඊට පස්සේ ගෑරුප්පුවෙන් කපපු මස් කෑල්ල අරගෙන කනවා. වාතයි වගේද?

එහෙමනම් යමු යුරෝපියන් ස්ටයිල් එකට. ඒකෙදී පිහිය දකුණතේ සහ ගෑරුප්පුව වමතේ තියෙන්නේ. හැබැයි මේවා අල්ලගන්න ඕන කිරිච්චියක් අල්ලගන්න විදියට නෙවෙයි. අර චෝක් කෑල්ලක් අල්ල ගන්න විදියට, මනාව හසුරුවන්න පුලුවන් විදියට තමයි අල්ලගන්නේ. දැන් මේ සිස්ටම් එකට අත් මාරු කර කර ඉන්නෙ නෑ. ගෑරුප්පුව තියෙන අතෙන්ම තමයි කන්නේ.

හැන්දයි ගෑරුප්පුවයි පාවිච්චි කරනවා නම්, හැන්ද දකුණතටත්, ගෑරුප්පුව වමතටත් ගන්න පුළුවන්. 

ඔය හැඳි ගෑරුප්පු සෙල්ලං බෑ කියලා හිතෙනවා නම්, ඉන්නෙත් ශ්‍රී ලංකාවේ නං, ෆෝමල් ඉවෙන්ට් එකකුත් නෙවෙයි නං, ෆින්ගර් බෝල් එකක් ගෙන්නගෙන, හොඳට අත් හෝදගෙන අතින්ම කෑවට කාරි නෑ.

 

5. කන්නේ මෙහෙමයි

කන්න පටන් ගන්න නම්, හැමෝටම බෙදන කල් හරි හැමෝම බෙදාගන්න කල් හරි ඉන්න ඕන. ඒක තමයි හොඳ ආචාර විධිය.

ඔව්. කන්නේ කොහොමද කියන එකෙත් ආට් එකක් තියෙනවා. එකක්, හැඳි ගෑරුප්පු, පිහි ගෑරුප්පු එකට වදින සද්ද ඇහෙන්න බෑ. එහෙම එව්වා එකිනෙක වද්දන්නෙ නැතුව කෑම කන්න ඉගෙන ගන්න ඕන. එතකොට මුලින් මස් කෑලි කෑලි කපලා තියාගෙන ඊට පස්සේ කාගෙන කාගෙන යන එකත් ආට් එකට විරුද්ධයි. මස් කෑල්ලක් හරි වෙන මොකක් හරි කපා ගත්තහම ඒක කාලා ඉවර කරන්න ඕන. ඉන් පස්සේ තමයි තව කෑල්ලක් කපා ගන්නේ. දැන් අපිට කන අතරේ වතුර හරි මොනවා හරි බොන්න ඕන නම්, පිහි ගෑරුප්පු පිඟාන උඩ තියන්න ඕන මුලින්ම (තියන විදිය පහළ තියෙනවා). අන්න ඊට පස්සේ තමයි බොන වීදුරුව අතට ගන්නේ!

දැන් ඔය සමහර කෑම තියෙනවා පිහියෙන් ගෑරුප්පුවෙන් හරඹ කරන්න බැරි. උදාහරණයක් විදියට කකුළුවෝ වගේ එව්වා කොහොමද පිහියෙන් කපන්නේ? ආන්න ඒ වෙලාවට ඒවට විශේෂිත උපකරණ තියෙනවා. Crab bib, Crab knife, Crab cracker, Crab mallet වගේ එව්වා. අන්න ඒවා ඉල්ලගත්තට කාරි නෑ. එහෙම බැරි නං එක්ස්කියුස් කරලා, ෆින්ගර් බෝල් එකක් ගෙන්න ගෙන ඒවා අතින්ම කෑවත් කාරි නෑ!

 

6. කාලා ඉවරද කියලා වේටර් මල්ලි දන්නෙ කොහොමද?

ඒකට ක්‍රමේ සරලයි. අපි මේසේ උඩ තියෙන අපි පාවිච්චි කරමින් ඉන්න පිඟාන උඩ අපි පාවිච්චි කරන හැඳි, පිහි, ගෑරුප්පු තියෙන විදියෙන් තමයි හරි නම් වේටර් මල්ලි දැනගන්නේ අපි කාලා ඉවරයි කියලා. හැබැයි අපි පොඩි බ්‍රේක් එකකට තාවකාලිකව මේසෙන් නැගිටලා යනවා නම්, ඒකත් හරි විදියට සන්නිවේදනය කරන්න ඕන.

මෙහෙමයි ක්‍රමේ. තාවකාලිකව මේසෙන් අයින් වෙලා යනවා නම් හරි, මොනවා හරි බොන්න හෝ අනික් කෙනෙක් එක්ක කතා කරන්න හෝ කෑම කන එක තාවකාලිකව නවත්තනවා නම් හරි, යුරෝපීය ක්‍රමේ විදියට නම් පිහියයි ගෑරුප්පුවයි හෝ හැන්දයි ගෑරුප්පුවයි උඩු අතට, ප්ලේට් එක උඩ හරස් කරලා, තල ක්‍රොස් වෙන විදියට තියන එක. ඇමරිකන් ස්ටයිල් එකට නම් පිහිය ප්ලේට් එකේ දාරේ හරහට සහ ගෑරුප්පුව ඊට පහළින් තියන්න පුළුවන්.

කෑම කාලා ඉවරයි කියලා සංඥා කරන්න ක්‍රමේ තමයි හැඳි ගෑරුප්පු, පිහි ගෑරුප්පු ප්ලේට් එක උඩ පැත්තට, ඒ කියන්නේ ඔරලෝසුවේ හතරේ ඉලක්කමේ ඉඳලා දහයේ ඉලක්කම පැත්තට, යටි අතට තියන එක.

 

7. හරියට ඉවර කරමු!

දැන් ඔය හරි විදියට කෑවා වගේම තමයි, හරි විදියට ඉවර කරන එකත්. කෑම සම්පූර්ණයෙන්ම කාලා ඉවර වුණාට පස්සේ නැප්කින් එක අරගෙන හරියට නවන්න ඕන. අර කලින් නවලා තිබුණු හංසයාගේ හරි කොකාගේ හරි හැඩේට නවන්න යන්න ඕන නෑ. හතරට නැව්වත් ඇති. හැබැයි එහෙම පිළිවෙලට නවලා මේසේ තමන්ගේ ප්ලේට් එකේ වම් පැත්තෙන් තියන්න ඕන.

එතකොට සාමාන්‍යයෙන් හැමෝම කාලා ඉවර වෙනකල් ඉන්න එක තමයි හරි විදිය. හැබැයි කලින් මේසෙන් නැගිටින්න ඕන නම්, එක්ස්කියුස් කරලා නැගිට්ටට කමක් නෑ. හැබැයි ෆෝමල් ඉවෙන්ට් එකකදී නම් හොස්ට් කරන කෙනා නැගිටිනකල් අපිත් නැගිටින්නෙ නෑ.

සාමාන්‍යයෙන් ෆෝමල් ඉවෙන්ට් එකකදී නම් හෝටලේ හෝ ගෙදර හෝ කාර්ය මණ්ඩලයේ අය ඇවිත් ප්ලේට් අනං මනං අයින් කරනවා. සාමාන්‍ය යාලුවෙක්ගේ පාටියකදී වගේ නම්, ගෙදර එක්කෙනා හෝ හොස්ට් කරන එක්කෙනා තව කීප දෙනෙක්ගේ උදවුවෙන් ප්ලේට් අයින් කරනවා. අන්න එතකොට ගිහින් උදවු කළාට කමක් නෑ. හැබැයි ගෙදරදී නම් හරි විදිය තමයි, තමන්ගේ ප්ලේට් එක තමන් අරගෙන යෑම.

 

දැන් තේරෙනවනේ කෑම මේසේ නීති රීති ලොකු අමුතු දෙයක් නෙවෙයි කියන එක!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *