පිටකොටුවෙම බර අදින නාට්ටාමිලාගේ ජීවිතයේ ඔබ නොදකින පැත්ත

pettah cart

“ස්… ස්… ස්… සයිඩෙ… සයිඩෙ… සයිඩෙ…”

කඩි ගුලක් වගේ ඇවිස්සුණු වීදී අතරින් ඇහෙන ඝෝෂාකාරී හඬ මධ්‍යයේ ඔවුන් අප පසු කරගෙන ගිය නමුත් වීදීවල ගමන් කරන ඇතැම් මිනිසුන්ගෙන් ඔවුන්ට එල්ලවන ඇනුම්, බැනුම්, ගෙරවුම්වලින් නම් අඩුවක් නෑ. .

“කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු. පාරේ ඉන්න මිනිස්සුන්ව යට කරගෙන යන්නේ.”
“ඔය කුලීකාරයන්ට කිසිම චාරයක් නෑ. කුඩු කාරයෝනේ.”
“හැමදාම අනුන්ගේ බර අදිනවා.”
“ඒ වුණාට අරක්කු සිගරට්වලින් නම් යහමට සප්පායම් වෙනවා.”
“ඒකනේ හැමදාම කුලී රස්සාව කරන්න වෙලා තියෙන්නේ.”

 

1. නාට්ටාමිලා

pettah cart

Source – behance.net

සමාජ කියවීමට අනුව නාට්ටාමිලා, කුලී කරුවන්, කරත්ත අදින්නන්, බර ඔසවන්නන්
ආදී නෙක විරුදාවලීන්ගෙන් ඔවුන්ව ආමන්ත‍්‍රණය කළ නමුත් ලයිෆි අපේ සමාජ
කියවීමට අනුව නම් කොළඹ කොටුවේ සැබෑ උරුමකරුවෝ ඔවුනුයි. පිටකොටුවේ රජවරු වෙන්නේ නාට්ටාමීවරුයි. සඳළු තලාවක පහස ඔවුන්ගේ දෙපයට නොදැනුනත්, ගතට සුවයක් වගේම කුසට නිසි අහරක් නොගන්නා නමුත්, මහපොළොව මත පයගසා ලෝකය එක්ක නොනවතින ගමනක ඔවුන් ගමන් කරනවා. ඉතිං ලයිෆි අපි එක්ක කයි කරත්තයක නැගලා පිටකොටුවේ රවුමක් යන ගමන් වීදී අස්සේ අතරමං වුණු, මැරි මැරී ඉපදෙන අපේම උන්ගේ හදගැස්ම සොයා ගෙන යන්න එන්න.

ඔබ දන්නවා පිටකොටුව කියන්නේ අපේ රටේ බිහිදොර. සුපර්මාකට්වල වගේම ගම්
දනව්වල කිසිම නිනව්වක් නොමැතිව ඔබ තෝරන අල ගෙඩිය, ළූණු ගෙඩිය ඔබේ අතට
පත්වන්නට පෙරාතුව කරට ගත්ත පිරිසක් ඉන්නවා. දේශ දේශාන්තරයන්ගෙන්
වරායන්වලටත්, වරායන්ගෙන් බහාලුම්වලටත්, බහාලුම්වලින් වාණීජ්‍ය අගනගරයටත්
ඉන්පසු මෙකී නොකී සෑම ස්ථානයකට ඉඳිකටුවේ සිට ආනයනය කරන සියලූම භාණ්ඩ
ප‍්‍රවාහනය වන්නේ ඔවුන්ගේ කරමතින්. බොහෝ දෙනෙක්ට පිටකොටුව කිව්ව සැණින්
එසැණින් සිහියට නැගෙන්නේ අඩුවට වගේම ලාබෙට ෆැන්සි භාණ්ඩ මිලදී ගන්න
පුළුවන් ෆැන්ටසි ලෝකයක වටපිටාවක් පමණයි. විදීවල පැතිරී ගිය කලබලකාරී,
ඝෝෂාකාරී වටපිටාවක හාන්කවිසියක් නැතුවම ඔබ තෝරන සෑම භාණ්ඩයක් පිටුපසම
නාට්ටාමීවරුගේ ජීවිත ඇතුළේ කැකෑරෙන කඳුළු, දහඩිය අපුරුවට මුහු වෙලා ඇති.

 

2. නාටිටාමීවරුන්ගේ පුරාණය

pettah cart

Source – youtube.com

සමාජයට විවර නොවුවද කොළඹ වාණිජ පුරාණය තරම්ම ඉතිහාසයක් නාට්ටාමීවරුන් සතුව පවතිනවා. ලන්දේසී පාලන කාලය තුළ පිටකොටුව තුළ වෙළඳාම පුළුල්ව පැවතුණේ නෑ. එදත් නාට්ටාමීවරු සිමීත පිරිසක් පිටකොටුවට අවැසි සේවය සැපයුවද නාට්ටාමී වෘත්තීය එතරම් ජනප්‍රිය වුණේ නෑ. නමුත් බ්‍රිතාන්‍ය ආගමනය එක්ක පිටකොටුව ප‍්‍රධාන ආර්ථික මර්මස්ථානයක් බවට පත්වෙනවා. ස්වදේශික ජනතාව සුදු පාලකයන්ගේ ව්‍යාපාර යටතේ නාට්ටාමී වෘත්තිය කරන්න රුචිකත්වයක් දැක්වූයේ නැහැ. ඒ නිසාම ඔවුන් විකල්පයක් විදිහට අසල්වැසි ඉන්දියාවෙන් නාට්ටාමීවරු ගෙන්වනවා. මෙහෙම ලංකාවට ආගමනය වුණු නාට්ටාමීලා බහුතරය පිටකොටුවේ වෙළෙඳාම් කටයුතු වලට සහය වෙනවා විතරක් නෙමෙයි පිටකොටුව තුළ ඔවුන්ගේ ජනාවාස පිහිටුවා ගන්නවා. ඉතිං මෙන්න මේ විදිහට ආපු නාට්ටාමීලා බහුතරය නඩාර් වංශිකයන්. ඔවුන් පිටකොටුව ඇතුළේ ජිවිකාවට වගේම අනාගතය උදෙසාත් පිඹුරුපත් එළනවා. විවාහ වී පරම්පරාවන් රැසක් නිර්මාණය කරනවා. ඒ වෙනකොට ලාංකික ජනතාවද මෙකී නාට්ටාමී වෘත්තිය කෙරෙහි යොමු වී අවසන්. නඩාර්වරුන් යටතේ නාට්ටාමී වෘත්තිය ප‍්‍රගුණ කරන්න ලාංකිකයින් කටයුතු කරනවා. නඩාර්වරුන්ගෙන් නාට්ටාමී රස්සාව පුහුණු වුණු නාට්ටාමීවරු අදටත් පිටකොටුවේ ජීවත් වීම විශේෂයි. නමුත් ඒ නාට්ටාමීවරුන් විදිහට නෙමෙයි. ව්‍යාපාරිකයින් විදිහට. සමාජ, දේශපාලන, ආර්ථික විපර්යාසයන් හා පෙරළියන් එක්ක නඩාර්වරුන්ට වාණිජ්‍ය නගරය අත්හැර යළි මව් දේශයට යන්න සිදු වුණත්, ඒ වන විටත් නාට්ටාමී වෘත්තිය අපේ වාණිජ සමාජය තුළ ස්ථාපිත වී අවසන්. නඩාර්වරු දයාද කළ නාට්ටාමී රැකියාව අද ජාතී, ආගම්, කුල භේදයන්ගෙන් තොරව බොහෝ දෙනෙක්ගේ ජීවන වෘත්තීය බවට පත්වෙලා. ආර්ථිකය වගේම අලි, පුටු, බුලත් කොළ, සීනු වෙනස් වුණත් කවදාවත් නාට්ටාමී රස්සාව නම් වෙනස් වුණේ නෑ.

 

3. නාට්ටාමීවරු වර්ග දෙකක්

pettah cart

Source – blogger.com

පිටකොටුවේ වීදීවල එක් වතාවක් හෝ ඔබ ඇවිද ගොස් තිබේ නම් නාට්ටාමීවරු ප‍්‍රධාන කොටස් දෙවර්ගයක් ඉන්න බව ඔබට වැටහේවී. ඔවුන් වර්ගීකරණයට ලක් වෙන්නේ බර අදින ආකාරය අනුව. කරත්තවලින් භාණ්ඩ රැගෙන යන නාට්ටාමීලාට කියන්නේ කයි කරත්ත නාට්ටාමිලා කියලා. මීට අමතරව කරමතින් බර රැගෙන යන පිරිසක්ද සිටිනවා. පොදුවේ ගත්තම මේ සියලු දෙනාම සිදු කරන්නේ ජීවන බර ගෙනියන්න අනුන්ගේ බර සිය කශේරුකා මතින් වඩම්මවන එක. ඒ වගේම ඒ ඒ තොග කඩවල් වලටම අයිති නාට්ටාමිලාද ඉන්නවා. ඔවුන් අතින් බඩු ගබඩා තුළට ගෙන ඒම හා ගබඩාවලින් එළියට ගෙන යාම සිදුවෙනවා.

නාට්ටාමීවරුන්ට මුදල් ලැබෙන්නේ ඔවුන් බර ගෙන යන ප‍්‍රමාණය අනුවයි. විශේෂයෙන්ම එක් බෑගයකට ගෙවන ප‍්‍රමාණය බෑගයේ අඩංගු බර ප‍්‍රමාණය අනුව එකිනෙකට වෙනස් වෙනවා. ඒ වගේම බර ගෙන යන දුර ප‍්‍රමාණය අනුව අය කරගන්නා මුදල එකිනෙකට වෙනස්. බොහෝ නාට්ටාමීවරුන් පවසන ආකාරයට දිනකට රුපියල් තුන්දහසක් හාරදහසක් වුවද ඉපයිය හැකියි. නමුත් බොහෝ දෙනා ඉන් වැඩි කොටසක් වැය කරන්නේ තැබෑරුමට.

 

4. නාට්ටාමී සේවය ජාලගතවූවක්

pettah cart

Source – gallery.wacom.com

පිටකොටුවට නාට්ටාමීවරුන්ගේ සේවය ලැබෙන්නේ ජාලයක් විදිහට. දිවා හා රාත්‍රී වශයෙන් ඔවුන් ජාලගත වෙනවා. ඔබ දන්නවනේ දහවල් කාලයට පිටකොටුව ඉතාමත් කාර්යබහුලයි. භාණ්ඩ ප‍්‍රවාහනයට සුදුසු වටපිටාවක් හොයාගන්න එක එතරම් පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසා ගැනුම්කරුවන් වගේම තොග වෙළෙඳුන්ට අවශ්‍ය සේවය දහවල් කාලයට ලැබෙනකොට වරායවලින් ගෙනෙන සියලුම ආකාරයේ භාණ්ඩ පිටකොටුවේ ගබඩාවලට ගෙන එන්නේ මධ්‍යම රාත්‍රියෙනුත් පසුවයි. පැය 24 පුරාවට පිටකොටුවේ කොහේ හෝ තැනක ඔවුන් සේවය සපයනවා.

නාට්ටාමීවරුන්ගේ සේවය සැපයෙන ප‍්‍රධාන තැනක් තමයි කැළෑ පොළ. මධ්‍යම රාත්‍රියේ ඉඳලා කැළෑ පොළට ගේන එළවලු පළතුරු ටික බාන්න වගේම එහා මෙහා ගෙනියන්න උදව් වෙන්නේ මොවුන්. පාන්දර 3ට පටන් ගන්න කැළෑ පොළ හිරු උදාවෙත්ම අවසන් වෙන්නේ නොනිදා රැය පහන් කළ නාට්ටාමීවරුන්ට ඉසිඹුවක් දෙමින්. කැළෑ පොළේ වැඩ කරපු නාට්ටාමීවරුන්ට රැකියාව තියෙන්නේ ආපසු ඊළඟ දවසේ.

මැනිං පොදු වෙළඳපොළ නාට්ටාමීවරු බහුලව ගැවසෙන තවත් තැනක් . අටසියයක පමණ
පිරිසක් දිනකට මැනිං පොළේ රැකියාව කරනවා. මධ්‍යම රාත්‍රියේ ඉඳලම මැනිං
වෙළෙදපොළේ වැඩ කරන නාට්ටාමිවරු උදේ දහය එකොළහ වෙනකොට වැඩ හමාර කරන්නේ තවත් නාට්ටාමීවරුන් පිරිසකට රැකියාව කරන්න ඉඩකඩ ලබා දෙමින්. මැනිං පොළේ නාට්ටාමීවරුන්ට හිමි හැඳුනුම්පතක් තිබීම සුවිශේෂී කරුණක්. මේ විදිහට
පළමු, දෙවන, තෙවන, සිව්වන හා පස්වන හරස්වීදී වලද නාට්ටාමී සේවය සක්‍රීයයි. ඔබ දන්නවාද? නාට්ටාමීවරුන්ටම වෙන්වූ වැයික්කියක් තිබෙන බව. ඉන් පරිබාහිරව කටයුතු කරන්න හැකියාවක් නෑ. ඒ වගේම අලුතෙන් නාට්ටාමී වෘත්තීයට පැමිණෙන විට ලියාපදිංචි වීම අනිවාර්යයි.

 

5. සංහිඳියාවට නාට්ටාමීවරු කදිම පාඩමක්

pettah cart

Source – gallery.wacom.com

වයස අවුරුදු පහළොවේ ඉඳලා වයස අවුරුදු 70 පමණ වයසැති පුද්ගලයින් දක්වා නාට්ටාමී
රැකියාව කරනවා. ඇතැම් විට ඔබ මවිතයට පත්වේවි කොළඹ වාණිජ අග නගරයේ නාට්ටාමී රැකියාව කරන එක් කාන්තාවක්ද ඉන්නවා කිව්වම. ජීවත් වෙන්න මිනිස්සු නොකරන දෙයක් නොමැති තරම්. ලැබීම, දෛවය, අවාසනාව කියලා මිනිස්සු සියලු බලාපොරොත්තු අරමුණු ආපස්සට දානකොට දෛවය එක්ක ඔට්ටු වෙන මිනිස්සුත් අපි අතර නැතුවාම නොවෙයි. ඇතැම් නාට්ටාමීවරුන් අබාධිතයි. තවත් සමහරු වයස්ගත වී දුර්වලයි. ඒත් ජීවිතය අත්හරින්න ඔවුන් සූදානම් නැහැ.

පිටකොටුවේ නාට්ටාමී රැකියාවට ජාති, ආගම්, කුල, උස් පහත් භේද කිසිවක් නැහැ. සිංහල, දමිල, මුස්ලිම් නාට්ටාමිවරුන් සහයෝගයෙන් හරි අපූරුවට මේ රැකියාව කරනවා. ඇතැම් තැනක හාම්පුතා මුස්ලිම් ජාතිකයෙක් වෙනකොට නාට්ටාමී රැකියාව කරන පුද්ගලයා දමිල හෝ සිංහල. නමුත් කෙදිනකවත් ඔවුන් අතර භේද භින්නතා විරසකකම් නැහැ. හරි අපූරුවට සංහිඳියාවෙන් තාමත් පිටකොටුවේ නාට්ටාමී රැකියාව කරන මොවුන් මුලු මහත් සමාජයටම ආදර්ශයක්. පක්ෂ, ආගම්, ජාති වලට බෙදිලා අපි ගහ මරා ගත්තට පිටකොටුවේ වීදි ඇතුළේ නාට්ටාමීවරු හරිම සංහිඳියාවෙන් ඔවුන්ගේ වගේම අපේ ජීවන බරත් ඇදගෙන යන්න උදව් වෙනවා.

 

6. ජීවන රිද්මය

pettah cart

Source – dailymirror.com

ගෙන්දගම් පොළවේ පය ගහලා ජීවත් වෙන්න ජීවිතය එක්ක ඔට්ටු වෙන නාට්ටාමීවරුන්ගේ වෘත්තිය අපි හිතන තරම් සියුමැලි නම් නෑ. ජනාකීර්ණ වූ පරිසරයක, කාර්යබහුල වටපිටාවක, ඇනුම් බැනුම් ගෙරවුම් තාඩන පීඩන මධ්‍යයේ තමයි ඔවුන්ට රැකියාව කරන්න සිදු වෙන්නේ. සුළු අතපසුවීමකින් ජීවිතය වුණත් නැතිවෙන්න පුළුවන්. උදේ පාන්දර කයිකරත්ත මඩුවෙන් කරත්තයක් අරගෙන වීදීයට බහින ඔවුන්ගේ දවස ගෙවෙන්නේ වීදී ඇතුළේමයි. වඩේ ගෙඩියක්, පාන් කෑල්ලකින් කුස පුරවාගෙන වීදියට බහින ඔවුන්ට හරිහමන් ආහාරයක් ගන්න ලැබෙන්නේ දවසේ නිමාව තුළදී පමණයි. වෙහෙස මහන්සිය දැනුනම වීදියක් අයිනේ කරත්තය නතර කරලා කරත්තේම මදකට හෝ විඩාව නිවා ගන්නේ තවත් ‘ටිප් එකක්’ යන්න කාගෙන්ම හෝ ඇරයුමක් ලැබෙනතුරුයි.

ඇඟපත විඩාව නිවාගන්න දෙයියෝ දුන්න අඳුරත් අරගෙන නාට්ටාමීවරු පිරිසක් නිවෙස් බලා යනකොට තවත් පිරිසක් යන්නේ රෝද දෙකේ මාළිගාවට. කරත්තය සිය නිවහන කරගනිමින් රැකියාව කරන නාට්ටාමීවරුන්ද ඕනෑ තරම්. ග‍්‍රෑන්ඩ්පාස්, වැල්ලවත්ත, මට්ටක්කුලිය, වත්තල ආදී ප‍්‍රදේශවලින් මෙන්ම දුර බැහැර ප‍්‍රදේශයන්ගෙන්ද පැමිණ රැකියාව කරන පිරිසක් නාට්ටාමීවරුන් අතර ඉන්නවා.
නාට්ටාමීවරයෙකුගේ ජීවිතය කොයි මොහොතේ කුමන ආකාරයෙන් අහිමි වේ දැයි ඔවුනට
විශ්වාසයක් නෑ. මේ රැකියාව කරන බොහෝ දෙනා කියා සිටින්නේ වෙන රැකියාවක්
නොමැතිකම නිසා නාට්ටාමී රැකියාව කරන බවයි. කාලයාගේ අවෑමෙන් විවිධ රෝගාබාධයන් ඔවුනට වැළඳී ඇති බව ඔවුන්ම ප‍්‍රකාශ කරනවා. ලැබූ මිනිසත් බව අත්නොහරිමින් ජීවිතය එක්ක ඔවුන් පොර කෑ නමුත් හෙටක් ගැන විශ්වාසයක් ඔවුන්
තුළ දක්නට ලැබෙන්නේ හරිම අඩුවෙන්.

 

7. තහනම්, අහිතකර වැඩවලින් නම් ඉවරයක් නෑ

pettah cart

Source – youtube.com

නාට්ටාමී වරුන්ගේ දෛනික දින චර්යාවේ තහනම් සහ අහිතකර වැඩවලින් නම් ඉවරයක් නැහැ. ඇතැම් නාට්ටාමී වරු දවස පුරාවට මත්පැන් පානය කරමිනුයි මේ රැකියාව කරන්නේ.
කිලෝ දෙතුන් දාහක් වීදි අතරින් එහා මෙහා ගෙනියන එක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි කියලයි ඔවුන් කියන්නේ. ඒ නිසාම ඇඟට වේදනාව, මහන්සිය නොදැනෙන්න යහමින් මතින් සප්පායම් වෙනවා. පිපාසය, වෙහෙස, මහන්සිය සහ වේදනාව නිවා ගන්න ඇතැම්හු කහට කෝප්පයක්, සරුවත් වීදුරුවක් බොනකොට තවත් සමහරු මත්ද්‍රව්‍ය ගන්නේ වේදනානාශකයක් විදිහට. උදේ පාන්දරම දවසේ ගතමනාව හොයා ගන්න නිවෙස්වලින් එන ඇතැම් නාට්ටාමීලා රැය පහන් කරන්නේ පිටකොටුවේ විදීවල ඉන්න රෑ සමනළියන් එක්ක. දවස තිස්සේ හොයපු සේසතම පූජා කරාම ඊළඟ දවසේ කුලියට කරත්තයක් ගන්නවත් මුදලක් ඔවුන් ළඟ ඉතිරි වෙන්නේ නෑ.

 

8. පිටකොටුවට නාට්ටාමී සේවය අහිමි වුණොත් ?

pettah cart

Source – youtube.com

පිටකොටුව ජනාකීර්ණ නොවන නිමේෂයක් සොයන්නට නොහැකි තරම්. උදාවූ හිරු බැස
යද්දීත්, බැසගිය හිරු යළි නැග එද්දීත් මේ වාණිජ අගනගරයේ නොනිදා රැය පහන් කරන පිරිසක් සිටී නම් ඒ නාට්ටාමීවරුන් පමණයි. පිටකොටුවේ ජනාකීර්ණ බව එක්ක වාණිජ්‍ය නගරයට යන එන තොග වෙළෙඳුන්ට වගේම ගැණුම්කරුවන්ටත් භාණ්ඩ මිලදීගත් පසු එකී භාණ්ඩ ප‍්‍රවාහණය කිරීම විශාල ගැටලුවක්. විදීවල පටු බව එක්ක රථවාහන යොදා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එවැනි පසුබිමක පිළිතුරක් පවතින්නේ එක් පිරිසක් අත පමණයි. සිය උර මතින් හෝ කරත්ත මගින් අවශ්‍ය ස්ථානයට ඔවුන් භාණ්ඩ රැගෙන යනවා. ඒ වගේම වරායවලින් ගෙනෙන මහා බහාලුම් රථවලට පිටකොටුවේ වීදි අතරින් ගමන් කිරීම එතරම් පහසු කාර්යයක් නොවෙයි. මෙවැනි පසුබිමක් තුළ පිටකොටුව තුළටත් කොටුවෙන් පරිබාහිරටත් භාණ්ඩ ප‍්‍රවාහණයට නාට්ටාමී සේවය අත්‍යාවශ්‍යයි. නාට්ටාමීවරුන් නොමැති ආර්ථිකයක්, නාට්ටාමීවරුන් නොමැති වාණීජ්‍ය නගරයක් ගැන සිතන්නටවත් නොහැකි තරම්.

ලයිෆි අපේ කියවීමට අනුව නම් අපි හැමෝම නාට්ටාමීලා. නමුත් හදවතට එකඟව එහෙම
හිතන්න අපි අකමැතියි. අපි කරන්නෙත් ජීවිතය පුරාවටම ජීවත් වෙන්න අනුන්ගේ බර
අදින එක. පිටකොටුව කියන්නේ අපේ සමාජයේ එක් පැතිකඩක් පිළිඹිබු කරන කැඩපතක්. මහා සමාජයෙන් පිටකොටුව කියන්නේ එක්තරා සාම්පල් එකක් විතරයි. නාට්ටාමීවරු වගේම තවත් ඇසට හසු නොවුණු, සමාජ කතිකාවක් හදන්න අකමැති නමුත් හඬ අවදි කළ යුතු මිනිස්සු ඕනෑතරම් අපේ සමාජය තුළ ඉන්නවා. පිටතින් කෙනෙක් දිහා බලලා තීරණ ගන්න එපා. මුලින්ම ඔබ ඔබව දකින්න උත්සාහ කරන්න. එවිට තවත් දෙනෝ දාහකගේ හදගැස්මට සවන් දෙන්න ඔබට හැකි වේවි.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *