මේක ගොඩක් දෙනෙක්ට ජීවිතේ එක පාරක් හරි අත්දැකීමක් තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ, වැඩ කරන්න අමාරු බොස් කෙනෙක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක කෙනෙක් ජීවිතේ එක පාරක් හරි අත්දැකලා තියෙන්න පුළුවන්. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා, වැඩ කරන්න අමාරු බොස් කෙනෙක් කියන්නේ නරක බොස් කෙනෙක් කියන එකම නෙවෙයි. වැඩ කරන්න අමාරු බොස් කෙනෙක් නරක වෙන්නත් පුළුවන්. එයා නරක නිසාම අපිට වැඩ කරන්න අමාරු වෙන්නත් පුළුවන්. හැබැයි තව බොස්ලා වර්ගයක් ඉන්නවා, ඇත්තටම නරක නෑ, හැබැයි ඒ අයගේ වර්ක් එතික්ස්, අපේ වර්ක් එතික්ස්, ප්‍රොෆෙෂනල් ලෙවල් එක, ආකල්ප වගේ දේවල් එක්ක එයාලා එක්ක ඉහ ගහගෙන වැඩ කරන්න අමාරුයි. ඇත්තටම ඒක අපේ ආකල්ප වල, අපේ ලෙවල් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් කියන එක අමතක කරන්න නරකයි ඉතින්!
කොහොම හරි, දැන් ඔය විදියේ බොස් කෙනෙක් එක්ක වැඩ කරන්න ක්‍රමයක් තියෙන්නත් ඕනනේ. ආන්න ඒ නිසා අපි හිතුවා, ඇත්තටම නරක බොස් කෙනෙක් කියලා වර්ගීකරණය කරන්න බැරි, හැබැයි වැඩ කරන එක ලේසි නැති බොස් කෙනෙක් එක්ක වැඩ කරන්න පහසු වෙන ටිප්ස් ටිකක් බෙදාහදාගන්න!
1. වර්ක් කල්චර් එක
සමහර වෙලාවට බොස් කෙනෙක් එක්ක වැඩ කරන එක අපිට එපා වෙන්නේ, බොස් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා අපිට දැනෙන්නේ, ඇත්තටම එතන තියෙන වැඩ සංස්කෘතිය නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ, උදාහරණයක් විදියට ගත්තොත්, ඔෆිස් එකේ හැමෝම හුරුවෙලා තියෙන්නේ ඔෆිස් ටයිම් ඉවරයි කියලා පහට නැගිටලා යන්නෙ නැතුව, අවශ්‍ය නම් තව වෙලා ඉඳලා හරි වැඩේ ඉවර කරන්න කියලා හිතමු. එතකොට බොස් වුණත් දිරිමත් කරන්නේ අන්න ඒ වගේ සේවකයන්ව වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට සෙට් නොවෙන්න පුළුවන්. ඒ නිසාම බොස් එක්ක වැඩ කරන එක අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. මේක එක උදාහරණයක්. ඕනම ආයතනයක වර්ක් කල්චර් එකක් තියෙනවනේ. මුලින්ම අපි ඒක තේරුම් අරගෙන, අපිට ඒකට අනුගත වෙන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒකට අනුගත වෙන්න අපිට පුළුවන් නම් ඇත්තටම ගැටළුවක් නෑ. හැබැයි ඒකට අනුගත වෙන්න අපිට බැරි නම්, ඒ හින්දම බොස් එක්ක වැඩ කරන එක අමාරුයි නම් අපි වෙන විසඳුම් හොයන්න ඕන. සමහර වෙලාවට ජොබ් එක වෙනස් කරන එකත් එක විසඳුමක්.
2. බොස් විස්පරර්
අහල තියෙනවද හෝර්ස් විස්පරර් කියලා කියන අය ගැන? දැන් අස්සයින්ට කතා කරන්න බැහැනේ. හැබැයි මේ හෝස් විස්පරර් ලට පුළුවන් කියනවා අස්සයින්ව අවබෝධ කරගන්න සහ අස්සයෝ එක්ක සන්නිවේදනය කරන්න. දැන් ඔෆිස් එකේ ඉන්නේ වැඩ කරන්න අමාරු බොස් කෙනෙක් නම්, මෙන්න මේක හොඳ ක්‍රමයක්. කරන්න තියෙන්නේ බොස්ගේ හැසිරීම් රටා මුලින් අධ්‍යයනය කරන එක. උදාහරණයක් විදියට අපි කියමු, එයා හැම වෙලේම ෆීඩ්බැක් දෙන්නේ වචනෙන් දෙකෙන්. ඉතින් බොස් වචනෙන් නොකී දේවල් අපි හිතාගන්න ඕන. ඒක ඇත්‍තටම බොස් එක්ක වැඩ කරන එක අසීරු කරවන කාරණාවක්. හැබැයි අපිට බොස්ගේ හැසිරීම අධ්‍යයනය කරනකොට පේනවා, ඇත්තටම බොස් පළවෙනි ෆීඩ්බැක් එක වචනෙන් දෙකෙන් දුන්නට, ඇත්තටම ඒ ෆීඩ්බැක් එකෙන් එයා අදහස් කරන්නේ මොකද්ද කියන එක. ආන්න එතකොට බොස් කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙනවා!
3. පර්ෆෙක්ෂනිස්ට් ද?
සමහර බොස්ලා ඉන්නවා, එයාලාට හැමදෙයක්ම පරිපූර්ණ විදියට අවශ්‍යයි. ආයෙ හඳේ වුණත් ලප තියෙනවා කියලා, වැඩේ පොඩි හරි ඇදක් පළුද්දක්, මිස්ටේක් එකක් තියෙන්න පුළුවන් කියන එක එයාලා පිළිගන්න කැමති නෑ. එහෙම බොස් කෙනෙක් එක්ක වැඩ කරන එකත් පොඩ්ඩක්වත් ලේසි නෑ. හැබැයි හිතන්න මේක හොඳ අවස්ථාවක් කියලා තමන්ට හැදෙන්න. එහෙම පර්ෆෙක්ෂනිස්ට් බොස් කෙනෙක් එක්ක වැඩ කරනකොට, හැමවෙලේම තමන්ගේ වැඩ දෙපාරක් බැරිනම් තුන්පාරක් හරි චෙක් කරන්න. මිස්ටේක්ස් 0% ක් තියාගෙන වැඩේ බොස් ගාවට ගෙනියනවා කියන අධිෂ්ඨානය සහ ටාගට් එක ඇතුව වැඩ කරන්න. ඊලඟට, එහෙම 0% මිස්ටේක් ලෙවල් එකකින් වැඩක් කරන්න ගත කරන කාලයත් ක්‍රමයෙන් උපරිම අඩු මට්ටමට ගේන්න. ආන්න එතකොට බොසුත් සතුටින්, අපිත් සතුටින්, අපේ වැඩ කරන ලෙවල් එකත් දියුණුයි.
4. තමන්ගේ වැඩට බාධාවක් කර නොගන්න
මේක බොහොම වැදගත් කාරණාවක්. වැඩ කරන්න අමාරු බොස් කෙනෙක් ඉන්නකොට, ඒක තමන්ගේ කාර්යශූරත්වයට, සඵලකාරීත්වයට අනිසි විදියට බාධා එල්ල කරන්න පුළුවන්. අන්න ඒක වෙන්න දෙන්න එපා. හැම මොහොතකම, බොස් එක්ක වැඩ කරන්න අමාරු වෙනකොට පොඩ්ඩක් නවතින්න. හොඳ හුස්මක් ගන්න. හිතලා බලන්න ආයෙමත් වැඩේ ගැන. මතක තියාගන්න. ඔෆිස් එකේදී අපිට ඇත්තටම පළවෙනි ප්‍රමුඛතාවය වෙන්න ඕන අපි කරන වැඩේ තමයි. බොස් ඇත්තටම ප්‍රමුඛතාවයක් නෙවෙයි. එතකොට වැඩ කරන්න අමාරු, ඒත් නරක නැති බොස් කෙනෙක් නම් අන්න ඒ ප්‍රමුඛතාවය මොකක්ද කියන එක තේරුම් ගන්නවා. අන්න ඒ නිසා, තමන්ගේ වැඩේට හැමතිස්සෙම මුල් තැන දෙන්න. ඒකට වෙනත් කිසිම දෙයක් බාධාවක් කර නොගන්න.
5. බොස්ට ඕන මොනවද?
වැඩ කරන්න අමාරු, ඒත් නරක නැති බොස් කෙනෙක් එක්ක වැඩ කරනකොට අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. දැන් උඩිනුත් කිව්ව විදියට අපි මුලින් තේරුම් ගන්න ඕන ඒක අපේ වැඩ කරන වේගයේ වැරැද්දක් ද, එහෙම නැතිනම් කාර්යක්ෂම නොවීමේ වැරැද්දක් ද, එහෙමත් නැතිනම් වැඩේ සම්පූර්ණව නොකිරීමේ වැරැද්දක් ද කියන එක. ඒ වගේ ප්‍රශ්න තේරුම් අරගෙන නිවැරදි කරගන්න එක වෙනම දෙයක්. හැබැයි ඒවා හදාගත්තට පස්සෙත් බොස් එක්ක වැඩ කරන එක අමාරුයි නම්, බොස් එක්ක වැඩ කරන සිස්ටම් එකක් හදාගන්න. උදාහරණයක් විදියට අපි කියමු බොස් අපිට එක වැඩක් කියලා, ඊලඟ තත්පරෙන් තව වැඩක් පවරනවා. හැබැයි ඉතින් අපි කතරගම දෙයියො නෙවෙයිනේ අත් තුන හතරකින් එකපාර වැඩ කරන්න. අන්න එහෙම වෙලාවට අපිට අහන්න පුළුවන්, බොස් මේ වැඩේට උපරිම මේ වෙලාව යනවා, අර වැඩේට උපරිම මෙච්චර වෙලාව යනවා. බොස්ට ඉක්මනටම ඕන කෝකද කියලා. එතකොට දෙකම හදිසියි කිව්වොත්, එක වැඩක් වෙන කෙනෙක්ට පවරන්න වෙනවා කියන එක කෙලින්ම කියන්න වෙනවා. ඇත්තටම එතනදී සාධක එක්ක, කරුණු කාරණා එක්ක කතා කරන එක වැදගත්. එතනදී බොස්ටත් තේරුම් කරවන්න ඕන, ඔයාටත් අවශ්‍ය වැඩ දෙකම සම්පූර්ණ කරගන්න, අන්න ඒකට විසඳුමක් හොයාගන්න එක තමයි ටාගට් එක කියන දේ.
6. හොඳ සන්නිවේදනයක්
මේක ඉතින් අපි සෑහෙන්න තැන් වලදී කියන දෙයක්. ඒ තමයි, හොඳ සන්නිවේදනයක තියෙන අවශ්‍යතාවය. ඇත්තටම බොස් නරක නැතිනම්, හැබැයි වැඩ කරන්න අමාරුයි නම්, ගොඩක් දුරට සන්නිවේදනය ඔස්සේ ඒ ප්‍රශ්නේ විසඳාගන්න ඉඩක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි කලිනුත් කිව්වනේ වචනෙන් දෙකෙන් ෆීඩ්බැක් දෙන බොස් කෙනෙක් ගැන. අපිට පුළුවන්, කෙලින්ම බොස්ට කතා කරලා කියන්න, “බොස්, ඔයා කියපු දේ ගැන තව පොඩ්ඩක් කතා කරලා තව අදහස් ලබාගන්න වෙලාවක් දෙන්න පුළුවන්ද” කියලා. හැබැයි ඉතින් මෙතනදී, අපිටත් පුළුවන් වෙන්න ඕන දෙයක් කියුවහම තේරුම් ගන්න. අපි ඉතින් පොල්ගෙඩියෙන් ඇන්නත් ඉඟි දැනෙන්නෙ නැති ටයිප් එකේ කෙනෙක් නම්, අඩු ගාණේ අපිට වඩා දෙයක් තේරුම් ගන්න පුළුවන් කාර්යාල සගයෙක්ව වත් බොස්ගෙන් ඒ දේ පැහැදිලි කරගන්න ගෙනියන්න වෙනවා.
කොහොමත් සමස්තයක් විදියට සන්නිවේදනය යහපත් විදියට, පැහැදිලිව පවත්වා ගන්න එකෙන්, බොස් එක්ක වැඩ කරන එක වඩා පහසු වෙන්න පුළුවන්!
7. ජොබ් එක නැතිනම් ඉවරයිද?
මේක තමයි වැඩ කරන්න අමාරු බොස් කෙනෙක් එක්ක වැඩ කරන්න වෙනවා නම් දැනගන්න ඕන අන්තිම කාරණාව. දැන් අපි කියමු, සමහර වෙලාවට අපිට බොස් එක්ක වැඩ කරන්න අමාරු වෙන්නේ ඇත්තටම අපේ වැඩ කිරීමේ ප්‍රශ්නයක් වත්, වෘත්තිය භාවයේ හරි ආකල්ප වල හරි ගැටළුවක් වත් හින්දා නෙවෙයි කියලා. බොස්ගේ විදියත් එක්කම එයා එක්ක වැඩ කිරීම ඉම්පොසිබල්. ඒකට වෙන කරන්න දේකුත් නෑ. කිව්වට තේරුම් ගන්න බොස් කෙනෙකුත් නෙවෙයි. හැබැයි අපි ඇයි බොස් එක්ක වැඩ කරන එක අමාරුයි, මේක හරිම ස්ට්‍රෙස් එකක් කිය කියා, ඒත් ජොබ් එකේ එල්ලිලා ඉන්නේ? ප්‍රධානතම හේතුව ජොබ් එක නැතිකරගන්න බය වීම. හැබැයි අපි කියන්නේ ජොබ් එක නැතිකරගන්න බය වෙන්න එපා කියන එක. තමන්ගේ කොලිෆිකේෂන් හරි නම් ජොබ් හොයාගන්න පුළුවන්. කොලිෆිකේෂන් අඩු නම් කොලිෆිකේෂන් හදාගන්න පුළුවන්. හැබැයි යම් බොස් කෙනෙක් එක්ක වැඩ කරන්න බැරි නම්, දෙපාරක් හිතන්නෙ නැතුව වෙන ජොබ් එකක් හොයන්න. වෙන ජොබ් එකක් සෙට් වුණාට පස්සේ වැඩ කරන්න අමාරු බොස් ඉන්න තැනින් දෙපාරක් හිතන්නෙ නැතුව අයින් වෙන්න!
Leave a Reply