“තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි” මෙන්න මේ උපුටනය උපුටා දක්වලා තමයි බලවත් කාන්තාවෝ ගැන කතා කරන ගොඩක් ලිපි පටන් ගන්නේ. ඒ නිසා අපි ඒ උපුටනයෙන්ම අපේ ලිපිය පටන් ගන්න හිතුවා. මාතෘකාවේ කිව්වා වගේම අපි අද කතා කරන්නේ ලංකාවේ මැතිසබය හොබවපු කාන්තාවෝ කීප දෙනෙක් ගැන. මේ සියලු දෙනාම අද වෙනකොට ජීවතුන් අතර නෑ, ඒ වගේම මේ අය ගැන නිසි කතාබහක් ලංකාවේ වෙනවද කියන එකත් ප්‍රශ්නයක්
1. ෆ්ලෝරන්ස් සේනානායක
1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමත් එක්ක මැති සබයට පිවිසෙන පළවෙනි කාන්තාව වෙන්නේ ඇඩ්ලින් මොලමුරේ මහත්මිය. නමුත් එතුමිය රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසෙන්නේ තමන්ගේ පියා වුණු මීදෙණිය අදිකාරම්තුමාගේ මරණය නිසා රුවන්වැල්ල ආසනයට පැවැත්වුණු අතුරු මැතිවරණයෙන්. ඒ වගේම තමන්ගේ ස්වාමියාගේ මන්ත්‍රීධූරය ඡන්ද පෙත්සමක් නිසා අහිමි වීම නිසා ඒ වෙනුවට නේසම් සරවනමුත්තු මහත්මිය රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරනවා. නමුත් සෘජුව 1947 පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරලා, ජයග්‍රහණය ලබලා පාර්ලිමේන්තුවට පිවිසෙන්න සමත් වුණු පළමුවැනි කාන්තාව වෙන්නේ ෆ්ලෝරන්ස් සේනානායක මහත්මිය. ඇය නියෝජනය කරන්නේ කිරි ඇල්ල ආසනය. ඇය ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක්. නමුත් දෙවැනි මහමැතිවරණයේදී නම් ඇය පරාජයට පත්වෙනවා.
2. තමරා කුමාරි ඉලංගරත්න
1947 ආරම්භ වන ලංකාවේ පළමු වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න කාන්තාවන් තුන්දෙනෙක් සමත්වෙනවා.එක් කෙනෙක් අපි කලින් කියපු ෆ්ලොරන්ස් සේනානායක මහත්මිය. අනිත් දෙදෙනාම එන්නේ අතුරු මැතිවරණ වලින්, ඒ පිලිප් ගුණවර්ධන මහත්මයාගේ බිරිඳ වුණු කුසුමා ගුණවර්ධන මහත්මිය සහ ටී. බී ඉලංගරත්න මහත්මයාගේ බිරිඳ වුණු තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය. කුසුමා ගුණවර්ධන මහත්මිය පිළිබඳව ඇගේ සැමියා වගේම පුතා වුණු දිනේෂ් ගුණවර්ධන මහතා නිසා කතාබහට ලක්වෙනවා. නමුත් ටී.බී ඉලංගරත්න මහත්මයාගේ පවුලෙන් වෙනත් කෙනෙක් පසුව දේශපාලනයට පිවිසුණේ නැති නිසාමද මන්දා තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය ගැන වැඩි කතා බහක් සිද්ධවෙන්නේ නැහැ. ඇය කෙටි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළත් තමන්ගේ ආසනය වුණු මහනුවර වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉෂ්ට කරනු ලැබුවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සමයේදී බොහෝ කම්කටොලු වලට මුහුණ දෙමින් පක්ෂය ජනතාව අතර ප්‍රචලිත කිරීමට ඇය වැඩ කටයුතු කළා.
3. ඩොරින් වික්‍රමසිංහ
1952 මහ මැතිවරණයෙන් අකුරැස්ස ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට ආපු ඩොරින් වික්‍රමසිංහ ආසියාවේම වාර්තාවක් තබපු කෙනෙක්. ඒ ආසියානු රටක පාර්ලිමේන්තුවට තරග කිරීමෙන් පත්වුණු පළමු විදේශික කාන්තාව බවට පත්වීම නිසා. ඒ සඳහා ඇයට ඇගේ සැමියා වන දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මහතාගේ සහයෝගය ලැබුණු බවත් කියන්න ඕන. නමුත් ඇය ලංකාව වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් කරපු කාන්තාවක්. කාලයක් ඇය ආනන්ද බාලිකාවේ විදුහල්පතිනිය ලෙසත් සේවය කළා. ලංකාවට ඇය කොතරම් ආදරේ කළාද කියනවා නම් ඇය ඇගේ මරණයෙන් පස්සේ තමන්ගේ දේහයත් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට අවශ්‍ය කටයුතු මරණයට පෙර සම්පාදනය කරලා තිබ්බා.
4. විමලා විජේවර්ධන
විමලා විජේවර්ධන කියන නම අද වෙනකොට නම් මිනිස්සු සිහිපත් කරන්නේ පිළිකුලෙන්. ඒකට හේතුව ලියන්න ඕන කියලා අපි හිතන්නේ නෑ. නමුත් අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි බණ්ඩාරනායක ඝාතන නඩුවෙන් ඇය නිදහස් වුණා කියන එක. ඒත් ඒ නඩු තීන්දුව ජනතාව පිළිගත්තේ නෑ කියලා ආපහු අමුතුවෙන් කියන්න ඕන නෑ. මීරිගම ආසනය දිනපු විමලා විජේවර්ධන ලංකාවේ පළමු වරට ඇමති පදවියක් දරපු කාන්තාව බවටත් පත්වුණා. ඒ බණ්ඩාරනායක රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය බවට පත්වීමෙන්. මීරිගම ආසනයටත් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් ඇය යම්කිසි වැඩ කොටසක් කළත් ඒ සියල්ලටම වඩා ඇයට එල්ලවුණු විරෝධය අවසානයේ බලවත් වුණා.
5. විමලා කන්නන්ගර
ගලිගමුව ආසනය නියෝජනය කරමින් දියවන්නාව තරණය කරපු විමලා කන්නන්ගර විමලා විජේවර්ධන වගේම සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරපු කෙනෙක්. නමුත් ඇය තමන්ගේ පාර්ලිමේන්තු ජීවිතය තුළ වගේම පෞද්ගලික ජීවිතයෙත් ඉතාමත් ගෞරවනීය චරිතයක්. විමලා කන්නන්ගර මහත්මිය ගේ එක් පරිත්‍යාගයක් නිසා ඇය ගේ නම නිතර නිතර පුවත්පත්වල පළවුණා. ඒ කලකට පෙර මියගිය දළදා මාලිගාවේ ඒකදන්ත ඇතා පරිත්‍යාග කරලා තියෙන්නේ ඇය වීම නිසා. ඒකදන්ත හස්තියා දළදා මාලිගාවේ ඇත් පන්තියට වාසනාව ගෙනා වාසනාවන්ත ඇතෙක් විදිහට ජනතාව අතර මතයක් ගොඩනැගිලා තිබුණා.
6. සෝමා කුමාරි තෙන්නකෝන්
නිකවැරටිය ආසනය නියෝජනය කරපු මුදියන්සේ තෙන්නකෝන් කියන්නේ අපේ රටේ දේශපාලනයේ අමුතුම විදිහේ චරිතයක්. පාර්ලිමේන්තුවට ගියත් කිසිම අවස්ථාවක තමන්ගේ ගැමිකම අත්නොහැර ජීවත් වුණු එතුමා තමන්ගේම ක්‍රමයකට ජීවත්වුණු අයෙක්. එතුමාගේ අඩිපාරේ ගමන් කරපු එක දියණියක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වුණා. ඒ සෝමා කුමාරි තෙන්නකෝන් මහත්මිය. නමුත් ඇයට දිගු කාලයක් පාර්ලිමේන්තුවේ ගත කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ, ඉන්පසුව පළාත් සභාවට සීමා වීමට ඇයට සිද්ධ වුණා.
7. රේණුකා හේරත්
1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පවුල් පසුබිමක් නැතිව පාර්ලිමේන්තු ජයගන්නට සමත් වෙච්ච එක කාන්තාවක් හිටියා, ඒ තමයි රේණුකා හේරත්. ඇය නියෝජනය කරේ වලපනේ ආසනය. ඇගේ දක්ෂතාවයට ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් ඉතා ගරු කළා. මේ නිසා එම ජනාධිපතිවරු දෙදෙනා යටතේ විවිධ අමාත්‍යධූරවල ඇය කටයුතු කළා. නමුත් මෑත කාලයේදී නම් ඇයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට මෙම මැතිවරණ ක්‍රමය යටතේ අවස්ථාව ලැබුණේ නැහැ. මේ නිසා ඇයටත් සෝමා කුමාරි තෙන්නකෝන් මහත්මියට වගේම පාර්ලිමේන්තුව වෙනුවට පළාත් සභාවේ නතර වෙන්න වුණා.
එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply